Wednesday, October 12, 2016

214. ඇත්තටම බොරුවට!



"එයා කියන දේ මං අහන්නෙත් නැති
මං කියන දේ එයාට වැඩකුත් නැති 
අපි කතා කර කර හිටියත් පාළුවට!!!"

- හෂාන්ගේ කවියක් -



බැරිද මටත් හදා දෙන්න උණු කිරි එකක්?
හොඳටෝම දැනගෙනත්
මුහුදු කිහිපයක් පහුකරගෙන
කිරි වීදුරුවකට එන්න බැරි බව

එන්නද ඊළඟ උපන්දිනේ දවසට
හාදු ඇරෙන්න මොනවද ඕනෙ ඔබට
මං අහන්නෙත්
ඔබ තොඳොල් වෙන්නෙත්
බොරුවට, 
ඇත්ත දකින්න බැරුවට

දශකයකටත් පස්සෙ
කටහඬම විතරක් නොවෙනස්ව
(වෙනස්කම් තේරුම්ගන්න අකමැතිව)
මේ ඇමතුම් සේරෝම පාළුවට
පාළුව උහුලන්න බැරුවට

ඇත්තටම බොරුම බොරුවට!


213. කුඩා තරුවට ඔබේ නම දෙමි



අවරගිර අහසෙහි
ඔබේ රතදර අලවමි
බිඳෙන සිඳු රල මත
සිනහ අහුරක් තවරමි

නොතිත් වැසිවට දවසක
ඉන්ද්‍රචාපය වෙනුවට
ඔබේ හැඩකල ඇහිබැම
පායා එන්න සලසමි

ඝනකම අඳුරු කැටියක
එතී රෑ මැදියමේ ඇහැරෙමි
ඉන්ඩිගෝ පැහැ ඇති
කුඩා තරුවට ඔබේ නම දෙමි

212. ගැහැණු ළමයි



ලෝදියේ අගාධයේ
දැවී කුසුම් 
ගැලැවෙයි එකින් එක පෙතී
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි 
බාලිකා මල් තව නැතී

මල් වරම් නම් නොලැබෙතී
වැසි වසිත් කැට කැබිලිතී

සිලිටි වතකට පැන් ඉහින්නට
කොයි කාට ඉස්පාසු ඇත්තේ ඔයහැටී
දැහැටි දඬු මෙන් ගැහැට විඳගෙන
කහට දත් පෙන්වන හිනාවක් වුව වටී

අන්න ඒකයි පද්මිනී
මං ආදරේ ඔබට මේ හැටී!