Thursday, November 12, 2015

170. දැන් ඉතින් ආයෙම හිම!

සමූහ කවියකි.

ලිව්වේ :
අමා ජයසිංහ, හෙල්මලී ගුණතිලක, M.K.C.P. ශෂීන්, විසල් සේනාතිලක, දිනේෂ් සිල්වා, මානෙල් ප්‍රනාන්දු, යශෝධා සම්මානි





ගිනි රත් තැඹිලි පෑ සළු
උනා හැර නිරුවත් වේය තුරු
අවසන්ය සාද දැල්වුම
දැන් ඉතින් ආයෙම හිම!

රත් තැඹිලි කහ පෑ
නෙක පත් නිදයි අතර පොත් පිටු
සහස් පත් සරසාවි මගතොට
සුලංරැලි හා පියාසැරියක,
අහුලගන්නට නොමැත කිසිවෙකු !

හිම පියලි අස්සේ  
තණ පත් නිදයි සිත්සේ 
කහ පැහැති සඳ ඉරි 
තුරු පේලි අතරින් වෑස්සේ

සුදු පැහැ පසු බිමක
දිගටෝම කළු ගැහුණු තුරු
එන්නත් කළින් ගල් වුණු
හිම මිනිහෙකුගේ කඳුළු

සීනි කුඩු වැස්සේ
සිහින සැඟවේ තුහින බිස්සේ
උඳුන් ගිනි අස්සේ
දර පතුරු හෙමි හෙමින් ගැස්සේ

ඉතින් ප්‍රිය මහත්වරු
සෙමෙන් රැය පහන් වන තුරු
මදුවිතක් ඇවැසිමයි
මහත්මිය නිදි ගත් පසු

දර දැවී අළු ඉතිරිවී
හිම වැටී අළු  නිවිනිවී
යුෂ මිදී තොල් තෙමී
හිත මැරී සාදය නිමවී

අතැර යනු නොහැකිව 
තුරක නිරුවත් පපුතුර 
හිස හොවා වැලපෙන 
ගිනි රත් තැඹිලි පෑ
මේපල් පතක කඳුලක්  
මිදී ඇත තුරු අග

දැන් ඉතින් ආයෙම හිම!



Tuesday, November 10, 2015

169. ස්මාට් අම්මා




ස්මාට් ජංගමය ඇතුලෙන්
ඉස්කෝලෙ මිස් අරන් එන්නැයි කියූ
කප්පරක් පිංතූර ගූගල් කෙරෙම්මා
ප්‍රින්ටරේකට සුදෝසුදු කරදහි කවා
ලෝකයක් දෝතට ගෙනෙන්නී වඩමින් පෙම්මා

ඔන්ලයින් කඩවීදි ගානේ
පැකට් කල ඔළිඳ, මදටිය හොයා ඇහිඳිම්මා
දොළොස්වෙනි තට්ටුවෙන්
'ගෙවත්තේ සුවඳ මල්' පුබුදුවා ගන්න හැටි
දහ අතේ කල්පනා කරන්නී ගෙල නම්මා

ස්ට්‍රේට් කෙස් මැදින්
දිලෙන තරු ඇස් දෙකේ සෙනේ නැත නිම්මා
ස්මාට් කැෂුවල් ඇඳන් වැඩට යන
ස්මාටීස් අහුරක් අරන් ගෙදර එන
ඇගෙ නමත් 'රත්තරන් අම්මා'!


168. සමකාසන්න සුඛවිහරණ



පිටත වැසි
රිය ඇතුලතද සීතය
සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය.

ටයි ගැටය
හරස් ඉරි ඇඳි කරපටිය
හුස්ම සිරකරවන
වහල් බව සිහිකැඳවන
වැයෙන්නේ ඉංගිරිසි ගීයකි සිහින් ස්වරයෙන්
'සිහිල් සුළඟේ පාව යන්නයි' ඇරයුම්

තදබදය!
රිදුම් දෙන ගෙල හරවමි
වමට - දකුණට - පසුපසට
ටයි ඇඳි බැටළුවෝ
සැපපහසු කුඩා රථවල ගාල්ව
හෙම්බත්ව
ලොම් අහිමිව
රථය තුල සීතලෙන්, යන්තම් ගැහෙමින්

සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය!


167. සමකයේ කඳුලු බිඳු




රතුම රතු චෙරි පාට
දිළිසෙන දුඹුරු කහ පාට
රතුවයින් වල, සීතල බීරවල පාට
කොක්ටේල් සාදයක මිහිර උතුරන රෑට

සිසිර සුළඟක් වැද
කැරකි කැරකී තුරුපත්ය සල්සා නටන
නිදහස් හාදු, ආලිංගන දැක
සිසිරයද වික්ෂිප්තයෙන් උණුහුම්වෙන

සමකයේ කඳුලු බිඳුවට
ඕතම් සාද තහනම්ය 
හැමදාම කොළ නිලඇදුම් හැඳ
ග්ලූකෝස උය උයා දවසරින
ඉරේ රස්නෙට පිච්චි පිච්චී පාට බොඳවෙන


166. වැහි




මල් කුඩ
බඳ වටා දැවටුන 
පිරිමි අත
දකින කොට වැහි වහින්නේ
කම්මුල් උඩ


165. උද්ඝෝෂණය අවසන් ය!



පෙඟී ගිය පෝස්ටර්
වටරවුම වට අතැර ගිය කැප් තොප්පි
සවස වට වැසි දියෙන්
දියවෙවී ගලායයි
රතු විස්මයාර්ථ ලකුණක්

උද්ඝෝෂණය අවසන් ය!



164. වැහි කැරලි මර්දන



රූරා හැලෙද්දී හිසමත
මෝරා නැති - කෝඩු වැහිපොද
දෙඅත්ලට වඩාගෙන
සිඟිති දිය කඩිත්තට මුදාලන
කුළුණුබර තුරු හිටියෙ ඉස්සර

ආරා ඇති නිසා කුස
කාරා කෙල ගසා වැහි බිඳක මුහුණට
ඉපල් කරකවා ඇන
පිණිති වැහි කැබැලි කර ඉහිරවන
දැන් ඉන්නෙ බමුණුකුල තුරු අත් ය

සුලලිත දිය රැලිති තව නැත
මඩ බොර උරාගෙන
මරු විකල්ලෙන් සැලි සැලී යන
සැඩ පහරවල් පමණක් ශේෂ වී ඇත.


163. අමතක වෙන





මියැදුන හරිතලව
ලා දුඹුරු පැහැයෙනි
ඕතමීය පත් මත
ශේෂවූ වසන්තය
මහත් දුක දනවන

වසන්තය බිඳක්වත් 
ඉතිරි නැති පෙලක් පත්
ගිනි රතට ඇවිලෙන
නැතොත් තද කහ පැහැයෙන්
පොළෝ මත වැතිරෙන

අන්තිමේදී බොහෝ දෙනෙකුට
නොඑක් උණුසුම් පැහැ මැද
තුරුපත් පණ අදින බව
සිහිකරන්නට අමතකම වෙන

162. දුම්රිය පීලි මත



දෙඅත් බැඳ 
දෙනෙත් නැත්තවුන් සේ
දුම්රිය පීලි මත
ඇවිද්දෙමු.

සිල්පර කොටන්ය
ළං වෙන්න නොදෙමැයි සපථ වුන
ගැටීමෙන් ප්‍රථම දුම්රිය 
දෙඅත් ගැලවී විසිවින.

ඉනික්බිති ආයේ 'හූ' හඬම පමණය.
ඉතා සුළු භූ කම්පන
දෙඅත් නැති මිනිස් කොට සොලවසොලවා ඇදුන

දෙඅත් බැඳි පවුල් පොදි
ඉස්ටේසමෙන් දුම්රියවලට පැටවෙන
කවුළුව අසල අසුනට පොරකන

දෙඅත් නැතිවම
අපි තවම දුම්රිය පීලි මත ඇවිදින
ඇසෙන නෑසෙන තානයෙන් හදවත් ගැහෙන



161. තිත්ත කළුවර!



හඳ කෑම්පිං ගිහින් හෝර්ටන් තැන්නට
ඝනව වැතිරේ ඉහට ඉහළින් කළුවර
බැල්කනිය කෙලවර
උල් පිහිය දිගුකර
හිතෙන්නෙම කෑලි කපලා බෙදන්නයි මේ කළුවර


කිරිබත් හැඩේ ටිකක් ලොකුවට උදේ කෑමට
කිරිටොපි තරම් පොඩිවට - එක කටට හැපෙන්ට
ඩෝනට් රවුම් හැඩ - තේ මේසෙට තියන්නට
ඉරිදා දවසෙම ගිලින්නට ඇත්තේ තිත්ත කළුවර!