Friday, May 29, 2015

56. ඉතින් අහිමිද අපිට කවි කම්?





පැසුණු හිස් – රන් උපැස් 
දිග රැවුල් – ඇදවුනු තොල්
අවැසිමද කවියකට ඉසියුම්?

මත් – විරිත් – අකුරෙන් අකුර ගැලපුම්
යවහන් දොසැර අත් බැඳ දිමුතු-මුතු යදමින්
එතකොටද කැප කවිකම්?
කැපවෙන්න නංගි කවිකමට දිවිහිමියෙන්!
ගුරුකුලයකින් ලැබෙත් ඇරයුම්…

හතරේ කණිසමට පිබිදෙන
හොදි උයන – බත් මුල් බඳින
හෑන්ඩ් බෑගය බදා බසයෙක එල්ලෙන
ගැස්සි ගැස්සී යන’තර අකුරු අමුණන
අළු දැරියෙක්මි මම නම්
ඉතින් අහිමිද අපිට කවි කම්?


55. තිස්ස නවතින්න!



තිස්ස නවතින්න!

එක්ස්ට්‍රීම්ලී සොරී -  නවතින්න නම් බැරී
මෙන්න මගෙ කාර්ඩ් එක - අටෙන් පසු අමතන්න

සැරිසරත් මෙ'වනයෙහි යොවුන් මුව පොව්වෝ
කලුදියෙත් කිමිද උන් සිප්කිරිම සෙව්වෝ
බැනර් - කටවුට් - පෝස්ටර් -  හෑන්ඩ් බිල් විදිමි
නොපිට පෙරැලූ වදන් ඇමිණු දුනුදිය අදිමි

එහෙ තිබුනු අඹ ගසුත් කැපුවා
මෙහෙ තිබුනු අඹ ගසුත් කැපුවා
අඹ ලෑලි ඩෙස් බංකු තනවා - හෝල් ඇතුලට ගාල් කෙරුවා
වනමලින් පිරි - සමනලුන් සැරි - හරිත සිතුවම් එඩිට් කරවා
ලැමිනේට් පිටකවර තනවා - ටියුට් බෙදුවා

ඔව් මේ ඉතිරි අඹ ගස මට මහත් අගී
මගෙ නම් පුවරු එල්ලා ඕ හිඳිත් නැගී

ෆ්‍රී කාර්ඩ් දෙනවදැයි විමසන
නොනෑයොත් නෑකම්ම පවසන
මෙවන පෙදෙසෙහි මොණරු නැත්නම්
නෑයෝද නැත - නොනෑයොත් නැත


Thursday, May 28, 2015

54. වීදියේ මල් ළදැරි





දිය සෙවෙල් දිය කරන් දිය බිඳිති වැටුනේය
දුබල දිග අත් පසුරු කානු බඳ වෙලුනේය
සිහිනි දූවිලි බිඳිති පිරිත් පැන් ඉහිරී ය
ඉරත් සිය අත් විදා පඳුරු හිස අතගෑ ය

සීත මල් සාප්පුව තාප්පෙන් වට වී ය
උසැති කුලවත් කුසුම් ටිෂූවල එතුනා ය
බරැති වාහන වලින් මැදුරු වෙත එළැඹී ය
සුර මිහිර දෙන සාද වට මේස සැරසී ය

පඳුරු හිස සුළඟකට රහස් මුමුණා කී ය
කෙසඟ උරහිසක හැඩ කහ මලක් පිපුනා ය
මල් ළදැරි වීදියට එබී සිරි වින්දා ය
උඩඟු කාරයක් මල් මුවට දුම් පිම්බා ය


53. කටු විතරක් මට ය



නිමිත්ත

"මල් උයන් තැනුව ඉක්මන" - ශසිකා අමාලි මුණසිංහ




තුමුල මල් උයන් අස ගැවස ඇසක් ඉඟිමරන
යොවුන් සමනලුන් බෝ විය එකල
මල් හිසක් ඇද සිඹින තරමට ප්‍රගල්භව
උන් එකෙක් අල්වාන - නවාතැන් ගැන්වීය පෙති මත

කැන්වසය මත වැතිර මැව් හැම සිහිනෙම
රතු රෝස යායක් දෙකක් සිත්තම් විය
ස්වප්නයෙන් මිදුන නෙත් පියවිලි හරිමි මම
රෝස පෙති සේරෝම නුඹට ය. කටු විතරක් මට ය.

Wednesday, May 27, 2015

52. හීන් හිරිකඩයක් වගේ



image source : www.jenniferlynking.com

හීන් හිරිකඩයක් වගේ
යාන්තම් ඇවිත් නෑවිත් යන්න

පරණ ආදර කහට පැල්ලම්
හෙමින් දිය කර නික්මෙන්න
ආයෙමත් එකම එක හීනයක
මොහොතකට පෙනී නොපෙනී ඉන්න

හීන් හිරිකඩයක් වගේ
ඇහිපියන් තෙමා නොතෙමා යන්න

Tuesday, May 26, 2015

51. මග බලන දෙනෙත් මැලැවෙයි



නිමිත්ත :
"මල් පිපෙන අහස මම නම්" : ශසිකා අමාලි මුණසිංහ ('කඳු' බ්ලොග් අඩවිය)



දුල් කිරණ සඳෙහි ඔබ නම්
හද කුමුදු විලක සැඟැවෙයි
විල් දියෙහි දිවෙන සඳකැන්
කොඳ අමොද රසෙන් සැනැහෙයි

පුල් පියුම්වලට කලියෙන්
සඳ සිහින තුලට කිමිදෙයි
ඇල් කඳුලු විලට වැටුනත්
අද අමාවකැයි නොදනියි
මග බලන දෙනෙත් මැලැවෙයි


50. මල්වෙඩි





එක්වරම හදවතේ මල්වෙඩිල්ලක් පුපුරන
දහස් ගණනක් මතක කැබිලිති ඇවිලෙන
"සූස්!" හඬකින් දැවී උණුවෙවී බිම වැටෙන
මූසලම පාළුවක් පමණක් ශේෂ වෙන


49. ඔහොම වහළේ එල්ලිලා ඉන්නෙක හරිද?





නින්ද නැති හැම රෑම
ඔහොම වහළේ එල්ලිලා ඉන්නෙක හරිද?
සීලිමේ පංකාව කරකැවෙන තාලෙටම
කෙහෙ කැරලි විසුරුවන්නේ මොකද?
අඩවන්වු දිගැටි නෙත් දල්වාන
නිදිමතේ අවසාන ශේෂයත්
පුලුස්සා අළු හුළගෙ යවන එක
මැදියමත් ගෙවුනාම ඉවසන්න පුලුවන්ද?


48. LOVE - Its all black





47. කුඩා දියකිඳුරිය






කුඩා දියකිඳුරිය,
දැන් ඉතින් උගත යුතු,
දිව පරෙස්සම් කරගන්න.
වරල් වාගෙද දෙපා?
කෙලින් වී ඇවිදින්න.
අති උච්ච ස්වර මුහුදු පතුලට විසිකර,
පිරිමින්ට ඇහෙන රළු ස්වර වලට හුරුවෙන්න.

සිහි තබා ගත යුතු,
නැටුම් ආලින්දයේ “බඩුවක්” නොවී “තරුවක්” වෙන්න.
තියුණු කඩු, පිහි දාර,
තවම යටි පතුල් පාරවන බව දැනගන්න.
වගක් නෑ වගේ ඔහෙ හිනැහෙන්න.
ඒ උනත් රිදුනු තැන් මතකයෙන් නොමකන්න.

හොඳ හැටි පුහුණු විය යුතු,
අහිමි පෙම ගැන නොතැවෙන්න.
බර කිණිස්සක් තනි අතින් ඔසවන්න
තිගැස්මක්වත් නැතිව ඇන ඇන පලිගන්න.


46. මාධවී කියන්නේ මම විතරමද?





මාධවී ඔබටත් ඇහෙනවද?
සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව
ඔබේ නම නැවත නැවතත් ගයන
මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද 
මා ඔබේ නම උසුරුවන විදියටම

නිල් කෙහෙ කැරලිවල සුවඳද
මල් හිනාවක කිකිණි ස්වරයද
දුල් දෙනෙත් විලෙහි ගැඹුරද
මං මිසක් වෙන කවුරුවත් දැන ගත්තෙ කොහොමද?

මං හිතන්නෙ මාධවී,
අපේ ආදර කතා අහගෙන
හොරෙන් බල බල ලත වෙවී උන් ගඟ දිය
රහස් සේරම කියන්නැති බට පඳුරු ගොන්නට
මුල් ස්වරය ගැඹුරෙන්ද - අවසන් ස්වරය මෘදුවද 
මා ඔබේ නම උසුරුවන විදියටම රසකර

දැන් තරුණ වස්දඬුවකිය ඒ බට පඳුර
නොකිව්වට මම, දන්නවනෙ අපි මහළු බව
එයාටත් ඇහේවිද?
අපිම විතරක් දන්න – ඒ සොඳුරු පෙම් පුවත
ගඟ දියෙහි වාචාල කේලම්
කැදැල්ලට ගිනි අවුළුවාවිද?

ඔයානම් ඉස්සර වගේමයි සුමේධ,
මාධවී කියන්නේ මම විතරමද?
ඇරත් ඔහු මා අමතන්නෙ
සේරෝම ස්වර එකම විදියට රළුව,
රිද්මයක් තියා තෙතමනයක්වත් නැතුව,
මං අහන්නේ සුමේධ,
මාධවී කියන්නෙ මට විතරමද?

45. ආදර රසායන





ගැඹුරු දෙනෙතකි එකල
බියුරෙට්ටු කරාමය ළඟ සිහින් වෙන
දිගැටි අතැඟිලි වලින්
වගු අඳින, මැන මැන ලියන
ඇල ඉලක්කම්වලින් සුදු පිටු පුරවන

අතේ ගෑවී නොගෑවී යන
රතු රිබන් කොණ්ඩා කරල් දෙස
වැරදිලාවත් නොබලන,
රූල් කොලයක ලියූ කවියකි
රක්ත තප්තවු කෝව පත්ලෙහි අළු වුන

නිල් පැහැති බන්සන් දැල්ල වැද
නොහෙලු කඳුලක්
ඇස් අගිස්සෙහි වියලෙන


44. දුම් වළලු ෆැන්ටසි





ගිනියම් වු පුළිඟු පැහැ ආදරය දැවි දැවී
දුම් වළලු ෆැන්ටසිය පිබිද හිස ගිලගනී
ශේෂ වූ මතක අළු ගර්ත ඇතුලට කැවී
අහඹු කැස්සක් එක්ක කඳුළු ගුලියක් පනී


Monday, May 25, 2015

43. මට වුවමනා දේදුන්නක් වෙන්න






මට වුවමනා දේදුන්නක් වෙන්න. නීරස ඒක වර්ණ මලක් වෙන්න නෙමෙයි.

දේදුන්නෙ කහපාට ඇහැල මල්වල කහපාට තරම් ප්‍රබල නොවෙන්න පුළුවනි.
වයලට් මල් දේදුන්නෙ දම්පාටට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නව ඇති.

හැබැයි,
දේදුන්නෙ තියෙනවා පාට හතක්!
එකිනෙකට වෙනස් පාට හතක්, ඒ ඇතුලෙ තියන අනු වර්ණ දහස් ගානක් එක්ක!
අන්න ඒකයි දේදුන්නක තියෙන විශේෂත්වය. 
දිව්‍යමය සිහින හා බැඳුන විශේෂත්වය!!

42. මග කියන තරු-පන්ති






ඝන අඳුරු පෙත්මගකි
මලානික තරු කිණිති නිදිකිරන
ඇඹුල් රස හාදුවක්
කොපුල් මතුයෙහි ගැටී නොගැටී සැඟවෙන

ඔබේ නිල් කමිසය වසාගෙන
මග කියන තරු-පන්ති ඉල්පෙන
අත හැරීමට මහත් රිසි වුව
බියෙන් මෙන අතිනත වැරෙන් ගෙන
අඳුරෙහිම තව ගැඹුරටම අපි ඇවිදින

41. දොර පියන් අඩවන්ව තියන්න






ඔන්නොහෙ යන්න අරින්න.
හැබැයි
දොර පියන් අගුලු නොලා තියන්න.

රස්තියාදුවක අවසන
වැස්සක හීතල බේරෙන
හිස් බැල්මක් වුව දැක්කම
ගැස්සෙන්නට හැක හදවත

කොන්දේසි විරහිතවම
ආපහු ලැගුම් ගන්නත් පුලුවන

ඒ නිසා
දැනට යන්න අරින්න

හැබැයි
දොර පියන් අඩවන්ව තියන්න.

40. අදවත් කලින් ගෙදර එන්න ළමයෝ!



නිමිත්ත :
කවුරු වගේද කියලා කවුරුහරි අහයි .!!! - රසිකා ගුණවර්ධන -




අදවත් කලින් ගෙදර එන්න ළමයෝ!

ඔය පරණ ඇල්බම් මට දෙන්න
ආ මෙන්න තේ බීල ඇඳගන්න
සිහිකල්පනාවෙන් කාරෙක එලවන්න
රස්සාවවත් ඉතින් රැකගන්න.

උඹේ හරි ලොකු හපන්කම් හිංද
මටත් බෑ පාරෙ බැහැලා යන්න
ඉස්කෝලෙ පොඩි එව්වො දකිනකොට
ඇස් දෙකම උතුරනව නොදැනීම

බීල බීලම නරක් කරගං අක්මාව
මං ඇහැක්කත් ඇරල බලන්නෙ නෑ ඔන්න
සුදුපුතේ අනේ හොඳ සිහියෙන් යන්න
උඹ ඔහොම අඬනකොට මට බෑ වාවන්න

39. අඟුරු පාටැති පිලිස්සුනු අත්



අඟුරු පාටැති පිලිස්සුනු අත්
ඇඟිලි අහසට විහිදුවන්
තව ඇබින්දක් එලිය දෙන්නැයි
තුරු හිසක් මුමුණයි හෙමින්

ගිනියමට හිරු දවා තුරු පත්
මුහුදු දියටම නෙත තියන්
තව ටිකක් අවුළුවා තුරු හිත්
ඇදහැලෙත් අතැඟිලි අගින්


Friday, May 22, 2015

38. කෙලෙස තුටු කවි පබඳිමිද සකි?


නිමිත්ත : ඉයන්ගේ කමෙන්ටුවකට පිළිතුරකි





පිටි පැකට්ටෙක ගෙදර එනකම්
මග බලා උන් බිළිඳු දෙනෙතකි
මොණර කොළයට තිසරු මිලකර
දුවට කිරිපිටි ගෙනා අම්මෙකි

බිළිඳු කිරි සිනහවක් ඇසුමෙන්,
ලියකගේ මදහසක් දැකුමෙන්
ඉතින් ඔබ ඔය කියන විදියට
කෙලෙස තුටු කවි පබඳිමිද සකි?


37. අමතකම වෙලා ඇති




තිගැස්සුම් දෙමින්
පිපිරෙන්න හැකි බව
ක්ෂණයකින් ගිනි පුළිඟු
පුබුදන්න හැකි බව
ඇතුලතින් දැල්වෙන්න හැකිබව
අමතකම වෙලා ඇති
පත්තු නොකරපු උණ්ඩයට

උහුලන්න අපහසු නෙව
තුවක්කුව තුල කෑගහන මලපාළුව

බිම් කලුවර වැටෙනකොට
කොන්තයක් මිටින් අරගෙන
ඔරසම් කියනවත් ඇති
ගීතිකාවක් දෙකක් මුහු කර

අමතකම වෙලා ඇති
ඇතුලතින් දැල්වෙන්න හැකි බව
පුළිඟු දහසක් උපදවන්නට හැකි බව



Thursday, May 21, 2015

36. මිතුරු බළලෙක්


සොඳුරු නොකිලිටි බළල් හදවතක්
ඇතිරු හිත මත සිනහ කෝටියක්
අඳුරු සෙවණැලි ගහන රැයකදිත්
මිතුරු බළලෙක් නිවයි තනිකමක්


35. ආදරේ අලුත්ම පාට




34. පුරු පුරු පෙමින් ලොවම නහවතී




බළල් හද නොම හඳුනනා අයත්
නොදන්නා විලස හැසිරෙන අයත්
මිටිකරන් අමෝරාගෙන සියත්
පන්න පන්නා රොස් පරොස් කියත්

ඒ නමුත් පෙම පිරුණු හිත් ඇතී
බැළලියොත් ලොව තැනින් තැන ඇතී
බළල් හද රිද්මයද හඳුනතී
පුරු පුරු පෙමින් ලොවම නහවතී

33. ඉහිල් වීමේ සැසි






උසුලන්ට අපහසුම
මහ බරැති හැඟිම් කැටි
තීන්තෙක පොඟවගෙන
කරදාසි මත ඉසිමි

කිමද ලතැවෙනු,
කියවා අඳුරු කවි,
නොනැවතී එතෙකින්,
ඔසවා දැදුරු කරදහි?

භාවනාවකි කවිකම
නිවීමකි, සැනසීමකි.
හංසවිල ඉඟි නලුවකට පෙර
ඉහිල් වීමේ සැසියකි.


32. වම් කම්මුලේ සුළිය


නිමිත්ත -
ඔඩුදුවන පෙම් රිදුම ('නුවර කුමාරි' බ්ලොග් අඩවිය)



ඉස්සරම හුරු පුරුදු විදියට
යටි තොලේ කෙලවරක් විකාගෙන
දිගැටි වත වමට ඇල කරගෙන
යන්නටම යන්නයැයි කිය කිය
සියලු බැමි එකිනෙක මුදයි ඔබ

ඇහිපියන් යන්තමක් අඩවන්ය
හද අගුළු වෙත යෙදූ මුරපද බිඳිනකොට
නිකට මුල කලු උපන් ලපයද
තවමත් එතැනමය - එහෙමමය.

ඒත් කෝ අර වම් කම්මුලේ සුළිය?
කොස්සන් හිනා එක්ක කොපුල් ඇතුලට එබෙන
අන්තිමේ රෝස පැහැ ගෙන බැබලෙන

ඉතින් ඔබ දිගු දෙ'අත් විසිකර
දොර වසන තුරු බලා ඉමි මම
අලුත් මුර පද බැඳ,බැඳ
යළිත් ඔබ හද'ගුළු පිරික්සන

"අනේ පණ්ඩිත මැටි කෙල්ල!"
සිනහවෙමි කට කොණින් මම ආයෙම
අගුළු තදකර වසන මුත් ඔබ
මම තවම හදවතේ ඇතුලත පැත්තෙ ය.

ඔන්න ඔබ හැරී ඇස් ලොකුකර බලන,
"චටස්" ගා නලලතට අත්ලෙන් ගසන
ඉනික්බිති රැළි බිඳෙන හසරැල් සයුරෙහි
අපි දෙදෙන අතිනත වෙලාගෙන කිමිදෙන

අන්න අර වම් කම්මුලේ සුපුරුදු සුළිය!
කොපුල් ඇතුලට තව තවත් ගැඹුරට එබෙන
වෙනදාට වැඩි කාන්තියකින් බැබලෙන!



31. ඉතා කෙටි කලබල සිහින.




නීරස මීටිමක,
උණුසුම් වාද පිටියක,
විඩාබර දෙසුමක,
නෙත් පියන් බරවෙන ඇසිල්ලක,

පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,
ඉතා කලබල සිහින.


හැල්මේ දුවන නගරෙක,
අධිවේගයේ දුවන බසයෙක,
ජනේලයකට කොපුල තදකර,
හිත ඈත ඇවිදින විරාමෙක,

ජංගමය තුල බිහිවෙයි,
ඉතා කෙටි
කම්මැලි සිහින.


බත ඉදෙන තුරු හනික,
වර්ණ ගැන්වෙන සිහින...
ගවුම් කොලරය මදින අතරෙත්,
සෙමින් මිමිණෙයි,
අමුතු තනුවක සිහින...


විටින් විට උඳුනේ පියන හැර,
බේක් කල නීරස,
කේක් ගෙඩියක් වැන්න,
තැනින් තැන කඩතොලු වුන,
මම ලියන - මගෙ සිහින


සීත සෘතුව  එලඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින.
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු කෝපි බඳුනක,
එතකොට මම දකින්නෙමි,
පියෙවි කඩතොලු නැති සිහින...

අතැඟිලි වාරු තිබුනොත්,
අකුරු කර අමුණා තියන්නම්,
දුම් දාන උණු උණු සිහින...





Wednesday, May 20, 2015

30. අපිට කොහෙ හරි වැරදුනා බං




බාල් නැටුමෙන් පස්සෙ
හීන් හිරිපොද වැස්සෙ
සපත්තුව මග දාල නික්මුනා මං


පාන්දර ඉඳලාම
පාර බලමින් උන්නෙ
රජ වාසලින් පණිවිඩේ ගේනකං


හතහමාරේ නිවුස් යද්දිවත්
පෙන්නනවා දැක්කෙ නෑ
කුමාරයො අල්ලාපු තාල නම්


සන්තකේටම තිබුන
රන් අරුංගල් ජෝඩුව
උගස් කරලයි ගත්තෙ
සපත්තුව මං


ලිං පඩිය උඩ ඇනතියාගෙන
හිතේ ගින්දර තුනී කෙරුවා
හූල්ලන සුසුමිං


ලිං පඩිය පිටිපස්සෙන්
කොලපාට තඩි ගෙම්බෙක්
කිට්ටු කරලා ළඟට
කෙඳිරුවා මෙහෙම රහසින්


"නැටුමට ආවෙ උඹද බන්?
හාදු ගන්නයි ආවෙ මං.
උඹේ රන් පාවහන් දැක්කම
කුමාරියකැයි හිතුන බං!


කඳුලු හලන්න එපා දැං
අපිට කොහෙ හරි වැරදුනා බං
උඹේ කුස්සියෙ මුල්ලක
නවතින්න එන්නද මං?"






29. වැලන්ටයින්




දොළොස් මසක් ගෙවී ගිහින්
නිසංසලෙන්, හෙමින් හෙමින්
තවත් නැවුම් ඉරක් අරන්
යළිත් ඇවිත්
වැලන්ටයින්

බාලිකා කුසුම් පෙලින්
සැඟවෙමින්, හොරෙන් හොරෙන්
චොකෝ එකෙන්, හසුන් පතින්
එබී බලයි
වැලන්ටයින්

උයන් කොනේ කුඩේ යටින්
වෙරළ අයිනෙ ගල්කුළෙන්
ඇසිල්ලකින්, දෙතොල් මතින්
සිනා තියයි
වැලන්ටයින්

මියුසිකල් නයිට් ගිහින්
මදුවිතෙන් පියා නුවන්
නුරා තෙපුල් පුරා ලවන්
රහස් කියයි
වැලන්ටයින්

ලැගුම්හලේ යහන් මතින්
රෝස පියලි විසුරුවන්
කිරි කළේ බිඳුනු සැනින්
පලා ගියා
වැලන්ටයින්


28. අන්නාසි සහ කඩලගොටු


- උපුටා ගැනීම : ලංකාදීප විමංසා අතිරේකය  (2015 - මැයි - 12)



27. මගෙ නොවන මගෙ කවිය






සාගරේ කළඹලා - වදන් මුතු වැල් නෙලා
ආදරේ රන් හුයක - සීරුවෙන් අමුණලා
කඳුලකින් මුතු කළඹ - ඔප දමා සරසලා
මගෙ නොවන මගෙ කවිය මම පවනෙ පා කලා

මද පවන රුදු වෙලා - වියරු සුළි කැරකිලා
ධූලි ගිනියම් වලා - නෙත දවයි මා වෙලා
දනිමි හද පෙලන බැව් එක හෙලා,
හිඳිමි එනමුදු තවම මග බලා

දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
ගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....
මගේ හද මියැදිලා
ඉදින් මට පලක් නැත වැලපිලා......

26. පිරී ඉතිරෙයි නෙතුයුග





වැහි පිණිතිවල දැවටුන
හීන් හැන්දෑ හුළඟක්
කොණිති ගන්වයි හදවත

ආන් එතකොට
වාන් දමමින්
පිරී ඉතිරෙයි නෙතුයුග

25. හිත හදා ගන්නත් බෑ






පිණි කඳුලු මල් පෙති සිඹින්නේ 

සඳ අඳුරු වුන දා
වැහි කඳුලු පොලවට වැටෙයි 
ගගනත රුදුරු වුන දා
මගෙ කඳුලු දෙකොපුල් තෙමාලන්නේ කිමද මන්දා
මම තනියෙන්ම දුක් වින්දා

මා දිහා අමනාප නෙත් රැඳවූව දවසක් නෑ
මා සවන් මත රුදු වදන් රැඳවූව දවසක් නෑ
ඒ කිමද අද වනතුරා ඔබ නෙත් විවර කර නෑ
මා හඳුනගෙන නෑ

නෙත් කෙවෙනි රත් පැහැ වුනේ කිම හිතා ගන්නත් බෑ

දුක රැඳුන මතකයක් නෑ දුක දරාගන්නත් බෑ
කඳුලු වියැලෙන තුරා මට මග බලා ඉන්නත් බෑ
හිත හදා ගන්නත් බෑ



24.. දල්වන්න පෙර අහස් ලන්තෑරුම





ලා රෝස හිමිදිරි කිරිල්ලිය
දල්වන්න පෙර
අහස් ලන්තෑරුම

මල් ළදැරියන් පිබිදෙත්
පිණි දියරකින්
මුහුණු දොවමින

23. කලුපාට අහසකට මොකට දුන්නද සඳක්?



පෝ දාට විතරක්ම ළඟින් හිඳ එක රැයක්
රන්පාට තරු හීනවලට කර ඔච්චමක්
පින්පාට තවරාන කලේ මහ රැවටුමක්
කලුපාට අහසකට මොකට  දුන්නද සඳක්?


22. හත්පෙති






ශේන්යා,
උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ…..

හත්පෙති මල් පරවෙලා
දැන් බොහෝ කල් නෙව
කෙල්ලේ…..





21. ඔබ ඔබව පබඳින්න


සුමිතුර
ඔබ ඔබව පබඳින්න
පිටදී මල් හලන ගසකට
මම අසා සිටිතැයි නොසිතාම

නොයා ඉන්නට බැරි නම්
නැගිට යන්නෙමි නොදොඩාම
ඔබේ කවිකම් දැහැනට
හුස්මකින්වත්
අකුල් නොහෙලාම

ඉසිඹුවක් ලද ඇසිල්ලේ
යලිදු එන්නෙමි පෙරසේම
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
ඔබ ඔබව කියවනයුරු

ඔබේ කවි පේලියක් ඇතුලෙන්
මම මාව දකිනා ඇසිල්ලක
හිස් පිටක සටහන් තබන්නෙමි
මුවින් වදනක් නොදොඩාම




ප.ලි :

මෙන්න මේ කවියට තමයි ඔය පිලිතුර ලීවෙ.

 


20. මහ පොළොව නුඹ







කලු පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා

මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා

වැහි අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා

පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා

ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි
කියා පැසසුම් සලා....

19.. සිත්තරෙක්




පරණ පොප්ලර් ගසෙක
උසම රිකිල්ලට නැගගත්ත
සිත්තරෙක්
අළු පාට සායම් අතුල්ලයි
සුදු වළා කැටි මත

18. තාරකාවක් යට



ඈත තනිවුන
පුංචි තරුවක්
දැවි දැවී යලි නිවෙනවා
නිවි නිවී යළි දැවෙනවා
හඳත් නෑ අද
ඔයත් නෑ ළඟ
මගේ නෙතු යුග තෙමෙනවා
ඔයත් දැක්කද
පුංචි තරුවක්
අපිට ඉහළින්
දිලෙනවා


පෙරේදා හිට
එකම ඕසෙට
මෙහෙට හිම කැට
වැටෙනවා
ලන්ච් අරගෙන
යන ගමන් මම
දවල් තරු නම් පේනවා
රෑට ඇහිපිය
බරයි හරියට
නිදිමතට ඇස් ඇලෙනවා
හීන ලෝකෙදි
තාරකා වන්
උඹේ ඇස් මට පේනවා



17. තව දුරයි මාවත




නිමිත්ත :

ලියුකේමියාවෙන් දැඩිලෙස පීඩා විඳි ඤාති සොයුරාගේ මරණය







ගෙවී ගොස් ඇත වසන්තය

තුරු හිසක රත් කුසුම් පිබිදුන
සරු කෙතක හිරු කැළුම් ඉහිරුන
නිමා විය විහඟ ගීතය
හදවතට මල් හැඟුම් කැන්දන

දවාලයි ගත නැගෙන දාහය

හමා එයි වියලුන සුළo රැල්
රෝහලේ කවුළුවෙන් හෙමිහිට – එකතු වී සේලයින් සුවඳට
යොමමි නෙතු කවුළුවෙන් එපිටට
සරත් හිරු රැස් පෙලයි නයනත

ඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්

රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයි
නියුරෝන කම්පිතව දුබල හද වෙවුළුවයි
ඇදුම් කන ළය මඬළ සුසුමකින් සසළ වෙයි

බලාපොරොත්තුව…… 

යළිදු මා පුබුදුවයි,
ගගනත වළා කැටි මත
තරු අමුණලා පා කල
බලාපොරොත්තුව……

රෝහල් ඇඳට රහසේ – ජීවය ගෙනා පෙරසේ

දිනිඳු රැස් දිසිසේ – මුවට හසකැන් වළා පිවිසේ

උදා විය සොඳුරු ගිම්හානය

හරිත තුරු වියමන් – සරසා රක්ත පැහැයෙන්
දසත අතුරා නිසoසල බව – පළවා හරියි විහඟුන්
තවත් වියලෙයි සුසුමන්
තවත් උණුසුම් වේය කඳුළැල්

හැලෙයි රත් පැහැ කොල එකින් එක

නග්න තුරු අත් පියකරුයි, විළිබරයි
අහස වැලපෙයි – කළු වළා විසිරෙයි
සුළඟ සසලයි – කවුළු දොර හඬ දෙයි

සීතළ…. ලේ නහර කකියවන

ඇස් කෙවෙනි බොර පාට කරවන
කොපුල් තල කඳුළෙන් තෙමාලන
මද පවන සීතලයි
කඳුළු ඊටත් වඩා වැඩියෙන් සීතලයි....

යළි නැගෙයි ගත වේදනා

ගයත් සැම දිවි රැක දෙනුව ආයාචනා
කැටි කරන් හද සීතළ
හෙලමි හදවත – නිසල වූ වා තලයට

එද සියල්ලෙහි අවසානය?

විඳි වේදනා අවසානය.
මා තව බොහෝ දුර යා යුතුය………..


16. බෙදා ගැනීම







ඔබෙ පුළුල් ළය මත
මා හා ඔබත් සැතැපෙන්න
මගෙ විසල් හදවත
හීන ගඟුලක් මවයි
අපි දෙන්නටම කිමිදෙන්න




15. FROZEN






I closed my eyes,
to the dancing glow,
of the glistening snow......

Closed my ears,

to the stormy rattle,
of the broken window........

For I’ve found my world

Long time ago.....
My heart just dance,
When sunshine flows,
From my head to toe....

Oh FROZEN! Am I ?

That’s all you know!!



14. නැද්ද වැඩිපුර හිතක් හෙම ලඟ?






නින්ද නෑ උතුරාය නෙතු යුග
බින්ද හද වැලපෙයි මතක ලඟ
මන්ද නැවතී තව අතරමග
නැද්ද වැඩිපුර හිතක් හෙම ලඟ?

13. පැටලිල්ල






හිරුගෙ උනුසුම හදම පුබුදා

සදා සොම්නස් සුවය දුන්නේ
හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
නෙත් කොනින් තරු රුව සොයන්නේ.....

මහරු මිණියෙන් දිවිය හැඩකර

රනින්  කිරුලක් පළන්දන්නේ
අඳවු  දෙනෙතින් - කිරුලු නොතකා
තිරිවාන කැටයක් සොයන්නේ......

වරද කොතැනද?

සැලෙන හදකද?
කෙලෙස පැටලුම
ලෙහා ගන්නේ?

මෙයද නිවරද?

නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?

නෙතු පියන් තදකර වසන්නේ

සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ

අනේ සඳ සිසිලක් දියන්නේ..........!



12. ඔයාට බැරිද විලක් වෙන්න?

 



මං හඳක් වෙන්නම්
ඔයාට ඕනෙමද ගඟක් වෙන්න?

සීරුවට සීරුවට ගලනවද?
මිටියාවත්වලට හොරෙන් වගේ
නැත්නම් ඉහිරේවි මගෙ සේද ගවොම්
වස කැතයි පොඩිවුනොතින්

පිම්මෙ යන්නම ඕනෙද?
අපිළිවෙල ගල් පතුරු මැද්දෙන්
කැඩුනොත් එහෙම මුතුපොට
දන්නවනෙ මුතු ගිනි ගණන්
පැටලෙද්දි කෙහෙරැල් කරාබුවෙ
මහා වදයක් මටනම්

එහෙනම් ඉතින් මං හඳක් වෙන්නම්
ඒත්
ඔයාට බැරිද විලක් වෙන්න?
අන්න එතකොට මටත් පුලුවන්
ඩයනා වගේම හිනාවෙන්න.

11. එළි





කළබල වීදියක
නියොන් එළි මග දෙපස දැල්වෙයි
දිවයන රිය පෙලද
තියුණු කහ එළි දල්වයි
සාදයට සැරසුන
තරු කිණිති
වියැකී යයි





10. උඹ ඒ පාරෙ නොගිහින්, ආවනම් මේ පාරෙ


නිමිත්ත : 

පාසැල් රැස්වීම අවස්ථාවේ විදුහල්පතිතුමා  නොකල වරදකට අසභ්‍ය වචනයෙන් බැනවදීම නිසා ඇතිවූ සිත්තැවුලෙන් දැරියක් ගෙල වැළලා ගනී.


උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව  
ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.
ඒ කොයි කාලෙකට ඉස්සරද?
කාලෙ වෙනස් – තාලෙ අලුත්

ඒත්,
උඹ ඒ පාරෙ නොගිහින්,
ආවනම් මේ පාරෙ,
බලන්නට තිවුන නංගියේ
අදටත් පොප්ලර් ගස් දළුලන බව




9. අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්





නිශා අහසේ - නැගී තරුවැල්
සිනා සැලුවත්
කොයිතරම්

වළා සළු මැද – දිලෙන පුරහඳ
කෙසේ උන් හා
සමකරම්

අනේ පුරහඳ – වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං
ඔබේ දසුනෙන්
සැනසුනෙම්
කෙසේ ගගනත
පියමනිම්

සෙනේ සඳකැන්
විදාලන්, විල් දිය මතින්
සිහිල විඳගමි
හදවතින්

අමාවකනම් 
එපා
මොහොතක්වත් ඉතින්

8. හිතට එන කවි නතර වෙන් නැති







උඹේ ඇස් අමතකව යන් නැති
ඇහේ තෙත පොළවට හැලෙන් නැති
හිතට එන කවි නතර වෙන් නැති
එක තමයි දුක තාම හිතවති

7. අතරමං


සඳ කිණිත්තක
වෙලී ආයෙමි
තරු අතර ඔබ
අතරමං


දිය කඩිත්තක
පිපී උන්නෙමි
අතුපතර ඔබ
අතරමං


කුරුළු ගීයක
එතී ආයෙමි
මදනලක ඔබ
අතරමං


කඳුලු කැටයක
ගිලී උන්නෙමි
ඔබ සෙමෙන්
පිහදානකං



6. කඳුළු වගුරයි ගගනත




රුදුරු ගෙරවුම්
විදුලි එරෙවුම්
විඳිමින් අසෙනි අකුණක

බරවු දෙකොපුල්
බිමට හරවා
කඳුළු වගුරයි
ගගනත

5. වැස්ස



අහස් ගඟ තෙත පුළුන් අතුරා
දල්වමින් නෙක විදුලි ධාරා

සැකෙන් ඇලලුන අකුණු නදකින්
වලා දැරියක සවන් පාරා

කඳුහිසත් තුරු අතුත් අතගා
කුසුම් පෙති හෙමි හෙමින් පීරා

වැස්ස සැමදා සොයයි මොනවද 
පොළව මතුපිට සෙමෙන් හාරා


4. විවර්ණ






දේදුනු වර්ණ කලතා
පියවි ලෝකේ
ඇන්ද ආදර ෆැන්ටසි

පාට එකිනෙක ගලවා
හීනයෙන් හීනයට තවරා
වසා නෙත් යුග
හොරෙන් විඳිනෙමි

රුසියන් සිනහවේ
ඇත ඔබේ වම් කම්මුලේ සුලිය,
ප්‍රංශ නෙත් යුග මත
දිටිමි ඔබෙ දිගු ඇහිබැම,
රෝස ඉන්දියානු මුහුණත
දිලිසුණිය ඔබෙ නිල් ඇස්

ඔබ විවර්ණය
සිහින ලොව මම 
අවර්ණය.


3. එකෝමත් එක භවයක








සුදු පාට හත්පෙති මලක් වී
පාන්දර මම අවදි වෙනකොට
පිණි පොදක් වී සිහිල දුන්නා
මගේ ඇස් අග්ගිස්සට

එකෝමත් එක භවයක



ලා රෝස පැහැ හීනයක් වී

ළදැරියක් හොය හොයා යනකොට
සඳ කිණිත්තක් වෙලා අහසේ
පාර කිවුවා හෙමිහිට

එකෝමත් එක භවයක



කුරුලු ගීයක පදවැලක් වී

හෙමි හෙමින් පාවෙලා යනකොට
මදනලක් වී පෙරලි කරමින්
ළඟින් උන්නා තනියට

එකෝමත් එක භවයක

අද වගේ මතකයි මට