Tuesday, May 26, 2015

46. මාධවී කියන්නේ මම විතරමද?





මාධවී ඔබටත් ඇහෙනවද?
සංගීත සාදයෙහි සල්ලාල වස්දඬුව
ඔබේ නම නැවත නැවතත් ගයන
මුල් ස්වරය ගැඹුරෙන්ද, අවසන් ස්වරය මෘදුවද 
මා ඔබේ නම උසුරුවන විදියටම

නිල් කෙහෙ කැරලිවල සුවඳද
මල් හිනාවක කිකිණි ස්වරයද
දුල් දෙනෙත් විලෙහි ගැඹුරද
මං මිසක් වෙන කවුරුවත් දැන ගත්තෙ කොහොමද?

මං හිතන්නෙ මාධවී,
අපේ ආදර කතා අහගෙන
හොරෙන් බල බල ලත වෙවී උන් ගඟ දිය
රහස් සේරම කියන්නැති බට පඳුරු ගොන්නට
මුල් ස්වරය ගැඹුරෙන්ද - අවසන් ස්වරය මෘදුවද 
මා ඔබේ නම උසුරුවන විදියටම රසකර

දැන් තරුණ වස්දඬුවකිය ඒ බට පඳුර
නොකිව්වට මම, දන්නවනෙ අපි මහළු බව
එයාටත් ඇහේවිද?
අපිම විතරක් දන්න – ඒ සොඳුරු පෙම් පුවත
ගඟ දියෙහි වාචාල කේලම්
කැදැල්ලට ගිනි අවුළුවාවිද?

ඔයානම් ඉස්සර වගේමයි සුමේධ,
මාධවී කියන්නේ මම විතරමද?
ඇරත් ඔහු මා අමතන්නෙ
සේරෝම ස්වර එකම විදියට රළුව,
රිද්මයක් තියා තෙතමනයක්වත් නැතුව,
මං අහන්නේ සුමේධ,
මාධවී කියන්නෙ මට විතරමද?

4 comments:

  1. මාධවී ඇවිත් ගියා ඔන්න මෙහෙටත්... :)

    ReplyDelete
    Replies
    1. මාධවී ඔබටත් ඇහුනාද?

      බොහොම ස්තූතියි මෙහේ ආවට! ආයෙමත් එන්න හොඳේ...

      Delete
  2. http://nelumyaya.com/?p=2702

    කවි ලොසින්ජර පටං ගන්න මුල්වුණු.. මගේ ආසම කවිය..
    තව පොඩ්ඩෙන් මේක නෙළුම් යායෙන් මග ඇරෙනව.. කවි වැටෙන් වේගෙට :පp

    ReplyDelete