Wednesday, August 26, 2015

104. අත්ල සීතල මන්ද නො අසන්න





මන්ද්‍ර ස්වරයෙන් වැයෙන ස්වප්නයක
චන්ද්‍ර කිරණක වෙසින්
ඉන්ද්‍ර මිණි දෙනෙතු පිය නොපියාම ළඟ ඉන්න
මත් බවකි තන්ද්‍රාව
අත්ල සීතල මන්ද නො අසන්න
සිත් රැහැන් නො පෙලන්න – ළඟ ඉන්න

සන්තානයම අන්ධකාර සළු අඳිනකොට
මග කියන –දකුණු තරුවක් වෙන්න
සංවේදනා මියැද – සංතාප නැගෙන දින
සංසාරෙ පුරා අනුනාද වෙන
සංගීත සංධ්වනියක් වෙන්න

ප්‍රාණ සම ප්‍රේමයක අනුහසින
ක්ෂේම භූමිය දිනෙක හමුවෙතැයි අදහන්න
හෘද ගීතෙක මන්ද්‍ර ස්වර වයන ස්වප්නයක
දුර්ග ශිඛරෙක සිරස පිරිමදින
චන්ද්‍ර කිරණක් වෙසින් සිසිලස දෙන්න

Friday, August 21, 2015

103. දැවෙයි හිස තරු එළියෙන්





අඩක් විවරය කවුළුව
සැලේ ඉටි පහනෙහි දැල්ල මද සුළඟින්
තවත් ඉතිරිය මධුවිත
වෙලේ හදවත මුදු ලැවැන්දර සුවඳින්

ආලෝක වර්ෂ ගණනක දුර
මිය ඇදුනු තරු දැරියක්ද අර
කවුළුවෙන් ඉඟි කර
නිවී දැල්වෙන්නේ වරින් වර

සල අකුණු එළියක්ව
හිනැහෙනා සුදු ගවොමකි
දල රළක් වී හිසට ඉහලින් නැගෙන
මැඩගත් සියුම් ඉකියකි

අහඹු සුළඟක වියරු අත් තල පහරකි
පැරණි සටහන් පොතක පිටුවක් පෙරළන
කියඹු පහසක් ලද රතු රිබන් පටියකි
ක්ෂුද්‍ර කවි, හදවත් ලකුණු අතරින් නැගෙන

අඩක් විවරය කවුළුව
නිවෙයි ඉටිපහනෙහි දැල්ල මද සුළඟින්
දැවෙයි යලි යලි දැවෙයි හිස තරු එළියෙන්



Tuesday, August 18, 2015

102. පැල්ලම් නැතිකමේ පාළුව





පැල්ලමක් වුනත් සඳ,
පැල්ලම් රහිත අහසට,
කොයිතරම් මනකල් ද?
අමාවක පාළුවයි පැල්ලම් නැති රෑට

කෙල්ල,
පැල්ලමක්වත් ශේෂ නොකරම
පල්ලම් බහින්නට - නික්මෙන්නට තනන,
සෙල්ලමක් නොවෙයි මේ ජීවිතය!


101. මවුබිම - පට්ට කවි (2015-08-18)


මවුබිම පුවත්පත - Young අතිරේකය - පට්ට කවි
පිටු අංක 13
(2015-08-18)




Monday, August 17, 2015

100. මකුළු මහතාගේ මංගල ගවොම





සියුම් සුදු පැහැ නූල් සහසක
මල්කම්ද ලියකම්ද අමුණාය
දිග මඟුල් ගවොමක් ගොතන්නේ
සුදුමැලි මකුළු මහතාය

දවස් එක දෙක ගෙවීයන හැටි
හාංකවිසියකුත් නැතුවාය
කණමැදිරි පහනක් නැතත් ළඟ
කළුවරෙත් ඇස් හොඳට පෙනුනේ ය

ඉරේ රැස් කෙඳි විසුරවන්නට
පලින් පල පිණි කැටද රන්දාය
පාන්දර වෙනතුරා අවදිව
සුදෝසුදු කැටයම්ද ඇන්දාය

දේදුන්නකින් වැටුන දඟකාර මැසි දැරිය
පුරුදු විදියට හෙටත් එනවාය
ඈ ගාව දණ නමා සේද මුදුවක් දමා
ආදරේ ඇගෙන් අයැදිනවාය

තැලි පිලි අන්දවනවාය
සේද නූලෙන්ම සරසනවාය
මලක් වාගෙම පරෙස්සම් කර
බිත්ති මුල්ලට කැන්දාන යනවාය



99. මගේ රතු විප්ලවය






පාවාදුන්නාවෙ ඉතින් ඒ අය අරගලය
ඔව් ඔයා කියනවනම්,
මුදලුත් අරං පනින්නැති ඒ අතට - මේ අතට
ඒත් ළඟදිම දවසක 
දිනනවනෙ රතු විප්ලවය?

ඒ වුනත් මට නොතේරෙන්නෙ
ඔයත් පාවාදෙන බව අරගලය
ඔයාටම නොතේරෙන එක
Beach එන්න ගෙදරින් පනින එක මගෙ විප්ලවය 
හාද්දක් ඉල්ලා ගන්න නෙව මගේ ආදර අරගලය

Pimples  දෙකක් ඇවිත් අයියෝ
දකුණු කම්මුල පහලින්
ලෙමන් රස Lip balm
අඳුනගත්තේ නැද්ද සුවඳින්?

98. ඇහි පිල්ලමක් අස්සෙ හැංගෙන්න අකමැතිද?






වැහි බිඳක් වගේ ඇදහැලෙනකොට
පිහි තුඩක් වගේ මඩ හාරන්න හිතෙනවද?
විහිලුවටවත් එකම එක මොහොතකට 
ඇහි පිල්ලමක් අස්සෙ හැංගෙන්න අකමැතිද?

කුඩා ගල් කැබැලිති හිසට වැටෙන'තර
ඔබට පුලුවන් කැමතිනම් මල් හිටවන්න
මල් පාත්තියක හැඩතල දෙන්න
කුඩා ගල් කැබැලිති වුනත් අවැසි බව දැනගන්න.

අකුණු දෙසවන් පෙලන බව ඇත්තම ඇත්ත.
විදුලි රේඛා සොඳුරුබව දැකලම නැද්ද?
වැහි බිඳක් බිමට ඇදහැලෙනකොට 
ඇහි පිල්ලමක හංගගන්නට පුලුවන් නොවෙද?

97. මමත් මෙහෙම මෙතැන ඉන්නවා





ඇහෙන නෑහෙන හඬින්
මුමුණමි සිහිනමය වදන්

"නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී. . .
තනිතරුවේ. . .
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා"

ඉනික්බිති කුඩා ඉකියක්ව සිරවේ වදන්
බොඳව විසිරෙයි වීදියේ කහ එළි පහන්
ඔබ දකින අටියෙන්
අහස වෙත යොමන නෙත් පෙඟී යන්නේය තරු කැල්මෙන්


Friday, August 14, 2015

96. ක්ෂුද්‍ර කවි මා වටා නටන්නේ






සුලං පිඹ පිඹ තුරුපත් නටන්නා මෙනි
ක්ෂුද්‍ර කවි මා වටා නටන්නේ
ඉඟුරු සුවඳැති දුමක් ඉහළට පා කර
අත මානයේ තේ බඳුනකිය නිමෙන්නේ

මෙතැන මේ සෝෆාව මත හිම මිදෙන්නේ
මම මිදෙන්නේ
හඬක් නොනගා මියෙන්නේ

Monday, August 10, 2015

95. මං වගේ පොත් ගුල්ලන්ට. . .





දුයිෂේන් කියන්නේ,
ආදරේ ගැන කුඩා කවියක්. . .
කුර්කුවේඋවේහි පොප්ලර්, 
බලාපොරොත්තුව ගැන ලියපු හයිකුවක්. . .
පාව්කා කොර්චාගින්, 
ඇකෝඩියනෙක ස්වර පෙලක්. . .
රතු චතුරස්‍රෙ,
කහ ගැහුන නවකතාවක,
රණ ගීත දළු දාන පිටුවක්. . .!


94. පොත් පිටක සුවඳ





ආදරේ කියන්නේ 
ලොයිකොගේ අවුල් කෙහෙරැලිවලට, 
පාවෙල්ගෙ ඇකෝඩියනෙට, 
ආතර්ගෙ නිල්පාට ඇස්වලට, 

තාරා දෙව්දුවට, 
රැඩිකල් කෙල්ල වාල්යාට, 
ඇස්ලන්ගෙ උණුහුමැති කේෂරවලට. 

ආදරේ කියන්නේ 
හීනෙනුත් ඉඳහිට දැනෙන, 
පරණ පොත් පිටක සුවඳට!


93. පාරවන සැතක් මතකය



නිමිත්ත:
'දෑසමන් සුවඳ ඉසින හිසකෙස" - ශසිකා අමාලි මුණසිංහ



සීතලෙන් සීත මදනල
කෝල වී නටයි හිස වට
පීත පෑ කිරණ ඉසඉස
මෝදු වී පිපෙයි පුරහඳ

වාරුවක් නැතිව පාවෙන
මීදුමක් මියැදි ස්නේහය
පාලුවෙන් මියෙන සවසක
හාදුවක් තියයි නළලත

සීතලෙන් සීත හදවත
පාරවන සැතක් මතකය
වීරියෙන් කලත් අමතක
තාම ඇස් තෙමෙයි ඉඳහිට



92. අපිට ඕනෑ පෝස්ටර්





තියෙන්නම ඕනෑය පෝස්ටර්
තාප්ප, ගේට්ටු, ලයිට් කණුවල
ශේන්‍යා වුනත් ඇවිද්දේ
බැනර්-කටවුට්-පෝස්ටර් බලබල
පාන් වළලුත් අමතකම කර.

මැකෝටත් ඔල්මොරොන්දම!
පෝස්ටර් නැතුව පාලුයි මහපාර,
පාස්ටර් කෙනෙක් නැති පල්ලියක් වගේමය.

අපිට ඕනෑ පෝස්ටර් කියව කියවා ඇවිදින්න.
පාන් වළලුත් අමතකයි - බල්ලන්ට හැකිය ඩැහැගෙන යන්න.
හත්පෙති මල් පොරොන්දුවකින් සැනසෙන්න.
දැං අපිට අඩු හත්පෙති මලක් විතරයි ඔන්න!



91. ආදර වර්ණ





ආදරය,
මගේ පපුතුරේ රැඳි,
සුදෝ සුදු හිස් පිටුවකි.
ඔබේ අත්ලත ඇති,
වෛවර්ණ ක්‍රෙයෝන් කූරු අහුරකි.


Friday, August 7, 2015

90. ඒක තමයි ත්‍රිල් එක





මෝඩ ළමයෝ!
ඒකම තමයි ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක.
සුදු වෑන් එකක් ඇතුලෙදි
කළු තිරේකින් දෑස බඳින එක

බෙල්ල පිටිපස්සෙ මද සීතලක් දැනෙනකොට
පිස්තෝල කටක් යැයි ටක්කෙටම කියන්නේ – උඹට ඇත්තට පිස්සුද?
ඒ රොමැන්තික හාදුවක් වෙන්නට බැරිද?
දොඩම් රස හිම කිරමක්?
මධු ඔඩමකින් ගත් අයිස් කැටයක්?

ඒකයි ළමයො ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක,
තැම්බිලා ගියත් දිය හැලිය රත්වෙනකම් නටන එක,
බලපංකො කකුළු ජීවිතේ තියෙන ලල් එක!



89. මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!





මනාප තුනක් හොඳටෝම මදි මට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!
හොරුන්ට, කුඩ්ඩන්ට, හංදියේ චණ්ඩින්ට
පිස්තෝලෙකින් වතුර බෝතල් මවන අරුම විජ්ජාකරුවන්ට
වෙඩිබෙහෙත් දුමට පිඹිනකොට, පිහියකින් බෙල්ල පිටුපස කසනකොට
අත්ල සීතල වුනත් මොනතරම් සෙක්සිද!

ඇයි අපිට බැරි පක්ෂ දෙකතුනකටම ඡන්දය දෙන්න.
ඡන්දයක් කියන්නේ කැමැත්තට
මං කැමති මනමැවි කතා කියවන්ට
සී එස් ලෙවිස්ට – ජේ කේ රෝලින්ග්ට – එච්.සී. ඇන්ඩර්සන්ට
එක සමානව ආදරේ කරන්න තහනම්ද?

රතු සහෝදරවරු කියන දේ ඇත්තම ඇත්ත
මේ ඡන්ද ක්‍රමයයි ලොකුම වැරැද්ද
සෙනෙහෙකොල ලියන ලොකු ඩයරියක් – සුවඳ පෑනක් එක්ක මට දෙන්න
ආදරේ ලිවිය යුතු කවියෙන් ය
කුඩා හදවත් ලකුණු ඇඳිය යුතු හැමතැනම
Fast and Furious බලලාම නැද්ද ඔබ? නැත්නම් Dhoom- 2?
වීරයෝ කියන්නෙම හොරුන්ට, කළු ඇඳපු චණ්ඩිණ්ට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!



Thursday, August 6, 2015

88. චන්දරේ






නුගේගොඩ හන්දියේ - මද්දහන් ගින්දරේ,
සිහින මල් පිපෙනවද චන්දරේ?
දූලි මුසු දහදියෙන් උඹෙ සිනහ යන්තරේ,
බිංදු මුතු මවනවද චන්දරේ?

උල් හිසැති පාවහන් යන්නේම ඔරවගෙන,
කල්ලියක කොලුගැටව් ඉංගිරිසි අසැබි වදනින් බණින,
තල්ලුවකි මැදිවියේ ඔසරියක් කලබලෙන,
හිනාවෙන්නට බැරිය ගින්දරේ. . .
උඹට අත වනන්නේ - හාදු පා කරන්නේ
පොඩි එව්වො විතරමද චන්දරේ?

පිට්සා කන්නට එන්න - ඔෆර් ලිස්ට් එක මෙන්න
බොකුටු බොරු කෙහෙකැරලි පිරිමදින - වෙස්මූණ සකසන
ඇමරිකන් පන්නයේ අන්දරේ
පිට්ස කඩදාසියෙන් ඔරිගාමි නැව් හදන
පොඩි උන්ට ලුණුමිරිස් එක්ක පොල්රොටි කවන චන්දරේ. . . .


Monday, August 3, 2015

86. මිහිරි සැමරුම් වළලන්නෙක්ද සිසිරය?


නිමිත්ත :
"හිමායනය වෙයි සරත් සෘතුව" - ෂසිකා අමාලි මුණසිංහ - "කඳු" බ්ලොග් අඩවිය





සිසිර සුළඟකි හමන්නේ හිම කැරලි වඩාගෙන
කටකට ගගා ගැහෙයි වැසූ කවුළුවෙහි වීදුරු පියන් පත්,
විසිරි තුරුපත්ය මිහිදන් වෙන්නෙ සුදු පැහැ සුසානෙක
මිහිරි සැමරුම් වළලන්නෙක්ද සිසිරය?

මල් පියලි පාවඩ එලුවෙ එ'කල අපි ඇවිද ගිය අඩිපාරට,
බටිත්තන් වුව ඒ දවස්වල ගැයුවෙ පෙම් ගී විතරමය,
කුඩා කවි වැටුන තැන්වල - දළු දැම්මෙ නමක් නැති රතු මල්
ගැඹුරු විය පිය සටහන්
ඊට ගැඹුරුයි හාදු කැළලක සටහන්

"කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්"
සරත් සන්ධ්‍යාවක ඔබ ගැයුවෙ එහෙමය
"කල්ප ලක්ෂයක් ඔබ තුරුල්ලේ නිදිබරව ඉන්නම්"
ඉර සැඟව යන්නට පෙරාතුව ඔබ පිළිණ දුන්නෙය

පටපට ගගා පිපිරෙන්නෙ උඳුනෙහි කුඩා දර පතුරු
පිනි කැට පවා අහිමිය සිසිරයට - කඳුළු තහනම්ය
තනිකමක් ඝන ලොම් කබායක ඔතාගෙන
ගිනි පුපුරු මතුයෙහි - අතුරමි මිදුනු හදවත