20. මහ පොළොව නුඹ
කලු පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා
මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා
වැහි අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා
පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා
ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි
කියා පැසසුම් සලා....
No comments:
Post a Comment