Friday, January 13, 2017

271. මල් තුහිනවල නුගුණ


බිඳුණු පිළිණ ද
මිදුනු සිහින ද
අත්බෑගයේ සඟවමි
මතක ගලගා
රිදෙන තැන්වල ගල්වමි

දෙඅත්ලෙන් මුවා කර
වැහි කරාමය නවතමි
ඉහල ඇදඇද නැහැය
මල් තුහිනවල නුගුණ යලි යලි මුමුණමි

270. වතුර මල් සමය යලි ඇරඹෙන



වතුර බිල් ගෙවා අහවර හෙයින
වතුර මල් එක්වරම පැන නඟින
සිහින් දුම් රොටු පා කර
පාරවල් තාර ගොඩවල් නිවෙන

ඉන්පස්සෙ
තුරු ඇස් අගිසිවලින් වැහි හැලෙන
වික්ටෝරියා උයන මැද පිලිම
වහවහා ෂවර ජෙල් තවරන
කපුටුවන් කබා යට සඟවන

කැළැල් වේයැයි වත්සුණු
බළල් නෝනාවරු නොරිස්සුම් වෙන
කලල් මඬ තැවරුණු 
පුළුන් කොට්ටා පා දැක රැවුල හකුලන

පොල්කා ඩොට් සළුව ඇඳ
බේරේ උකුල නලවන
වල්ගා මිරික මිරිකා
ලෙහෙනුන්ය ගිනිඋඳුන වට රැස්කන

වතුර බිල් ගෙවා අහවර හෙයින
වතුර මල් සමය යලි ඇරඹෙන
අතුරෙ යන්නා වගේ
කළු වලාකුළු අග රිදී එළි දිස්වෙන


269. ස්වාධීන පොහොසතුන්


එස්කිමෝවරු කැලත
ඩිස්කවුන්ටඩ් මිලට
ඉස්තරම් අයිස් තොග රැස්කරන
ස්වාධීන පොහොසතුන්
රිදී පැහැ ණයපතින් බිල් ගෙවන

විස්කිරිඥ්ඥා රසකාරක
විස්ම කිලිකුණු-ධූලි-වාරක
ගැස්ම නොදැනෙන බ්ලෙන්ඩර්
රස්නෙ නැති සස්පෙන්ඩර්
හුස්ම නොහෙලා ගනු ගනු නොව සරෙන්ඩර්!

සීතකල වෙළඳසැල් සිසාරා
ස්වාධීන තීරණම විචාරා
සිඳී ගිය අත්පසුම්බිය අස නොසැලෙන
ස්වාධීන පොහොසතුන්
රිදී පැහැ ණයපතින් බිල් ගෙවන

268. ගමිකයන් තව හතිලති



මහ බරැති දුකඳුළු පොදි
ඔලොගුවක පුරවාගෙන
සතුට - සැනසුම විමසන
ගමිකයන් වෙත් තැන තැන

"සතුට තුඟු ගිරි ශිඛරෙකි
වෙර ගෙන තරණයට යුතු"
හිතට ගෙන එඩි හඬගා
දොඩයි උන් සතුටෙහි තතු

කලබල ඇසෙහි නොගැටෙන
රොන් සුණු බිඳක් තරමැති
බිඟු පියපතකටත් වැඩි
සැහැල්ලුවකින් අරුමැසි
නැහැ තුඩු කවකවා කිති
සතුට උන් අස රඟදේය නිති

"ආන් අර ගිරි හිස මත
රනින් කල මැදුරක පියස්සක
සතුට ඇති බැව්" හගිස්සවමින් 
ගමිකයන් තව හතිලති

267. වළාකුළු ගිම් නිවන නිම්නය



සිලිටි අතැඟිලි විහිද විහිදා
කඩනකොට කඩුපුලක් නිදිගැට 
තව අලුත් 'දහවලක්' ඇරඹෙයි
වළාකුළු ගිම් නිවන නිම්නෙට

උදුල මිණියෙන් බැබලි බැබලී
තරු ගැටව් එළියට බහිනකොට 
ගැටිස්සියො සාදෙට අඳින්නේ
නිවෙන දිලිහෙන මිනි-ගවොම් කොට

කාර් බස් පාරවල් නැතියෙන් 
ඕනෙ කෙනෙකුට - ගමන බිමනට
පොරකකා නැගගන්න වෙනවා
'රෑ බදුලු' යන රේල්ලුවකට

වීදි පහනකටත් තමන්ගෙම
නිදහසක් ඕනෑම හන්දා
කුඩා අත්තටු දෙකක් අලවා
'කදෝකිමි' යැයි නමක් බැන්දා

දවස් විසි අටකට වතාවක්
මෙගා මේලා සතුටු සාදෙට
මහා පැණි පුඩිමකි ඉදෙන්නේ
'හඳ' කියන්නේ අන්න ඒකට

එහෙම දවසක - එන්න මිදුලට
සැර විදුලි එලි නිවා විගහට
'හඳෙන්' පොලවට - පෙරෙන පැණි බිඳු
දිව ගගා අම රස විඳින්නට

266. අමතක වුනා වෙන්න නම් බැහැ!



අමතක වුනා වෙන්න බැහැ
අමතන එක ඔබට

ගමන දුර වැඩි නිසා සමහරවිට,
ගිමන් අරිනවා ඇති
රළු කොරොස් කටහඬ,
කපුටුවෙක් වගේ ඇන තියාගෙන
දුරකතන රැහැනක් උඩ

එහෙම නැතිනම් හිර උනාවද
පිම්බුණු හාදු පොදියක්
කේඬෑරි කම්බිය මැද?

අති පණ්ඩිත කතාවක්
බකල ගමනින් පෙරළි පෙරලී එනකොට
චරස් ගා රැහැන් බිඳුනාවද?
බිමට පෙරලුනාවද – කොන්ද ඇවිලුනාවද?

ඉතිං මට දුස්-ස්වප්න එමට
අමතක වුනා වෙන්න නම් බැහැ
අමතන එක ඔබට


265. එකොළොස් වසක් එපිට



එකොළොස් වසක් එපිට
එකොළහ පන්තියේ කුඩා කෙල්ලක්
ඇද අකුරු පොදියක් ඉරාගෙන හිස පොවයි

විමපත් සුස්ම පරහක් වැදී
කෙහෙ අගිස්සෙහි රතු රිබන් පටි සැලෙයි
“හිනාවක් මූණෙ නැති
මහා නපුරෙක් තමයි”
සිඟිති තොල් ලිහී දත් කැට පෙනෙයි
පිණි ජම්බු කම්මුලක්
විහිලුවට කොනිත්තන්නම හිතෙයි

එකොළොස් වසක් මෙපිට
අඳුරු ශීතල රටක
අහඹු වැලි කැටක් වැද
ඇහැ කෙවෙයි

264. අදිසි ලෝගුව



නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

උණුහුමයි තමයි වැඩියෙන් වෙනදට
හීන අල්ලාගන්න ලේසියි 
අපිට අපි නොපෙනෙනකොට
මදුරුවෙක්වත් විදින්නෑ 
හුළඟක් වගේ හමාගෙන, හඹාගෙන යනකොට

ඒ වුනත් ළඟකදි හිට
අයිස් අත්ලක් එතී ගෙල වට
‘තනිකමක’ මිටි ගුලි පහර පිට – පහර දෙයි ඉහ මුදුනට

අන්න ඒකයි මං කියන්නේ
නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

263. ඉතින් සුහදිනිය මං කටුව ඇතුලත ගුලිගැහෙනවා



දොළොස්වෙනි වතාවට
ස්ලයිඩ් පෙල ආයෙමත් බලනවා
පරණ එක්සෙල් ෆයිල්
එකින් එක අරිනවා වහනවා
වහපු ඊ ලියුම් උඩ
කොඩි ලකුණු අඳිනවා - මකනවා

අවිවේකයේ පතුල අතගගා
කුරුටු ගීයක අකුරු මකමකා
ඉතින් සුහදිනිය මං
කටුව ඇතුලතට ගුලිගැහෙනවා

හිස්ගෙඩිය ඉස්සුනොත්
හිස්වෙච්ච හිස් අසුන
ඇස් දෙකට තියුණු කටු අනිනවා
අන්න ඒ වෙලාවට
ගුගුඩු ගුඩු ගුඩු කියා
වතුර බෝතලෙන් පලි ගන්නවා


262. එන්න මේ බීන් බෑගය උඩට



බීන් බෑගයක ඈඳිගෙන
දෙපා හිස ඉහළින් තියාගෙන
ඔහේ නරඹමි
මියුසික් වීඩියෝ අවෝඩ් සෙරමනිය
සෝප් ඔපෙරා අලුත් එපිසෝඩය
මෑෂ්අප් ගී කිහිපය

ඔබ
බදු ඉහළ ගිය ප්‍රතිශත
වගු ඇඳ, ප්‍රස්තාරගත කර
අයවැය ගෙනෙන අණවින
මුණුමුණු නදින් මතුරන

එන්න මේ බීන් බෑගය උඩට
එපා වෙන්නට කලින් ඔබ, මට

තීරු කර බැද අයවැය 
හීනියට ලුණු ගම්මිරිස් ඉස
ඩිජිටල් පුළුල් තිර අස
අපුල්ලමු පෙම්බරෝ අපි දිවි සරතැස

261. බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න?



දිගැටි උල් රදනක දත් ද
තියුණු මුවහත්කල නිය ද
දඩයම් ඇස් ද ගෙරවුම් ද
අතර සැඟවෙන්නට බැරිද
බොළඳ ආදර හදවතක්

අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට
ඇස් පියාගෙන බලනවත් ඇති
දේදුනු පාට හීනයක්

ඉඟිමරන්නේවත් නැතුවම
ආදරේ සීරුවට තවරා
හුළඟෙ පා කරනවත් ඇති
උණුසුම් බළල් හාදුවක්

සීරුවෙන් නිය පහුරු හකුළා
ඉතා හෙමිහින් - මද තිගැස්මෙන්
පිරිමදිනවත් ඇති
මුදු පියාපත් කෙලවරක්

පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තුරුල්කරගෙන ඉන්නවත් ඇති
සේදවන් සමනළයෙක්

"අදත් මූ ගිහිල්ලා
අමන දඩයම් ගමනක්!"
බළල් හද ගැන නිනව්වක් නැති
අයිතිකාරිය බනිනවත් ඇති
නැතිව කිසි ඉස්පාසුවක්


260. ආසනික් ලොසින්ජරයක් මෙන්න



ප්‍රංස හාදුවක් ඇතුලෙදි,
ඇස් පියා ගැනීමයි පහසුම.
හැකිලිච්ච ඇහිබැමක විඩාබර නොදැනෙන්න,
පල් වතුර ගලා යන කුණු කාණු නොපෙනෙන්න,
තවත් ලෙහෙසියි නේද හුස්මවත් නාල්ලා හිටියාම?

බත් අවුළු අවුස්සන වීදි දරුවෙකුගෙ ටකරං සද්ද,
වටරවුමෙ වටරවුම් කැරකෙන ලේ පිරුණ උගුරුවල ගොර සද්ද,
ප්‍රංස හාදුත් එකම අපබ්‍රංසයක් කරවන.
කොමාවක් තියා ආලිංගනයට,දෑතින්ම සවන්පත් වහගන්න...

දුම් වැදුනු සුලං රැලි විඩාවෙනි,
වැහැරිච්ච තුරු අත් ගෙනෙන්නේ සිහිනි කෙඳිරිලි,
රත් අදර මත තැබූ,
ආසනික් ලොසින්ජරයක් මෙන්න,
ප්‍රංස හාදුවක ශිඛරෙකින් පහලට වැටී,
ඉඩදෙන්න මටත්,
දිවිනහගන්න!

259. විවේකය සදාකාලික වූ දා සිට



එලාමය නිහඬකල රෑ සිට
දිවා රැය ඔහේ ගෙවි ගෙවි යනකොට
ඩිවානෙක දිගාවී
මෙගා ටෙලි විතරක්ම නරඹන
විවේකය සදාකාලික වූ දා සිට

හිතවතිය
ජීවිතේ වෙහෙසයි මට
මීවිතේ ගිලී දිවිනහගන්න තරමට
ජීවිතේ පිපාසාවයි මට


258. ඒ අදිසි හිම වළසා



ඒ අදිසි හිම වළසා
නොවැම්බර හෙම්බිරිස්සාවෙන් පෙලෙන
නිතරෝම පත නැහැය කිවිස්සා
වළාකුළු තෙතබරිත කරවන
වැසි පතිත කරවන

දඩ බඩස් හඬ දිදී
පස්පංගු බැරල එහෙ මෙහෙ පෙරලන
තඹ මුට්ටි පුරවා කසායක් උණුකර
අහඹු ගිනිදළු තැනින් තැන මවන

පාන්දර ඉහ බරට දැනෙනකොට
පාත්තරයක් පුරා - නටන උණුදිය දරා
පාත්කර බොත්තං හැඩේ නැහැය
හුමාලය පෙණහැල්ල වෙත අදින
හාත්පස උදා මිහිදුම පිරෙන

ඒ අදිසි හිම වළසා
රිසි නොරිසි හැමට එක විලසා
නොවැම්බර හෙම්බිරිස්සා බෙදන

257. හුස්ම ගන්නා හඬ පවා මට ඇහෙනවා



කොට්ට උරයක
තෙත කඳුළු ලප
සද්ද නැතුවම මකනවා

තට්ට තනියම
ඉන්න මොහොතක
නෑහෙන්න කවි කියනවා
ඔබට ඉඳහිට ඇහෙනවා

වෙට්ටු දාගෙන
වැටෙනකොට ඉර
මදනලක් වී හමනවා

හුස්ම ගන්නා හඬ පවා මට ඇහෙනවා
ස්නේහයෙන් ඔබ වෙලාගෙන ලඟ ඉන්නවා

256. ස්වප්න විමනේ සරන සොඳුරී




ලොම් බ්ලැන්කෙට්ටු පොරවා
අත් පා වකුටු කරවා
කොම්බුවක් මෙන් ඔහේ වැතිරී
ස්වප්න විමනේ සරයි සොඳුරී


"එහෙත් මේ දවස්වල නත්තලද?
හිම කැටිති වැටෙනවද, හීතලද?
නිම නොවෙන වසත් උද්‍යානයක
වොල්ට්ස් සංගීතයක් අහනවද?

දම්පාට මල් වැටුණු ගැහැණු කුඩ
මග දිගට රවුම් කරකැවෙනවද?
කසකසා ඇට දාපු පැණි බීම
බිලිං අච්චාරු රහ බලනවද?

පර්සියන් බළල් නෝනාවරුන්
සිනිඳු පායුග වටේ සරනවද?
ලා රෝස හිස්වැසුම්, පාවැසුම්
කඩවීදි පුරවලා තියෙනවද?

ඔබ සරන මාවතක
බිම්මලක් - මල් ගහක්
කුඩා සමනළෙක් වී
මමත් යන්තමට හරි ඉන්නවද?"

 දන්නවද ඔබ ඔහොම නිදනකොට,
මං සිහින දකින්නේ,
ඇස් දෙකම ඇරලයි!

255. සදා සවුදිය පුරන්නට හැකිය



හීන් ඇස්වල කඳුළු පුරෝගෙන
හීතලට ගුලි ගැහී මා දිහා බලනකොට
කීතුකර පෙම් හසුන්
උඳුන අවුළුවාලන්නට හැකිය.

පීරිගා සඳවතෙන් කොටහක්
සීනි වෙනුවට අත්ල පුරෝගෙන
කෝපි ඔඩමක් මැදින්
සදා සවුදිය පුරන්නට හැකිය.

කවි පොතක් - වෙණ තතක්
තාරකාවක් වුනත්
ගින්දරට විසිකරන්නට හැකිය.

254. යලිදු රහසින් සසැලෙමි



පහන් සිළු නිවි නිවී යනු දැක
දස දහස් වර සසැලෙමි
අවකැපෙන දුස්ස්වප්නයක් මැද
රෑ මැදියමේ ඇහැරෙමි

ආදරිය මේ විසල් ප්‍රේමය
මා හදේ කෙදිනක උපන්නෙද
ධූලි වැකෙමින් සැඟව උන්නෙද
නිරතුරු විපලිසර වෙමි
එනතුරු දෙනෙත දල්වමි
යලිදු රහසින් සසැලෙමි

253. අත් බැඳුම් අත් හරිනු පිණිසය



ප්‍රේමයෙහි පැවතීම
අත් බැඳුම් අත් හරිනු පිණිසය

සරා ගව් සියක් දුර
දරා හද අගුළු බර
විරාගික මදහසක
කිමිදෙමින් සැනහීම පිණිසය

ප්‍රේමයයි කියන්නෙම
ඉමක් නැති නිල් අහසය
නිල් දියෙන් ඉතිරිච්ච
නමක් නැති දුල් දෙනෙතය

252. හදවතේ කටු ඇනුණී



බිංදු වැහි සළුවක් පොරෝගෙන
හැන්දෑව කුරගගා පැමිණී
සින්දුවක අන්තරා කොටසක
රෝස පෙති කිහිපයක් මිමිණී
හදවතේ කටු ඇනුණී

"කරදාසි ඔරු තියෙන්නේ දියබත්වෙන්නමයි මායා
සරදාකාශයක වුවත් අව අටවක නොඒවිද පායා?
පවතින්න පුළුවනිය අපේ ඇස නොගැටී, පිලිස්සී හළුවී - නැතොත් වැළලී
පෙරවදනකින් පසුව අවසැඟව ගිය නවකතාවක සේයා"

කන්ද කෙන්දක් බවට හරවා සඟවමි
ඇහිපියන් ඇතුලත කාටවත් නොපෙනී
අන්ධ අඳුරේ සින්දුවක අන්තරා කොටසක්
දෙතොල් මතුයේ පිපුනී
මන්ද නොදැනම
කොපුල් මත හිම මිදුණී


Thursday, January 12, 2017

251. දම් පැහැති ස්වප්න සුණු



දම් පැහැති ස්වප්න සුණු අහුරක්
සීරුවට අහුලා - ඕතම සුළං මැද වියළා - පෙමින් අසුරා
පෙම් සිතැති කුඩා මව්වත් අඟනක්
ම අත පත් කර ඇතියෙන්

තර්ටි ෆස්ට් සැමරුම් මිටින් ගෙන 
කවුළුවෙන් එපිටහට අතහරිමි
ගිල්ටි නොදැනෙනු පිණිස
හෙට්ටු කල නොහැකි මාකැට්ටුවෙන් 
දම් ස්වප්න සුවඳ කැටියක් ගෙනෙමි
කුඩා එලි තිතක එසුවඳ දකිමි

මදි පාඩු නොවෙන්නට
ඉන්ද්‍රජාලමය සේයා සොයමි
ලැවැන්දර පැහැ විසුල අහස යට
ස්වප්න සුණු අතර මුසපත්වෙමි!

250. කුහුඹු මිනිසුන්‍ ය අපි



කුහුල දනවන කුහුඹු මිනිසුන්‍ ය අපි
රෝස මල් හිස පතිතවන තුරු කල් බලන
තුමුල මල් උද්‍යාන - තුරු ගොමු නොදකින

තටු ඉරීගිය සමනළෙක් ගැන
පිටු ගණන් වාද - අවලාද - සංවාද අවසන
මධු සාද මැදින් හිස බමමින් නික්ම යන

කුහුල දනවන කුහුඹු මිනිසුන් ය අපි
කටු ඇනී ලේ ගලන දෙපතුල් නොපෙනෙන
රෝස මල් හිස පතිත වනතුරු 
දින ගණින.


249.


'මුජ්කෝ පතා හේ'
එබැවින්
ඔතන ඔහොමම නිහඬවම ඉන්න
'කුච් නා කහෝ' වැයෙන එ'හැමවර
අත්ල සීතල මන්ද නොඅසන්න!

248. දිනුම නොමදෙන්නමද අදහස?



අතැඟිලි පහස පතමින්
මවාගත් අමනාපෙන්
කවුන්ට් ඩවුනයක මම

සයනයේ කෙලවර හිඳ
මුවා කර සඳ රැස් කඳ
කල්පනාවක කල්මරන්නේ 
ඔබ

දිනුම නොමදෙන්නමද අදහස?

උහුලන්නට අමාරුම
ඕඩිකොලෝන සුවඳ ඉහිරෙන මුහුලස
පිරිමි හිත ගල්වා තෙත
කෝ ඉතින් සොලවන්න මගෙ වම් උරහිස


247. තුරුණු හිතුවක්කාර පිනි බිඳක්



හිරු නැගෙන්නට පලමු
මලින් මල නොදැක්කා සේ ඇදෙති
පෙලින් පෙල ඉක්මන් දෙපා අදිති
පලින් පල සෙවණක් හොයාගනිති - වහා සැඟවෙති
හුදී පිනි-ජනසන්නිපාතයක්

දහසකුත් එකක් පිනි බිඳු වෙසෙන
හුදී පිනි-ජනසන්නිපාතයක්

එහෙව් ජනපදවලත්
ඉන්නවා කලාතුරකින් වුනත්
ලය ඇනී හිරු කිණිසි
මියෙන බැව් දැන දැනම
මල් දෙපෙති හැකි වැරෙන් සිපගන්න
තුරුණු හිතුවක්කාර පිනි බිඳක්

"පිනි බිංදු කියන්නේ
හිරුට ලය පා මියෙන උදාරම් උදවියැ'යි"
කඩින් කඩ පෙනී නොපෙනී ගියත්
තුඩින් තුඩ රැව් නගන්නට සමත්

මියෙන බැව් දැන දැනම
මල් දෙපෙති සිපගත්ත
තුරුණු හිතුවක්කාර පිනි බිඳක්


246. මතක බරණිය පෙරළුනා



ඔබේ සුළැඟිල්ලක් වැදී
මතක බරණිය පෙරළුනා
සිහින් නිය පහරක් ඇඳී
වැසූ දොරගුළු සීරුනා

ඔබත් දන්නැති
මමත් දන්නැති
අකීකරු තනුවක් ගෙනා
රහස් අකුරැති
කේත බසකින්
අමුතු කවියක් ලියැවුනා

245. ළිං මැඩි



ළිඳ කියයි
මැඬියනී මෙහි ඉන්න
රස පාසි වළදින්න..!!

පත්ලෙ ඇති අදුරෙහිම
ගිලී සැගැවී ඉන්න..
ආකාසෙ බැබැලෙන්නෙ
ගිණි පිබින මකරෙක්‍ ය..
ගෑවුනෝතින් කිරණ
හුගක් පිච්චෙයි ඔන්න..

- අනුශ්ක ප්‍රනාන්දු -

එන්න ආසයි තමයි,
Annual leave ටිකත් එහෙමමයි
ලා රෝස බිකිනියක් ඇඟලන්න
සන්ස්ක්‍රීන තවරාන - සන්ග්ලාස පළඳින්න
ඇඟිලි ගැන ගැන ඉන්නෙ
ඇත්තමයි...

කොපුල් තෙතබත් කරන්
ඇහැට කළුවර අරන්
නෝක්කඩු කියනකොට
අපේ ළිඳ, පුංචි දරුවෙක් වගෙයි
දාල යන්නත් බැරුව
අරං එන්නත් බැරුව
දෙගිඩියාවෙන් නිතර හිත බරයි

තව වතාවක් දෙකක් කියන්නම්,
තරු කඩාදෙන පිළිණ තියන්නම්
අපේ ළිඳ, අපිව තේරුම් ගනියි.

පව් ඉතිං,
එයා දැන් පුංචි දරුවෙක් වගෙයි.

- බස්සි -


244. බොම්බයිමොටයි කෙන්දක්



බොම්බයිමොටයි කෙන්දක්,
පලින් පල ඉරී ගිය,
මැජික් අත්තටු අණ්ඩ ලා ගන්න,
මට දෙන්න තද ෆලූඩා පාට,
බොම්බයිමොටයි කෙන්දක්.

කිරමයි ජෙලියි හැන්දක්,
රනින් රන් එළි කිරණ විහිදන්න,
මැණික් කුඩු අලවන්න,
මට දෙන්න හොඳට උකු,
කිරමයි ජෙලියි හැන්දක්.

රස්තියාදුවෙ යන අතරමග,
දෙස් තියා ඇස් වපරකර බලන,
හිස්ම හිස්ගෙඩියකට,
ටොක් ගා අතහරින්නට,
මට දෙන්න බැදපු රටකජු අහුරක්.

කස ඇට දාපු සරුවත්,
අහම්බෙන්වත් දුටොත් ගොළුවෙච්ච හදවතක්,
බෙදාගෙන සව්දිය පුරන්නට,
මට දෙන්න සීනි වැඩි,
කස ඇට දාපු සරුවත්.

හැම එහෙකටම කලියෙන්,
මෙන්න මේ ඉරුණු අත්තටු අණ්ඩ ලා ගන්න,
මට දෙන්න - මට දෙන්න,
බොම්බයිමොටයි කෙන්දක්!

243. මම දන්නවා පාවෙල්



මම දන්නවා පාවෙල්
ඔබ ඔතැන ඉන්න බව
දුම් වළලු උඩ යව යව
“ඔබ ගාව” සිවුරුහන් කරන බව

මම මෙහෙම කියනකොට
කට කොණින් මදහසක් නගන බව
මට දැනෙනවා පාවෙල්
තරු මල් කඩා ගෙනත්
‘රෑ සීත’ මටත් දැනෙනා තුරා
ඔබ ඔතැන මග බලා ඉන්න බව

242. තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන



මුදා හැර කෙස්ස මුදු මද පවනට
විදා ගමි දෙ’අත් ඉහලට ඉහලට
පිපී එන්නෙය නැවුම් බිම්මල්
ලා තණ පලස මත්තේ

ඉගිල්ලෙන්නයි උවමනා මට
තෙතක් තැවරුන වලා පෙති මැද
සරනවිට ඔබමොබ
තිතක් තරමට කුඩාවට දැකගන්න ඔබ

යදම් නැත – තහනම් නැත
කුඩා කවුළුවකින් ගලන සඳරැස් දැක
හඬ වැලපෙන්නත් නැත
කිදී කිමිදී විඳින්නට නිදහසේ මී විත
රිදී තිරපටකිනුදු අවහිරයක් නැත

පියාපතකින් සැහැල්ලුව ගෙන
වියා සකසුරුවමට ස්නේහයක් 
මකුළු හුයකින් වගේ වෙලා ඇත

හිතක් මත තව හිතක් තැබූ තැන
සිඳුත් සුදු සඳුත් ඉපිදවෙන තැන
විලංගුත් නැතිව හිර කෙරුන තැන
තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන


241. තණකොල පෙත්තෝ vs කුහුඹු අත් පා ඇත්තෝ



සිසිරයෙත් දහදියෙන් තෙමී තෙතබරිත වෙන
රතු ඉරට උඩින් පැන – සැනසුම් සුසුම් හෙලන - කූඹියෝ
පා පුවරු, දුම්‍රිය වේදිකාවේ
පා පැදි පාගපාගා පාරේම රෑ වේ
තුන් රෝද – සිව් රෝද ඇතුලෙත් හිරු රැසින් නෑවේ
කන්න දේ රැස් කරන - කූඹියෝ

ගී රාව ප්‍රතිරාව අවසන
සීක්වීන දිලෙන පිට කබා අත්මිටින් ගෙන
‘කෝ මල්ලි දෙන්න අත්පුඩි – මදි මදි දෙන්න සද්දේ’
කැරකි කැරකී පැද්දේ - ආලෝක ලප අතරමැද්දේ 
කුඩා තණකොල පෙත්තෝ

අනෝරා වැසි වටත් නොතෙමේ
කුඩා තණකොල පෙත්තෝ
තෙමී කිමිදී ගිලී මියැදේ
කුහුඹු අත් පා ඇත්තෝ

240. සොඳුරු සැමරුම් ඇහැරේ



අඳුරු අළු පැහැ දිනවල
කිඳුරු ගීයක ස්වර ගෙන
සොඳුරු සැමරුම් ඇහැරේ
උණු හිරු කිණිති දහරක

පෙත්තෙන් පෙත්ත ගිලිහෙන
දුස්කරම හෝරාවක
රිදුනු තැන් සිප සනසන
කවි අකුරු ඉපදිය හැක

239. ශෝකභරිතයි හිතෙන තැන්



මිහිදුමෙන් සැඟවීගත්
ගිරිශිඛරයක හිසක
පබළු මුතු අමුණනවැති
සිඟිති වනදෙව්ලියක

ශෝකභරිතයි හිතෙන තැන්වල
ශෝකයම නොම විය හැක
සැඟව ඇත්තේ මිතුර!

238.


පොතක අන්තිම පිටුවෙ
කටු ගගා කුරුටු කවි ලියැවුනි
මැද දෙපිටු සමනළුන්,
සුමට කල එ' පෙම් කවි
රැගෙන ඔබ වෙත වහා
නික්මුනි

මමමදැයි සැක හිතෙන
හැඩ අකුරු හැඳ පැළැඳ
උඩඟු මුල් පිටු දෙබැම ගස්සති
එසඳ අන්තිම පිටුව
කුරුටු කටු බඳ පපා
කැළැල් වැකි ම'හද බිත පෙන්වති

237. අන්ධව?



රාත්‍රිය අවසන
බැස සැඟව යන බව දැන
හඳකට වාරුවෙන්නට
උරහිස පුදයි අඹ ගස

කවුළු වීදුරු තදකර
දොර අගුළු ලූ පසුවද
විරාමයකුදු නොමගෙන
හමා යන්නෙය මදනල

කතාකරුවන් නිදිගත්
මැදියම් නිහඬ හඬටද
සවන් හැරගත් බස්සෙක්
හූමිටි තියයි ඉඳහිට

දේවල් සිද්දවෙන්නේ
හේතු නැතිවම, අන්ධව?
ඉතින් සොඳුරිය තවමත්
ඔබ කියන්නේ එහෙමද?

236. බාලිකා මල් තව නැතී



ලෝදියේ අගාධයේ
දැවී කුසුම් 
ගැලැවෙයි එකින් එක පෙතී
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි 
බාලිකා මල් තව නැතී

මල් වරම් නම් නොලැබෙතී
වැසි වසිත් කැට කැබිලිතී

සිලිටි වතකට පැන් ඉහින්නට
කොයි කාට ඉස්පාසු ඇත්තේ ඔයහැටී
දැහැටි දඬු මෙන් ගැහැට විඳගෙන
කහට දත් පෙන්වන හිනාවක් වුව වටී

අන්න ඒකයි පද්මිනී
මං ආදරේ ඔබට මේ හැටී!

235. තත් පැහැති කවි කඩා හැලෙන්නෙය



හිම තුහින
මත් මතක පෙලන්නෙය
රත් දෙනෙතු තෙත් කරන්නෙය

අත්වැසුම් පැළඳි මුත්
අත්ල හිරිවැටෙන්නෙය
තත් පැහැති කවි 
කඩා හැලෙන්නෙය

හිම තුහින කියන්නෙම සීතලට
අවසාන තුරු පතත් වෙව්ලුවා බිම හෙලන
ශීත කඩුතුඩු අනින
හුස්ම වුව සුදු මිහිදුමක් කරන
සීතලට

234.



නියොන් හිස්වැසුම් හැඳ
කඩවීදි කළුවරට සැරසෙයි
කදෝකිමි කැලතක්ව හෙඩ්ලයිට් ඉගිලෙයි
නලා හඬ දෙසවනට අපුලයි

බස් සිංදු බිම වැටුන තැන්වලත්
දැන් ඉතින් රෝස පැල දළුලයි!

233. නගරයක හදවත



සායම් බඳුන් මහමග මැදට හැලෙන
සන්නාමගත පිළි එන්න එන්නැයි කොඳුරන
කාකි අසරුවෙක් තනි පයෙන් වන්නම් නටන
මේ නගරයක හදවත
ගිඩිගිඩියෙ පණ ගැහෙන

බෝපත් සැලෙන හඬ නිහඬය
පිච්ච වැල්වල මුව ඔබාගෙන මස්ජිදය 
මහල් නිවහන් කවුළු තැන තැන දැල්වේ
බ්‍රේක් අකුණක් හද සෙලෙව්වේ

පෙට්ටි වාහන තුරුල්ලට ගෙන
කිටිකිටියෙ පපු මැදට තදකරන
මේ නගරයක හදවත
වැඩ ඇරෙන කණිසමට
උද්දාමයෙන් පිබිදෙන

232. "ඕනෑම වෙනවා ජීවිතේ මට"



පාවහන් පා පහරකින් පලවාහැර
තිත්ත කළුවර ආලින්දයේ අතහැර
"මහ ජරා දවසක් අද"
මුව ඇඹුල් කර
සෝෆාව මතට ඇදහැලෙමි මම

"එපා වෙනවා මේ ජීවිතේ මට"

බෝල ඇස් තව ටිකක් විසල් වෙන
ඉන් මොහොතකට පස්සෙ
රූප පෙට්ටිය ගොළුවෙන

ඩා දියෙන් පෙඟුන කෙහෙරැලි අතර
සිහින් දිගු හැඩ ඇඟිලි
හෙමින් එහෙමෙහෙ ඇවිදින 
ගවොම් සායේ පිච්ච මල්වලින් 
බේබි පවුඩර් පුසුඹ හමන

උණුම උණුහුම් කැරලි
ඈ අතින් මා අතට පනින්නේ
තේ කොලත් ඉඟුරුත් ඔතාගෙන

හිරු කිණිති අත්මිටින් හැලෙද්දී 
හුරතලෙන් කොපුල් සුළි නැඟෙද්දී
හිනා කැටි උකුලතට අතහැර
ළදරුවෙකු තරමටම නිදහසේ
ළමැද මත හිස ඔබා ගනිමි මම

අන්න ඒ තත්පරේ 
"ඕනෑම වෙනවා ජීවිතේ මට"


231. දාස්පෙති ස්වප්නයක කිමිදෙමිනි මම


කඳුළු බිඳුවක හැඩැති දූපතක 
බිඳුණු වීදුරු කැබැලි නොතියාම
මහළු මේපල් තුරක්, කොල වරන සෘතුවට
ඔබ නික්ම ගිය ඉක්මන!

කැලිඩොස්කෝපයක බහා
ඉරුණු මල් පෙති එක දෙක
දාස්පෙති ස්වප්නයක කිමිදෙමිනි මම

වීදුරු සුණුත් නැතිව
ළපැත්තේ සීරුමක්වත් නැතිව!!

230. වැරදි මම විතරමද?



නන් පැහැති පත් ඇදහැලෙන
සමකාසන්න වැසි සිහිව
ස්වප්නය අතින් අතහැරෙන

මට කියන්න මාලතී
වැරදි මම විතරමද?

මල් තියෙන්නේ පරවෙන්න
පෙත්තෙන් පෙත්ත ගිලිහෙන්න
මල් වතක කවියක් ලියන්නේ පස් වෙන්න
නිදොස් කොට නිදහස්වෙන්න!

ඉනික්බිත්තේ සිසිරය
සීරුම්වලට වැඩි දරුණුය
හිම පියල්ලක් ගානේ
විමසන්නෙ නිදහසට කරුණුය

දැන්වත් කියන්න මාලතී
ඉරී ගිය මල්පෙති මත
කවි ලිව්වෙ මම විතරද?

229. උත්තරධ්‍රැවයේ ශීත කන්තෝරුව


උත්තර නැති ප්‍රශ්න පත්තර උඩ
තත්පර කටුත් කම්මැලිකමේ ගාටන
උත්තරධ්‍රැවයේ ශීත කන්තෝරුව
උස්සලා පොළවේ ගහන්නම හිතී ඇත

වත්සුණුද නෙත් අංජනද 
ඝනීභවනය වී ඇත
මැස්සෙකුගෙ ගුරු ගුරුවටත් වාරණ බැඳ
පැඟිරි කුයිලක් බලෙන් තවරයි බිතු මත
ඉතින් නිතරම නිදිමත

ඇත්තමයි අළු අහසවත් නොපෙනෙනකොට
පොරවගෙන ගොරව ගොරවා නිදන්නත් බැරිකොට
උත්තරධ්‍රැවයේ ශීත කන්තෝරුව
උස්සලා පොළවේ ගහන්නම හිතී ඇත

228. කොට්ට උර භීෂණ



සඳ පතුරු එක දෙක
කවුළුවෙන් ගෙට පැන
යවුළු මෙන් ඇන ඇන
මරණීය රිදවුම් දෙවන සැණ,

'Sweet Dreams' දම්වැල්
කොට්ටා උරය මත්තේ
දත් විලිස්සා හිනැහෙන

සිඟිති රෝසය,
දල පෙති නූල් අඹරා
සැර සුවඳ බිඳු වගුරන
ක්ලෝරෆෝමය,
ස්මරණ කළුකුහර ඇතුලේ
සිහිවිකල් කරවන

රේන්දා ලොවිච්චිය 
පීරි ගා ගෙල කෙලවර
රෑ මැදියමේ ඇහැරන

'තියාගන්නම ගන්න'
කියා ඔබ කී හැටිත්
'නොයා ඉන්නම බැරිද?'
අහන්නට අමතකව ගිය හැටිත්
කඩ ඉරිවලින් ඇඳගෙන
'Sweet Dreams' නරඹමි
නිදි නොඑන ඇස් ඇරගෙන

227. එකල පෙම් පත් ලියූ රහස් බස



කළු ලැප්ටොප් තිරය මත
පිපෙනකොට සුදු කේත සටහන් රැස
මතක් වෙනවද ඔබටත්
එකල පෙම් පත් ලියූ රහස් බස?


තනිරූල් පිටු බාගෙක
ලියා හංගා තිබුණු ග්ලොසරිය
සොයා ගන්නට නොහැකිව
සමරු පොත අද ගොළුය - බිහිරිය


මා වටා වැතිරේය කළුවර
පරිගණකයෙන් බිම බැස
මිහිදුම් ධූම අතරින්
දිසෙයි ඔබගේ තරු ඇස


කී බෝඩ් කෙටි පියවර
මතකයෙන් අතුගා ඉවතහැර
දුරම පාරක ඔහේ ඇවිදිමි
තිරය බොඳවෙන්නට පෙර



226. සිහින තව තව සිහිනය


වහින සිරිපොද තරුණය
කවුළුවෙන් පිට තුහිනය
එ'සිරියෙන් හද තෙමනු නොහැකිව
සිහින තව තව සිහිනය

කිණිති සඳ රැස් කිණිතිය
මැවෙති සුරඟන කරලිය
සිඟිති පා එහි තිය තිය
රඟති ඒ රඟ මිහිරිය

මාවුලාවෙහි සැඟවගත් විට
නිදිබරින් බර දෙඇසට
හැම'ත කළුවර කැටිතිය
සිහින පමණකි ඉතිරිය


225. කම්මැලිම කොල්ලෙකුට ලියූවකි


කළබල වීදි ඔස්සේ 
කදෝකිමි එළි අහුලමි
කවුළුව අසල අසුනක
සුළං පහරක නැහැවෙමි

කම්මැලිම පොත් ගුල්ලන්
නිදිගැට කඩන කොල්ලන්
අනේ පව් යැයි නොකියමි
හොඳ වැඩේ කියකියා හිනැහී
වැහි පිණිති හිස තවරමි

මල් කුඩය හකුලා
අත්බෑගයේ සඟවා
චිරිස් ගා මඩ කඩිත්තට පනිමි
දේදුන් හි පැ
පියමනිමි



224. ස්මරණ


පිත්තල පෝච්චිය තුරුල්ලේ
පාට වියැකුණු රෝසමල් මිට
මකුළුවෙක් දැල් වියයි නිදැල්ලේ
අවපැහැති පෙත්තෙන් පෙත්ත යාකර
ස්මරණයන් හාකර

දූලි වැකි කැඩපතක් අතරින්
පෙනී නොපෙනී ඔබ වත
ශතවර්ෂ කිහිපයක සැමරුම්
වැළැඳ ගන්නෙය හදවත

එක්වරම අත් තිරිංගය ඇද
නතර වන්නෙය කාලය
ඔරලෝසු කටු කරකැවේ ආපස්සට

පරඬැල්ව ගිය තෘණ පත්
අතගගා විහිදුවාගෙන අත්
වැයීමෙන් තෙත වළාකුළු තත්
වැටේ වැහිබිඳු 
එක දෙක
එක දෙක
එක දෙක

ඔරලෝසු කටු කරකැවේ 
ආපස්සට!