Thursday, May 21, 2015

32. වම් කම්මුලේ සුළිය


නිමිත්ත -
ඔඩුදුවන පෙම් රිදුම ('නුවර කුමාරි' බ්ලොග් අඩවිය)



ඉස්සරම හුරු පුරුදු විදියට
යටි තොලේ කෙලවරක් විකාගෙන
දිගැටි වත වමට ඇල කරගෙන
යන්නටම යන්නයැයි කිය කිය
සියලු බැමි එකිනෙක මුදයි ඔබ

ඇහිපියන් යන්තමක් අඩවන්ය
හද අගුළු වෙත යෙදූ මුරපද බිඳිනකොට
නිකට මුල කලු උපන් ලපයද
තවමත් එතැනමය - එහෙමමය.

ඒත් කෝ අර වම් කම්මුලේ සුළිය?
කොස්සන් හිනා එක්ක කොපුල් ඇතුලට එබෙන
අන්තිමේ රෝස පැහැ ගෙන බැබලෙන

ඉතින් ඔබ දිගු දෙ'අත් විසිකර
දොර වසන තුරු බලා ඉමි මම
අලුත් මුර පද බැඳ,බැඳ
යළිත් ඔබ හද'ගුළු පිරික්සන

"අනේ පණ්ඩිත මැටි කෙල්ල!"
සිනහවෙමි කට කොණින් මම ආයෙම
අගුළු තදකර වසන මුත් ඔබ
මම තවම හදවතේ ඇතුලත පැත්තෙ ය.

ඔන්න ඔබ හැරී ඇස් ලොකුකර බලන,
"චටස්" ගා නලලතට අත්ලෙන් ගසන
ඉනික්බිති රැළි බිඳෙන හසරැල් සයුරෙහි
අපි දෙදෙන අතිනත වෙලාගෙන කිමිදෙන

අන්න අර වම් කම්මුලේ සුපුරුදු සුළිය!
කොපුල් ඇතුලට තව තවත් ගැඹුරට එබෙන
වෙනදාට වැඩි කාන්තියකින් බැබලෙන!



6 comments:

  1. මේ වැඩේ හොදයි . අපටත් පහසුයි.

    ReplyDelete
  2. මේ කවිය කියෙව්වම ‘90 දශකයේ සුජීව ප්‍රසන්න ආරච්චි සමග එකට කවි ලියූ සුදත් ප්‍රසන්න විතානගේ ගෙ කවියක් මකයට එනවා.

    “මා ඉදිරියේ මොටද මේ තැතිගෙන..
    ගන්න ඇඟිල්ල කටෙන් එළියට..

    කොණ්ඩ පටිය මුවගින් හපන
    ඇස් යටින් හිනවෙන්නට උපන් හපනිය
    (හැම දෙයක්ම පටන් අරගෙන නේද..)
    බොහොමයක් හිනා සඟවගෙන
    කතාකරනකොට නෙ ලස්සන.....
    ,,,,,,,,,,,,“

    නියමයි.....(y)

    ReplyDelete
    Replies
    1. කලින් කියවා නොතිබ්බ ලස්සනම කවියක්. ගොඩක් ස්තූතියි උපුටා දැක්වුවාට!

      Delete