Tuesday, July 28, 2015

85. ඒ ගැන කලබල විය යුතු නැත!






අළු ද දුඹුටුළු ද
කළු අඟුරු කුඩු කැබලිතිද
ලදළු, මල් පුබුදුවන 
පොහොරක්‍ ය.

කඳුළු වුව මල් මුවට
ඉහෙන පිනි වැස්සක්‍ ය.

රළු ගායනාවකට
සුළු ඉසිඹුවක් දෙන්නෙ
හඬ සීරුමාරු කරවන කුඩා කැස්සක් ය.


84. මත්ස්‍ය මැසිවිලි


නිමිත්ත :
"(කිඹුල්) කඳුලු" - ලිෂාන් පුවක්ඕවිට





ඇසෙයි නෑසෙයි 
මත්ස්‍ය මැසිවිලී,
නීල දිය, 
රම්‍ය ජලකර පුෂ්ප,
වස කම්මැලී,
දැකල දැකලාම
අමිහිරී
සිහිල් ගං දියරැළී.....

තරුණ කොක් 
මහතාණ,
ඉවුරු අස ගැවස ඇස්
ඉඟිපාන,
ඉන්න මම දිය මතට එමි පෙම
පුරවාන,
යංද අපි අල්ලන්න රන් පැහැ
ඉරපාන?

83. ලැව් ගින්න ඉවරය





පලින් පල
දැවුණු තෘණ පඳුරුය.
ලැව් ගින්න ඉවරය.

තවත් ගිනිමල් පිපේදැයි
ඔබ පිරික්සුම්,
ඇහෙත් තෙත – මහ බරයි හිත
මම නොරිස්සුම්,
පුළුටු සුවඳක් 
ශේෂ කර ඇත
පිළිස්සුම්...

සිඳු රළකි දෙපතුලට හාදු දී පැනයන්නෙ
ගම් නගර ගිලගන්නෙ,
කඳු හිසකි මිහිදුමට මුදු රහස් කොඳුරන්නෙ
හිසට ගල් පෙරළන්නෙ,
ආදරේ දුම් වළලු මුහුලසක දැවටෙන්නෙ
ගිනි පුපුරු විසිරෙන්නෙ,
සොම්නසින් නොවෙද දොම්නස උපදින්නෙ?

පලින් පල
දැවුණු තෘණ පඳුරුය,
දුම් වැදුණු කවි පොකුරුය,
ලැව් ගින්න ඉවරය....


Thursday, July 23, 2015

82. කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?






ඔබ ගියේ ඒ වගේ,
ප්‍රථම හෘදයාබාධය වගේ
ආශ්වාසය එකතැනම නවතලා
කතා නැති උගුර කට වේළලා
වියරු උල් නිය වැදුනු කළුවරත් සීරිලා

ඇහැරිලා බලනකොට
ලුණු වතුර ගොඩ ගලල
මං නහය ගාවට ගිලිල
කම්මුල් දෙකත් ඉදිමිල - ඇසුත් රතුවෙල

ඉන් පස්සෙ නිතර නිතරෝම
කුඩා ආඝාත වැළඳෙනව එක දිගටෝම
මදුරුවෙක් විද්දම වගේ
යාන්තම් නිය පිටින් අතුල්ලලා පිහදැම්මෙ
ඉඳල හිටලයි රෝස පාටට පළුවක් උනත් දැම්මෙ

කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?
වෙන්කරල තේරුම් ගන්න මං නෑ දන්නෙ.
මමත් හිටිගමන් "චටස්" ගා අතුල් පහරක් දෙන්නෙ,
මිනීමරු මදහසක් හින්දයි, කට කොණක් යන්තමට එතකොට ඉස්සෙන්නෙ.


81. මට ඇත්තම කියන්න!





ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
මගෙ බඩේ පිපෙන්නේ මොන මල්ද?
පීරිසි වගේ පියෝනි මල්ද?
පැණි පිරුණු හත්පෙති මල්ද?
මේ තරම් ල්ලු පියාඹන්නේ ඒකද?

ඔය අතරෙ වල් රෝස පඳුරුත් තියෙනවද?
තියුණු කටු ඇනෙනවා රැවුම් පහරක් වැදෙනකොට
සමනල්ලු හිටි ගමන් මැරෙනවා දිගු දෙබැම සිහින් වෙනකොට

ප්ලීස් ඩොක්ටර්,
මට ඇත්තම කියන්න,
ලෙඩේ ඇත්තේ මල්වලද? ල් ටුවලද?





80. මනෝ ව්‍යාධියක්?





ඔබ ඔය කියන්නට යන්නේ,
ආදරය හිතළුවක් කියලද?

පෙන්ගුයින් මැහැල්ලක් වගේ
අත්ල සීතල වෙන එක
වදකාර මී මැසි පොදි
වම් කනෙන් හිස ඇතුලතට රිංගන එක
කහපාට බුල්ඩෝසර
රේස් දම දම හිත තලාගෙන දුවන එක

ඔබ ඔය කියන්නට යන්නේ,
මනෝ ව්‍යාධියක් කියලද?


79. දෙන්න ළමයෝ ඉක්මනට





හාදු අහුරක් දියකර
ඔය බුරුසු රැවුල් මුස්න එහි පොඟවන්න
කෝ දෙන්න, දෙන්න ළමයෝ ඉක්මනට

හරි අන්ධකාරයි අද හැන්දෑව
 මුඩුම වැහිකළු ටික
මේ දැන්ම අතුගා දමන්නට ඕනෑය



Wednesday, July 22, 2015

78. අනේ අපි හෙට වෙනකල්ම මග බලන






කුඩා කළු පැහැ අකුරු පොකුරුය
හිස පුරා චලන සිත්තම් අඳින
තැනින් තැන දාස්පෙතියා මල් ය
"අනේ අයියේ මාව කන්නැ'යි" කොඳුරන
දාස්පෙති දකින ගානේ හිත තිගැස්සෙන

ශ්‍යාමලී ගෝමස්ගෙ නැට්ට ගැන,
කතාවක් නැතිකොට අපේ විමළාවට නිදිමත නො'එන,
රුක්මනී වගේ ඉස්ටැයිල් ඕනෑමයි අඬන,
හීනෙනුත් කම්මුලට බළල් කොට්ටා පහරක් වැදෙන.

හිතනලන්තය හොයහොයා සිතියමක් ඔරවන,
GPS විකල්ලෙනි - GoogLe Maps අනේ මට තව බෑ කියන
CraZy FaNsලාය - සිතියම උඩ ඉඳගෙන බ්ලූබෙරි මෆින් බුදින
FiReෆොක්ස් ChRomE ඇතුලෙන් සාවාරියාගේ පියාව අමතන
'මිස්ටර්. FigaRoගේ සුවදුක් කොහොමදැ'යි" නිකමට අහන

"හිතනලන්තය ඇත්තෙ මෙතැනය"
අමිලානි සිය හිසට දෙවරක් තඩිබාන,
කළු අකුරු එළියට අදින, සුදෝසුදු පිටු පුරවන,
හිතනලන්තෙන් කුඩා කොටහක රැපින් පේපර් එතෙන
අනේ අපි හෙට වෙනකල්ම මග බලන - කෙල හලන.


77. ඔබ ඇවිත් යන බව





නවකතාවක කළු අකුරු 
බොඳවෙනකොට,
කෝපි දුම හුස්ම වැද 
විසිරෙනකොට,
හිස් තැනක් වුව මහ බරට
දැනෙනකොට,
හිස බමනකොට,

දන්නවා මම හොඳටෝම,
හිටිවනම ඔබ ඇවිත් යන බව
මේ වගේ අඳුරු හැන්දෑවරුවල


Tuesday, July 14, 2015

76. දුම් රළකි පැල්පත් පියස්සේ





පිණිති වැහි අස්සේ
ලපැටි තේ දළු ගැස්සේ
කඳු හිස් අගිස්සේ
දුම් රළකි පැල්පත් පියස්සේ


75. හදක්; සෙනෙහසින් ගැබ්බර වුන


නිමිත්ත :
"රූරා වැටෙමු" - රසිකා ගුණවර්ධන




සියක් පිණි කැට උඩ පැන
මවන්නේ වක ගැහුනු දේදුණු පොඩිතිය.
නො'එක් සුසුවඳ කැටිකර
සුලං රැල්ලක වෙලෙන්නේ මල් කිණිතිය.

ඔබේ අත්ලත සැඟවුන
හදක් ඇත සෙනෙහසින් නිති ගැබ්බර වුන.
උණු හාදු දියරක් ගෙන
දොලදුකකි සරතැස නිවන්නට අයැදින.


Monday, July 13, 2015

74. කවි අයිති මහපොළොවට


නිමිත්ත :
ඔබටය අයිති කවි - ෂසිකා අමාලි මුණසිංහ




ගඟක නිල් කෙහෙරැල්ල පසසන කිසිවෙක්
උල්පතක් ගැන යමක් කියනවද සුමිතුර?
කඳු හිසත්, ගල්පරත් ගැන කිසි වදනක්
කියන්නෙද දිය ඇල්ලක රැඳුනු විසිතුර?

මල් මුවක් වුව බලා ඉන්නේ
පිණි උරන හිරු රැසට බනින්නයි
ගං දියක් මුහුදට බසින්නේ
රැලි පොඩිති ගැන මුහුදටම ආවඩන්නයි

කවි කියන්නේ මොනවද?
කොහෙන් ඒ මතුවෙනවද?
ලියැවෙනව මිස ලියන්නට නොහැකිය වෙහෙස ගෙන,
කවි කියන්නේ එහෙමය.

කවි අයිති මහපොළොවට,
හඬන උන්ගේ කඳුලට, 
තැලෙන උන්ගේ සුසුමට,
මියෙන උන්ගේ රුහිරට.
කවි අයිති මහපොළොවට!!



73. රන් කැඩපත


මවුබිම යං අතිරේකය : 09 - ජුනි - 2015







Saturday, July 11, 2015

72. ස්නේහය බිඳක් තවරා මෙහෙ එවනවද?



නිමිත්ත :
"ඇල්ප්ස් කඳු මුදුනෙහි" (ශසිකා අමාලි.) කවියට පිළිතුරකි.




නළලතට හාදු දී පැන යන්නෙ කඳුකර මදනල
ඔබේ ඉක්මන් සුස්ම පහරක් සිහිකර
පිණි බිඳු මතින් පිබිදේ කුඩා වක් දේදුණු
කුඩා නෙත් කැල්මන් වැනිව - පුබුදයි හදවත
මිණි ගිගිරි හසරැල් නදක් සිරි කැන්දා
සලසල හඬක් නගන්නේ දිය කඳුරකි

කුඩා චින්චැට් කිරිල්ලකගේ තටු මත
ස්නේහය බිඳක් තවරා මෙහෙ එවනවද?
රත් පැහැති තුරු පතක - කුරුමිණි අකුරෙන්
ආදරේ බවට කෙටි සටහනක් ලියනවද?



71. ලොඩියෝ






"ලොඩියාගේ කාය සැකැස්ම,
ලොඩියා මෙන්න මෙහෙමය
ලොඩියා අරහෙමය
ලොඩියා ලොඩියා ලොඩියා"
බයෝ ටීචර් කෑගහන හඬ
ඇහුනෙ ගල් පවුරෙන් එපිට හුන්
විසල් රළගෙඩි වලටය.

'අහා ලොඩියෝ ඉතිං කොහොමද?'
කුඩා ජෙලිෆිෂ් දිහා බලබල
කට කොනක් ඇද කරන් ඇහුවේ
දඟකාර රළ පොඩිති ය.

හඬා වැටෙමින් කුඩා ජෙලියන්
අම්මා ගාවට දුවන අතරේ
'හලෝ ලොඩියා! හුහූ ලොඩියා'
ගැයුවෙ පසැඟිලි කොල්ලොය.

ලා පැහැති ජෙලි වතේ 
කඳුළු කැට පිපුනෙ මුතුඇට වගේ
අම්මා ජෙල්ලී - පාද සෙල්ලී
කවුද ඇඬවූයේ එරන්වන් දරු මගේ?

කුඩා කසුකුසු කතා අතරේ
බයෝ පන්තිය ගැනත් මැතිරේ
ජෙලිමාළු වෙරළතේ අඳුරේ
රොද බැඳන් විෂ කවත් වතුරේ

"වැදුනොතින් ජෙලියන්ව පපුවේ
එතැන එහෙමම මැරෙනවා
අතපයක ලුමිනස් පැහැති විස
තැවරුනෝතින් කසනවා
පීරියඩ් කට් කරන් වෙරළට
පැන්නොතින් හම ගහනවා"
උපැස් යුවලට උඩින් බලබල
බයෝ ටීචර් කියනවා.....!

Thursday, July 9, 2015

70. හිටිවනම නතර වෙයි තත්පර






එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර

සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර

අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර

කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර


69. අඳුනන්නෙවත් නැතුවම






තේ බඳුන තුල ඉඟුරු සුවඳක්ව
මේකුලක සල අකුණු එළියක්ව
ගී පොතක අති උච්ච ස්වරයක්ව
වෙස්වලාගෙන ඉන්නටත් පුළුවනි ඔබ

කළු රෝස සුවඳක්ව 
අළු වළා කැටියක්ව
මුළු දවස තිස්සේම
ලුහුබඳිනවත් ඇති මම

මූණටම මුණ ගැහුනම
අඳුනන්නෙවත් නැතුවම!

- බස්සි -


මගේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් ඉහත කවිය මානෙල් නැන්දා විසින් ඉතා මටසිලිටිව ඉංගිරිසියට පෙරලූවාය. මේ ඒ පද පෙරැළියයි.



A hint of ginger in my cup of tea
Lightening in a rain cloud
Ultra high note in a song played
You can be, in disguise!

Like a fragrance of a black rose
Or a fluff of cloud 
Chasing after you
That would be me!

Yet; 
When meet face to face
We don’t know one another!

- Translated by Manel K R Fernando -




68. මෝඩයෝ....!





පුන ගැයුම නිමවෙන්න කලියෙන්
එක්වරම මුව ගොළු වෙයි.
වෙණ තත් බිඳෙන හඬකින්
පින්සල් පහර ඇදවෙයි.

ලියා අවසන් නොවූ කවියක්
කසල බඳුනක සැඟවෙයි.
පියා ගන්නට නොදී නෙත් යුග
කඳුළු පොකුරක් දඟලයි

සීනු හඬ දෙනවා තමයි
සිනමාපටය හරි මැද,
උදෑසන පාඩමක් අවසන,
අල්තාරයට නගින්නට පෙර,
සීනු හඬ දෙනවා තමයි.
කුඩා ඉසිඹුවකට පෙර!

ඉන් පසුව කැරකෙන්නෙ පෘථිවිය 
පෙරට වැඩියෙන් ලලිත ගමනින්....

මෝඩයෝ,
සීනු හැඬුවේ විරාමයකට  පමණය!


Tuesday, July 7, 2015

67. තුති!



එකම දවසේ පත්තර දෙකක බසු කවි දෙකක් පළවීම සතුටකි.

"බසු කවියක් වසත් සුළඟේ.." : කැමීලියා
"මචං යං බලපං" : සහන්
හොඳම යාලුවන් දෙන්නා හොඳම පණිවුඩ ගෙන ඒම තවත් සතුටකි.

වසත් සුළඟට නම් පොසොන් දවස්වල කවිය ඊ මේල් කලෙමි. මටත් අමතකව තිබූ අනිත් කවිය මවුබිම කොහෙන් හොයා ගත්තාදැයි පැනයකි, නමුත් බොහොම සතුටුය.

තුති! නොවක් තුති!

















Monday, July 6, 2015

66. මිස්ටර් ට්රොට් මේ මෙහෙ බලන්ඩකො






මිස්ටර් ට්රොට්, කැත මහලු ගෙම්බෝ
විස්ම විජ්ජා නැද්ද උඹ ලඟ
යෝධ ගුරුලෙක් හංගගෙන ගිය
අම්ම ආපහු ගෙනත් දෙන්නට

ඔව් ඉතින් ඈ කිව්ව අඬ අඬ
ගේනවලු මල් ගවොම්, කලිසම්
පාට පොත්, බෝනික්කො කෙල්ලන්
වයින් වඳුරෙක් නටන වන්නම්

ජෑම් බරණියෙ දළඹු නෝනේ
උදේ හිට කෝ කොයිද නැතුවා
ආත්තම්මට කියන ගානේ
'ඈහ්' කියලා කනක් කැසුවා

ඊයෙ අලුතෙන් ආව ටීචර්
තාත්තෙක් ගැන කවි ලියන්නලු
අතක් උස්සල කවුද ඇහුවම
අම්මගෙන් විස්තර අහන්නලු

ඔය අස්සෙ අර මෝඩ ටොමියා
වැටේ හැපිලා කනක් ඉරිලා
උඩුබුරාගෙන ඌ අඬන්නෙම
බෝල සූකිරි ඕන කියලා

මේන් මේ සුදු බළල් තඩියට
අයිස් පලමක් කන්ඩ ඕනෙලු
මිස්ටර් ට්රොට් මේ මෙහෙ බලන්ඩකො
තවත් රුපියල් දෙකයි මට අඩු



Friday, July 3, 2015

65. ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස





අළුවන් කුසුම් පෙති දිගහැරේ දුම්වැටියෙන්
පඬුවන් වතෙහි මරකත මැණික් මෙනි දිලෙන්නේ ගැඹුරු දෙනුවන්
ඈත පෙරදිග රටකින් පැමිණි මැවුම්කරුවෙක්ද ඒ
මග දෙපස තුත්තිරිද හිස නමන්නේ ගරු සරුවෙනි

හැන්දෑව ලා දම් පැහැ කසී සළුවකි
ලදැරියක් විලස ඇවිටිලි කරමි – නිලා පොකුරක් අතැතිව
සැලෙයි රත් ල'දල්ලක්, ලයිටර හිසක් ඇවිලී
ඔබේ නෙත් තුල රඟන්නේ එක වගේ කෙල්ලන් දෙදෙනෙකි.

ඉසියුම් පුළුන් කැටියක්ව – වළාකුළු වෙත එසවෙමි
නිලා පොකුරෙහි ගිනි මල් ය වළා කෙහෙරැලි අතර තැන තැන
ඉසිලුම් නැතිව ඉපිලෙමි – මද පවනකින් සසැලෙමි
පීරි ගාමින් හද තත් – රෑසියන් සැඟවගෙන වයත් වෙණ

ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස
ස්ටෙප්ස් බිමක් තරමට පුළුල් – හොඳටෝම වැඩියි එහි ඉඩකඩ
සදාකාලයටම ලැගුම් ගන්නට නොතරම්ය
නවාතැන්පොලක් නොව – ගිමන්හලකිය ආවොතින් යන්නම වෙන

සුහදාන සිහින් ස්වරයෙන් සිවුරුහන් ලන්න
අවසාන දුම් වළල්ලෙත් මල් පුබුදන්න
පිටවාන කඩාගෙන යන සුසුමක් තුල කිමිදෙන්න
නොදොඩාම කිසිත් හිස සැලීමෙන් පමණක්ම සමුදෙන්න