මුදා හැර කෙස්ස මුදු මද පවනට
විදා ගමි දෙ’අත් ඉහලට ඉහලට
පිපී එන්නෙය නැවුම් බිම්මල්
ලා තණ පලස මත්තේ
ඉගිල්ලෙන්නයි උවමනා මට
තෙතක් තැවරුන වලා පෙති මැද
සරනවිට ඔබමොබ
තිතක් තරමට කුඩාවට දැකගන්න ඔබ
යදම් නැත – තහනම් නැත
කුඩා කවුළුවකින් ගලන සඳරැස් දැක
හඬ වැලපෙන්නත් නැත
කිදී කිමිදී විඳින්නට නිදහසේ මී විත
රිදී තිරපටකිනුදු අවහිරයක් නැත
පියාපතකින් සැහැල්ලුව ගෙන
වියා සකසුරුවමට ස්නේහයක්
මකුළු හුයකින් වගේ වෙලා ඇත
හිතක් මත තව හිතක් තැබූ තැන
සිඳුත් සුදු සඳුත් ඉපිදවෙන තැන
විලංගුත් නැතිව හිර කෙරුන තැන
තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන
No comments:
Post a Comment