Thursday, December 24, 2015

179. ඉල් හඳ



ඉල් හඳ
වැහි බිඳක දියවෙවී
කම්මුල දිගේ බේරෙයි
රන්පාට

'පෝයකට විතරමයි
මතක් වෙන්නේ මාව.
වැලි මාලිගාවෙ ඉහලින්
පායන්නෙ මං කවදාද?
වැලි ඉහිරිලා හීනවල
ඇස් කෙවෙනවා හැම රෑම.'

ගංගාරාමෙ,
වෙනදාට වැඩියෙන් පින්පාට,
දියවෙච්ච එක හොඳයි,
වැඩිපුර උලපු රන්පාට,
මගේ ඉල් හඳ,
දැන් හරිම සන්සුන්පාට.
ඇස් කෙවෙනි යාන්තං,
රතුපාට...

හඳ සිටිය යුතු අහසක!
වෙනස් වෙන'තර,
කලාවෙන් කලාවට - ලතාවට,
කියාගන්නට බැරුවට, මට...

ගෙදර යන අතරමග,
හිතපුරා වැළඳ සිපගමි,
මගේ හඳ...
වැහි ඇල්ලකින් නෑවේ,
ඇතුලු හද!


Wednesday, December 9, 2015

178. සිහින ඔත්තු!



දිනමිණ - ලිවිසැරිය - 2015/12/09


මවුබිම - යං අතිරේකය - 2015/12/08

අද - 2015/12/07


රාවය - 2015/12/06

ලක්බිම - ප්‍රතිභා - 2015/12/03

බූන්දි - සූකිරි ඔත්තු




177. හයිරංකාරයෙක් ආදරය



රතු ස්කාෆයක් නළල හරහට
'හිතුමතේ ජීවිතේ' ටැටූවක් පපුව මැද
කොටි හපුවෙක් දකුණු උරහිස උඩ
තියුණු රදනක දත් විලිස්සන
නිවුණු බාලිකා හිත කිවිස්සන

උඩු රැවුල යන්තමට කරකවා
ඇයි නංකී අපි කළුද අහන
කිණිසි තුඩකින් හිතට ඇන ඇන
සිනමාහලේ අඳුර අතරින්
ආදර හාදුවක් ලයිව් පෙන්වන

හයිරංකාරයෙක් ආදරය
දණිහෙන් ඇන දොරගුළු කඩාදමන
ප්‍රපාතයකින් පහළට තල්ලු කර 
කොස්සන් හිනා දෙන
රොමැන්තික සුළං පිඹ පිඹ
බිම හැපී මැරෙන හැටි අමතක කරවන


Monday, December 7, 2015

176. ලුමිනස් පාට




මම හදන්නෙම අහක බලන්න
ඔයා එන්නෙම ඇහේ ඇමිණෙන්න
ඇත්තමයි මදාරා,
මේ අඳුරු කන්තෝරුවට
ලා දළු පාට අත්බෑගයක් ගෙනාවේ මොකටද?

කවුළුවෙන් එපිට ඉල් වැහි,
කවුළුවෙන් මෙපිට ලේ මිදෙන ඒ.සී. හීතල,
උණුවතුර බෝතලය පවා ලුමිනස් පාට,
මා ඉතා අසරණ කර
ඔබේ අත්බෑගයේ පැහැ ගෙන
ලදල්ලක් විලස සැලි සැලී යන්නේ හදවත

ඇස් උපන්නෙම අහක බලන්න
ලුමිනස් පාට තියෙන්නෙ 
ඇස්වල ඇමිණෙන්න.

අවුකණ්නාඩි මහ දඩබ්බර
හිමායනය වෙන හිත උඩට
අවුරැල්ලක් අරන් ඔයා පායනකොට
මට කියන්න මදාරා,
අවුකණ්නාඩි කරන්නෙම හතුරුකම් නේද?

මං ඔළුව ගිනි අරං දඟලන්නෙ
වාර්තා ටික ඉවර කරගන්න
හෙට අනිද්දා දෙදවසට විතරක්
පරණ අත්බෑගයම අරගෙන එන්න


175. සහෝදරවරුනි!




සහෝදරවරුනි
සටන් පිණිසම පවතින්න
රතු ලෙයින් වටරටුම සෝදාහරින්න
වෙඩි උණ්ඩ ගිලගෙන 
මැස්සො මදුරුවො වගේ
මැරෙන්න!!

අපිට පුළුවනි
කාව්‍යක්කාර පැවරුම් නිසිකලට නිම කරගන්න
කාකයන් මෙන් කැරකි කැරකී
මස් වැදලි අහුලාගන්න
තියුණු සැතකින් කපා විමසා
ලේ රතට කවි පබඳින්න

සහෝදරවරුනි!
වත්පොතට කට බලියාන ඉන්නෙ නැතුව
ගිහිං සටන් වදින්න.


Wednesday, December 2, 2015

174. ජන්මෙට වඩා පුරුද්ද ලොකු !




ගොනුන්ය, මිණි නොබැඳි
ඒ නමය පාර හරහට
හරහට!

සමාවෙන්න මහත්තයා
හෝන් හඬ හීන් මිමිණිල්ලක් වැනි
කීන් ගා සවන නොරැඳී නික්මිණි

අඩුම තරමේ පුස්වෙඩිලිවත්
හෝන් වෙනුවට පුපුරවන්නට බැරුවද?
ගොනෙකුට උනත්
ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව
හිතුනේම නැතුවද?


173. ෆ්ලැමින්ගෝවරු





ෆ්ලැමින්ගෝවරු
උණු වෙවී ගලායන වීදිවල 
කැට්වෝක් ණයටගෙන
කන්තෝරු යන

ඇවිලෙන නගරවල
පඩිපත සැණෙන් දියවෙන
ඉනික්බිත්තේ
ඇටමිදුළු හිරිවැටෙන සීතල ය
තනි කකුලෙන් නැගීසිට
වැය අඩක් පිරිමහගන්න තතනන

ෆ්ලැමින්ගෝවරු
පා පුවරුවෙන් යාන්තම් ඉහලට නැග
කවුළුවට ඇස් මානන
තුංග සල්පිල් හිසක ධජයක මුහුණතක
වර්ණ අබරණ පැළැඳි
තම උවන දැක අත්වාරුවද අත් හැරෙන

මඳ උඩඟු බැල්මකින්
දෙනෙත් ඇතුලත බැබලෙන


172. ඉරණමෙන් දාදු කෙලීම





ඉරණමඩු වැව,
කඳුළු පුරවාගෙන,
අඬාගෙන,
ඉරණමෙන් දාදු කෙලියි
වතුපිටි ඉරාගෙන.

ශාන්තිපුර හුළඟට ඇදුම,
හොස් හා හුස්ම ඇද ඇද
තල් කොල ඉරන
ගස් අතු උගුල්ලන

කිලිනොච්චි අහසට පුළුවන්නෙ
රවන්නයි - අඬන්නයි විතරමද?

171. දෙකොපුලේ මැවෙන කැඩපත්





තෙතබත් වෙලා හිත හොඳටම
තවනම් එපා වැහි ඇල්ලක්
හදවත් හැඩේ ටොපිකොලවල
අලවන් එන්න කවි මල්ලක්

ඔය සෙනෙහසම කිරි සයුරක්
මුදු හාදු පහරත් අකුණක්
අහසෙන් වැටෙන උල්කාවක
සැඟවිද විරහවක ලකුණක්?

වෙරි වෙලා වැනි වැනි මුහුදු රැළි
වැර අරන් ඇහිබැමේ හැප්පෙයි
හිරි වැටී මත් මතක දිය සුළි
මුතු හැඩේ කඳුලක් දෙකක් නික්මෙයි

දෙකොපුලේ මැවෙනකොට කැඩපත්
පේනවද පෙම් පිරුණ
පිරිමි නෙත් යුග තවමත්?



Thursday, November 12, 2015

170. දැන් ඉතින් ආයෙම හිම!

සමූහ කවියකි.

ලිව්වේ :
අමා ජයසිංහ, හෙල්මලී ගුණතිලක, M.K.C.P. ශෂීන්, විසල් සේනාතිලක, දිනේෂ් සිල්වා, මානෙල් ප්‍රනාන්දු, යශෝධා සම්මානි





ගිනි රත් තැඹිලි පෑ සළු
උනා හැර නිරුවත් වේය තුරු
අවසන්ය සාද දැල්වුම
දැන් ඉතින් ආයෙම හිම!

රත් තැඹිලි කහ පෑ
නෙක පත් නිදයි අතර පොත් පිටු
සහස් පත් සරසාවි මගතොට
සුලංරැලි හා පියාසැරියක,
අහුලගන්නට නොමැත කිසිවෙකු !

හිම පියලි අස්සේ  
තණ පත් නිදයි සිත්සේ 
කහ පැහැති සඳ ඉරි 
තුරු පේලි අතරින් වෑස්සේ

සුදු පැහැ පසු බිමක
දිගටෝම කළු ගැහුණු තුරු
එන්නත් කළින් ගල් වුණු
හිම මිනිහෙකුගේ කඳුළු

සීනි කුඩු වැස්සේ
සිහින සැඟවේ තුහින බිස්සේ
උඳුන් ගිනි අස්සේ
දර පතුරු හෙමි හෙමින් ගැස්සේ

ඉතින් ප්‍රිය මහත්වරු
සෙමෙන් රැය පහන් වන තුරු
මදුවිතක් ඇවැසිමයි
මහත්මිය නිදි ගත් පසු

දර දැවී අළු ඉතිරිවී
හිම වැටී අළු  නිවිනිවී
යුෂ මිදී තොල් තෙමී
හිත මැරී සාදය නිමවී

අතැර යනු නොහැකිව 
තුරක නිරුවත් පපුතුර 
හිස හොවා වැලපෙන 
ගිනි රත් තැඹිලි පෑ
මේපල් පතක කඳුලක්  
මිදී ඇත තුරු අග

දැන් ඉතින් ආයෙම හිම!



Tuesday, November 10, 2015

169. ස්මාට් අම්මා




ස්මාට් ජංගමය ඇතුලෙන්
ඉස්කෝලෙ මිස් අරන් එන්නැයි කියූ
කප්පරක් පිංතූර ගූගල් කෙරෙම්මා
ප්‍රින්ටරේකට සුදෝසුදු කරදහි කවා
ලෝකයක් දෝතට ගෙනෙන්නී වඩමින් පෙම්මා

ඔන්ලයින් කඩවීදි ගානේ
පැකට් කල ඔළිඳ, මදටිය හොයා ඇහිඳිම්මා
දොළොස්වෙනි තට්ටුවෙන්
'ගෙවත්තේ සුවඳ මල්' පුබුදුවා ගන්න හැටි
දහ අතේ කල්පනා කරන්නී ගෙල නම්මා

ස්ට්‍රේට් කෙස් මැදින්
දිලෙන තරු ඇස් දෙකේ සෙනේ නැත නිම්මා
ස්මාට් කැෂුවල් ඇඳන් වැඩට යන
ස්මාටීස් අහුරක් අරන් ගෙදර එන
ඇගෙ නමත් 'රත්තරන් අම්මා'!


168. සමකාසන්න සුඛවිහරණ



පිටත වැසි
රිය ඇතුලතද සීතය
සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය.

ටයි ගැටය
හරස් ඉරි ඇඳි කරපටිය
හුස්ම සිරකරවන
වහල් බව සිහිකැඳවන
වැයෙන්නේ ඉංගිරිසි ගීයකි සිහින් ස්වරයෙන්
'සිහිල් සුළඟේ පාව යන්නයි' ඇරයුම්

තදබදය!
රිදුම් දෙන ගෙල හරවමි
වමට - දකුණට - පසුපසට
ටයි ඇඳි බැටළුවෝ
සැපපහසු කුඩා රථවල ගාල්ව
හෙම්බත්ව
ලොම් අහිමිව
රථය තුල සීතලෙන්, යන්තම් ගැහෙමින්

සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය!


167. සමකයේ කඳුලු බිඳු




රතුම රතු චෙරි පාට
දිළිසෙන දුඹුරු කහ පාට
රතුවයින් වල, සීතල බීරවල පාට
කොක්ටේල් සාදයක මිහිර උතුරන රෑට

සිසිර සුළඟක් වැද
කැරකි කැරකී තුරුපත්ය සල්සා නටන
නිදහස් හාදු, ආලිංගන දැක
සිසිරයද වික්ෂිප්තයෙන් උණුහුම්වෙන

සමකයේ කඳුලු බිඳුවට
ඕතම් සාද තහනම්ය 
හැමදාම කොළ නිලඇදුම් හැඳ
ග්ලූකෝස උය උයා දවසරින
ඉරේ රස්නෙට පිච්චි පිච්චී පාට බොඳවෙන


166. වැහි




මල් කුඩ
බඳ වටා දැවටුන 
පිරිමි අත
දකින කොට වැහි වහින්නේ
කම්මුල් උඩ


165. උද්ඝෝෂණය අවසන් ය!



පෙඟී ගිය පෝස්ටර්
වටරවුම වට අතැර ගිය කැප් තොප්පි
සවස වට වැසි දියෙන්
දියවෙවී ගලායයි
රතු විස්මයාර්ථ ලකුණක්

උද්ඝෝෂණය අවසන් ය!



164. වැහි කැරලි මර්දන



රූරා හැලෙද්දී හිසමත
මෝරා නැති - කෝඩු වැහිපොද
දෙඅත්ලට වඩාගෙන
සිඟිති දිය කඩිත්තට මුදාලන
කුළුණුබර තුරු හිටියෙ ඉස්සර

ආරා ඇති නිසා කුස
කාරා කෙල ගසා වැහි බිඳක මුහුණට
ඉපල් කරකවා ඇන
පිණිති වැහි කැබැලි කර ඉහිරවන
දැන් ඉන්නෙ බමුණුකුල තුරු අත් ය

සුලලිත දිය රැලිති තව නැත
මඩ බොර උරාගෙන
මරු විකල්ලෙන් සැලි සැලී යන
සැඩ පහරවල් පමණක් ශේෂ වී ඇත.


163. අමතක වෙන





මියැදුන හරිතලව
ලා දුඹුරු පැහැයෙනි
ඕතමීය පත් මත
ශේෂවූ වසන්තය
මහත් දුක දනවන

වසන්තය බිඳක්වත් 
ඉතිරි නැති පෙලක් පත්
ගිනි රතට ඇවිලෙන
නැතොත් තද කහ පැහැයෙන්
පොළෝ මත වැතිරෙන

අන්තිමේදී බොහෝ දෙනෙකුට
නොඑක් උණුසුම් පැහැ මැද
තුරුපත් පණ අදින බව
සිහිකරන්නට අමතකම වෙන

162. දුම්රිය පීලි මත



දෙඅත් බැඳ 
දෙනෙත් නැත්තවුන් සේ
දුම්රිය පීලි මත
ඇවිද්දෙමු.

සිල්පර කොටන්ය
ළං වෙන්න නොදෙමැයි සපථ වුන
ගැටීමෙන් ප්‍රථම දුම්රිය 
දෙඅත් ගැලවී විසිවින.

ඉනික්බිති ආයේ 'හූ' හඬම පමණය.
ඉතා සුළු භූ කම්පන
දෙඅත් නැති මිනිස් කොට සොලවසොලවා ඇදුන

දෙඅත් බැඳි පවුල් පොදි
ඉස්ටේසමෙන් දුම්රියවලට පැටවෙන
කවුළුව අසල අසුනට පොරකන

දෙඅත් නැතිවම
අපි තවම දුම්රිය පීලි මත ඇවිදින
ඇසෙන නෑසෙන තානයෙන් හදවත් ගැහෙන



161. තිත්ත කළුවර!



හඳ කෑම්පිං ගිහින් හෝර්ටන් තැන්නට
ඝනව වැතිරේ ඉහට ඉහළින් කළුවර
බැල්කනිය කෙලවර
උල් පිහිය දිගුකර
හිතෙන්නෙම කෑලි කපලා බෙදන්නයි මේ කළුවර


කිරිබත් හැඩේ ටිකක් ලොකුවට උදේ කෑමට
කිරිටොපි තරම් පොඩිවට - එක කටට හැපෙන්ට
ඩෝනට් රවුම් හැඩ - තේ මේසෙට තියන්නට
ඉරිදා දවසෙම ගිලින්නට ඇත්තේ තිත්ත කළුවර!


Thursday, October 29, 2015

160. Hotline





හොට්ලයින් නෝනා මහත්මිය,
මගේ අසරණ ඔළුගෙඩිය
හොට් ප්ලේට් එකකි, ඇත්ත.
ඒත් ඔබ ඒ මතම
බිත්තර බදින එක හරිද?

හොට් නිවුස් ලැබෙන්නෙම
දාඩියෙන් පෙඟෙන සිරුරම
එක අයිස් කැටයකට පිඬු කර
හොට්ලයින් නෝනා මහත්මිය,
ඒ අයිස් ඕනෙමද ඔබේ මධු ඔඩමට?

සුපර් කූල් ඔබෙ පිලිවෙත දැක
හොට්ලයින් ඩයල් කල මම
නැවත නැවතත් විස්මපත් වෙන!


159.





නත්තල් සීනු හඬ මැද
දෙව්දාර රිකිල්ලක අග
පිනි බිඳක පැහැයෙන්
වසන්තය උනත් ඉතිරිව තියෙන්නට බැරි නැත


158. සමනල්ලු ඉපදුනේ ඉගිලෙන්ට!





කල නොයුතු
සමනල් පියාපත් අත්ල අතරෙහි සිරකෙරුම
මනකල් වුවද දිලිසෙන පුයර කුඩු
පියාසැරියට නැවතුම් තිතක් තැබුම!

දිලිසෙන කුඩු ද
අසුරු සැනෙකින්
දිලිසීම නවතා මැකී යන

සමනල්ලු ඉපදුනේ ඉගිලෙන්ට!

157. අවසන්ය සාද දැල්වුම





ගිනි රත් තැඹිලි පෑ සළු
උනා හැර නිරුවත් වේය තුරු
අවසන්ය සාද දැල්වුම
දැන් ඉතින් ආයෙම හිම


156. හොඳම අතරමං වීම





සිතියමක් නැතුවම
ඉමක් නොපෙනෙන 
නිමක් නොහැඟෙන
සබඳකම් තුල අතරමං වීම

හොඳම දේ
නම්, ගම්, වාසගම් නොදැනීම!

155. විමසමි





අළු හිස්වැසුම් අඳියි හැව්ලොක්,
නියොන් හාරිච්චි පැළඳ හැඩවෙත් කඩවීදි,
තාර පාරෙහි බමන්නේ මීමැසි පොදි,
ගෙදර දිවයයි පොඩිවුන කමිස, සාරි සහ ටයිපටි.

කලබල බසය මැද
වැයේ 'සාවන්කා මෙහිනා'
කවුළුවට වම් කොපුල තදකර
පෙරදිග සුළං කෝ, කොහි ගියේදැයි විමසමි.



154. Make කර - Up කරන






ඒ ඒ තැනට ගැලපෙන
ෆවුන්ඩේෂන් වෙස්මූණු දාගෙන
ලගන්නා වදන් පමණක් කියැවෙන
මැජික් ලිප්ස්ටික් ගාගෙන
අයි ලයිනර් කූරකින්
දකින දේ රාමුකරගෙන
නිකට උස්සාගෙන
අඳුරු ලප, පැල්ලම් මකාගෙන

නොකිව්වට,
කවුරු කවුරුත් හැමවෙලාවෙම
Make කර, up කරන



Monday, October 26, 2015

153. මනාලී මල් කළඹ තනන්නී






කැරැලි කෙහෙරැලි
ඇද හැර - කෙලින් කර දිලිසවන්නී
වියලි හසරැලි
වත්සුනින් - තොල් සායමෙන් ඔපකරන්නී

විඩාපත් මෙනෙවියක උවනත
විදාහැර සිහින් ඇහිබැමි පෙලහර
විමානෙන් බට නිල් මොණර කොලයක
විසංවාදී පැතුමකට ගුලිවෙන්න පුලුවන්ද?
විඩාහැර නෙත් පියන් අද්දර රඟනකොට
අඳුරු සෙවණැලි පෙරහැර!

අග පැලුනු කෙස් කොට
ඇනුනොතින් රිදුම් දෙයි පෙණැහැල්ල
මුල පැහුනු තැන් හෙනා වැස්මෙන් වසැංගුව
නොඇනුන්නත් කටුවකිය හාරන හද මස
මකන්නට සිහිනෙක ශේෂ පැල්ලම්, ලප
කොච්චරක්නම් ඩීප් ක්ලෙන්සර් ඕනෙද?

විසිරගිය වෙල්වට් රෝස පෙති
එකතු කර කම්බියක මල්කෙමි බඳින්නී
කඳුළකින් පිනි බිංදු පෙති මත ඉහින්නී
සිහිනෙනුත් මනාලී මල් කළඹ තනන්නී



Friday, October 16, 2015

151. අසම්මත



සත්හඬ
27- සැප්තැම්බර් - 2015





150. ගිනිකන වැටීගෙන - වැඳගෙන!





පුත,
අපි කුඩා දුහුවිලි කැබැලි වෙමු.
ඔබම දැල්වූ විදුලි එලියෙන්
දිලිසුණෝ බැබලුණෝ වෙමු.

"අගනුවර දීපන් ළමේකුට
විශ්ව ගම්මානයකි අහසම!
කේතුමති පුර සැණකෙලිය හෙට
නිදහස කවද ලැබුනම මොකද?"

වස වැරැද්දකි පුත!
විදුලි පන්දම තවම නුඹ අත
අප වෙතම දල්වාගෙන
ගිනිකන වැටීගෙන - වැඳගෙන!


149. තාම හුරු නෑ නේද?



රීඩ් මාවත පහුකරනකොට,
ඇස් හොයන්නෙම දම් පාට මල් කුඩ,
ගැස්සිලා යනව උරහිසට ඔබ වාරු වෙනකොට,
ඉස්සො වඩ, අන්නාසි අච්චාරු දකිනකොට,
ඉස්සර වගේ නෙමෙයි,
තෙත් වෙන්නෙ ඇස් කෙවෙනි අග....

නොදැක්කා වගෙ උන්නට
ඔයත් පුරහඳට කවි ලියන බව
ඉඟුරු තේ වෙනුවට කෝපි හදන බව - අහක හලන බව
හදවත් හැඩේ මාල පෙත්තක් අතගගා කල්පනා කරන බව
හොරෙන් ඇස් පිහින බව
දන්නවා මං හොඳටෝම!

මාස හයකුත් පහුවෙලා තිබුනට
තාම හුරු නෑ නේද 
මේ ජීවිතේ අපිට?


148. පෑරෙන සියක් තැන්



කැබලි වුන පෙම් කතා
පංති කාමර, බස් හෝල්ට්, කෝපිහල් වල
මල් උයන්වල, රේල්පාරක කෙලවර
උල් දාර ඇති කවි කැබැලිවල,
හිත නිතර ගැටෙන, සීරෙන, පෑරෙන සියක් තැන්වල


147. පියාණනි මගෙ ලොවම ඔබමයි



දිවි නැවට මහ රුවල ඔබමයි
සවි ගෙනෙන දෙවි රුවද ඔබමයි
රිවි රැසත් ගිරි හිසත් ඔබමයි
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි

බිළිඳු මට කිරි පබළු ඇන්දූ
මුව පුරා හසරැලි පැළැන්දූ
මව් සෙනේ දුන් පිය නිරින්දූ.
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි

රැකවරණ උඩු වියන් ඇතිරූ
මවු ගුණත් – පිය ගුණත් මහරූ
හදේ ගැඹුරේ රැඳුනු පිළිරූ
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි

http://www.youtube.com/watch?v=5YkgomYI348

ගායනය : මරීනා තමෙල්
ගේය පද : යශෝධා සම්මානි
සංගීතය : තරිඳු දිසානායක




Wednesday, October 14, 2015

146. නමක් මොකටද කවියෙකුට?




හැල්මේ දුවන නගරෙක
බසයෙක කවුළුවක් අස
අහඹු සුළඟක් වැදෙන මොහොතක
හද මඳ ඉසිඹුවක් ලැබ
කවි කුසුම් පුබුදන්නැති
කුහුඹු පා සටහනක් තරමට 
කුඩා රොන් සුණු ඉහින්නත් ඇති
හයිලෙවල් පාරට - මග දිගට

නමක් මොකටද කවියකට
යාන්තම් හිත සසලවන
සුවඳක් තියා නික්මෙනකොට

මං අහන්නේ,
නමක් මොකටද
කවියෙකුට?


145. බෝතල් කල යුතු වසන්තය





මහා කඩිමුඩියකින්
නික්ම යන්නට කලින්
බෝතල් කල යුතුය
මීළඟ වසන්තය

ඉන් පසුව එළැඹෙන
සිසිරයේ දිගු සැඳෑවන් මත
වසන්තය බිඳු දෙකක්
ඉහිරවන්නට හැකිය

සීතලම හිම වුනත්
අවුළුවන්නට හැකිය
කෝපි තිබුණත් නැතත්
කවි ලියන්නත් හැකිය

144. කල්පෙකට චුට්ටක් ඉස්සර!




සැමරුම් තිබුනෙ බස් ටිකට්වල
ලිප්ස්ටික් පිස දැමූ ටිෂූවල
ටොපි කොල, කඩලගොටුවල
හැබැයි ඒ කල්පෙකට චුට්ටක් ඉස්සර!



143. එළඹි සිහියෙන් තොර ඔසු





රෝ බිය බොහෝමැයි
රුදු පියවි ලෝකය දුකක් මැයි

ප්‍රේමයෙන් ආතුර වීම
එළඹි සිහියෙන් තොර වීම
සිහින තුල ගැවසීම
බොහෝ සුව දෙන ඔසු මැයි

142. නොහිතනම තැනදි නොගැලපෙන සුළං



ඕතමය මැද වුනත්
වසත් සුළඟක් හමයි
රත් තැඹිලි මතක පත්
සිරි සිරි නදින් සැලෙයි

ජීවිතෙත් ඒ වගෙයි
නොහිතනම තැන් වලදි
නොගැලපෙන සුළං වැද හිත සැලෙයි

141. ගිනි උඳුන් අසල



ඇඟිලි තුඩු නටයි
පැරණි ගී තනුවක් හෙමින් හද තුල වැයෙයි

තත්පරේකින් පංගුවකදී
සෙවණැලිය කියන්නේ
සෙවණැලිම පමණකැයි
හොඳටෝම අමතකව යයි!




Friday, October 9, 2015

140. චතුරංගනී සේනාව






සුදු තරමටම කළු 
කළු තරමටම සුදු
මහා චතුරංගනී සේනාව

සුදු සමෙහි පරම උරුමෙකි පළමු පියවර

නූස් පාබළ සෙබළුය
කරමුලින් ගෙන ඉදිරි පෙළටම ඇද දමන 
බෑ කියන්නට නොහැකිවම පෙරටම යන
බෙලි කැපී මැරි මැරී වැටුනත්
යාන්තම්වත් දුකක් නොගෙනෙන

කිරීටය දෝතට ගෙන
ඉනික්බිති රජු බළකොටුව තුල සැඟවෙන

විරලය නයිට්වරු
සෙබළ බළ ඇණි මතින් අසු පන්නන
රජුන් රැජිණන් පවා අස් කුර හඬින් සසැලෙන

සන්සුන් බිෂොප්වරු
පෙනී නොපෙනී මහා යුධ සැලසුම් අඳින
රහස් විසඳුම් හිස දරාගත් 'රුක්' තෙම 
විමසුම් ඇසින් ගොදුරු සොයමින් ඇවිදින

රැජිණ
හැඩකාර තරමටම වැඩකාර
අනායාසයෙන් යුධ බිම සිසාරා ඇවිදින
දිලෙන දිගු ලෝගුවෙන්
රජුට වුව රැකවරණ සලසන

කලාතුරකින් දිනෙක
කුඩා සෙබළෙක් සතුරු සීමා බිඳලන
ඉහළ නිල තල වෙතට එසැණින් එසවෙන

දුබලයන් මැරි මැරි වැටෙන
'ගේම් ඕවර්' නිසැක බව දැන
බලකොටුව තුලින් රජ මතුවෙන
මහත් ඔල්වරසන් මැද
මධු සාද ඇරඹෙන

අහෝ අනුවණ චතුරංගනී සේනාව!
විසල් අත් යුග දෙකක, 'චතුරංග සෙල්ලමට' මැදි වුන
රජුත් සෙබළුත් එක කුටීරෙක වැළලෙන්න නියමිත වුන

139. ඇලෙනසුළු




රිදී පැහැ ගැල්වූ
බුහුටි හැන්ද
හිම කිරම වීදුරුව පතුලට
කිඳෙන්නෙය
ඝනැති චොකලට් දියර
ඒ වටා මිදෙන්නෙය
ඇලෙන සුළු පැල්ලම්ව
රැඳෙන්නෙය


138. කුඩ


රාවය
2015 - 10 - 11





Tuesday, October 6, 2015

137. ඉඟිකරන්නට එපා ඉරි කමිස!



ඉඟිකරන්නට එපා ඉරි කමිස!
හෙම්බත්ව මැරෙන්නට වැටුන වැරහැල්ලකි හිත,
අම්බානකට මල පැනල මට,
පුම්බගෙන ඉන්න අළුපාට අහසත් එක්ක.
දැන් ඉතින් ඔබ කියන්නේ,
හයිලෙවල් පාර මැද රතුරෝස පිපෙන්නට පුළුවන් බවද?

ඇත්තමයි ළමයෝ,
ඉස්සරම මම වුනත් හිතා උන්නේ එහෙම.

කපුටු කූඩයක් තියනකොට ඉහ උඩ,
ඔය වගේ අබලන් හීනත් ඉතා හැඩ,
මේ වගේ ගිනිපෙට්ටි නගරෙක,
ගිනි තියාගෙන දුවනකොට උදේ හිට,
රතු රෝස කියන්නෙත් ඇවිලෙනා ගිනි දළුවලට.
පිච්චෙනකම්ම ඔබටත් මටත් තේරුම් ගන්න බැරුවට!

136. රපුන්සල් කෙනෙකුගේ සිහිනයක්





මටත් ඇත සිහිනයක්,
සුළං වැද නළලතෙහි රඟ දෙන 
කෙහෙ කැරැල්ලක සිහිනයක්,
හිරු කිරණ වැද
මද උඩඟුවෙන් දිලෙන
දඟකාර තඹ කෙසක සිහිනයක්,

වයලට් මලක් සේම දම් පාට,
ලොසින්ජර රතට තද රතු පාට,
කහ පාට, කොල පාට, දේදුන්නෙ හත් පාට,
හිසකෙසක සඟවනා සිහිනයක්,

මිතුරු කඟවේනෙකුගෙ කෙසර මෙන් රන් පාට
ඉනේ හැපි හැපි රඟන
රැලි ඇරපු දිලිසවපු කොණ්ඩෙක සිහිනයක්

උරහිසෙන් මදක් පහලට හැලෙන,
කෝටියක් කෙහෙ මුදු මුදුව පිපුන,
කලක් හිට් වී තිබුන - රැඩිකල් පෙනුම රැඳුන,
තොප්පි හැඩ හිසකෙසක සිහිනයක්,

මං ඔබෙන් අහන්නේ,
රපුන්සල් කෙනෙකුටත්
තියෙන්නම බැරුවාද
කෙටි කූරු කොණ්ඩයක සිහිනයක්?