Thursday, January 12, 2017

222. වෙන ගෙදරක - ඔයාමයි ඒ හිටියේ



වෙන ගෙදරක - වෙන කෙනෙක්
---------------------------------------
ඉතිං ඔයා දන්නවද
මං ඇත්තටම බය වුනා
මට ඇහැරුනා ඉබේටම
දාඩිය දාලා, ෆෑන් එක තිබ්බට.
ඩග් ඩග් ඩග් ගාල
පපුවත් ගැහුණා ,දිවත් වේලිලා.

ඔයාමයි ඒ හිටියේ
කෙල්ලෙක් එක්ක ,අතින් අල්ලං
මූණේ තිබ්බ හිනාව !
කාලෙකින් දැකල නෑ
ඒ හැටි සතුටක්
හරියට කොල්ල කාලෙ වගේ.

මාත් හිටියා තමයි එතන
හැඩ නැති ගවුමක් ඇඳලා
මහතට මහතෙ
නාකි වෙලා
මැරිච්චි ඇස් දෙකකුයි
ගෙවිච්චි හිතකුයි එක්ක.

ඔයා මා දිහා බැලුව තමයි
පරණ සෙරෙප්පු දෙකක්
ඉරිච්චි කමිසයක් දිහා වගේ
මට මාර දුකයි
දුකට වඩා තරහ
මට ඔයාගේ මූන සුරන්න හිතුණා.

මම ආවෙම එහෙම හිතාන
ඉස්සරහට,ඔයා ලඟට
එක්කෝ ඔයාගේ
එක්කෝ එයාගේ
හොඳ පාඩමක් උගන්නන්න
ආයෙ බලු වැඩ නොකරන්න.

ආයෙ මට ඉබේටම හිතුනා
මං මොකටද එහෙම කරන්නේ
එපා හින්දනේ යන්ට යන්නේ
මම පස්සට ගියා
ආපහු හැරුණා
ඉකි ගහ ගහ යන්ට ගියා.

එතකොට තමයි ඇහැරුනේ
දාඩිය දාලා ,බය වෙලා
ඔයා නිදි පැත්තක
සමහරවිට හීනෙන් දකිනවා ඇති
වෙන ගෙදරක වෙන කෙනෙක්ව
කවුද දන්නේ?



ඔයාමයි ඒ හිටියේ
-----------------------

මං හිටියෙ බැලේ නර්තනයක
ඇගේ සිහිනිඟේ හැඩ බලාගෙන
හුලං පෙත්තක් වගේ
වට හතක් කැරකිලා
බැලුම් සායේ කොනක් නළවලා
ඈ හිටියෙ නැටුමටම හිත අලෝගෙන


රිදී දල්ලක් වගේ පිපීගෙන
විරාමෙක හිනා පුපුරවාගෙන
නොදී ඉසිඹුවක් මට
උරමතින් අත රුවාගෙන
කුඩා කෙල්ලෙක් වගේ
කියඹු විසුරුවාගෙන

අපි හිටියෙ
බැලේ නර්තනයක


මහන්සිය සියොළඟම ලෙවකනව දැනෙනකොට
අපි උන්නෙ ආලෝක ලපය මැද්දෑවේ
හුස්ම පුම්බා ළමැද උස්පහත් වෙන නිසයි
ඇගේ වත මතකයට නාවේ
අන්න ඒ වෙලාවෙයි 
ඇස් දෙකට එබීගෙන
ඈ මගේ හදට ගිනිලෑවේ


ඔට්ටුවක් තියන්නද
අනුමාන කරන්නත් බෑ නේද රසිකා
ඔයාමයි ඒ හිටියේ!!!




No comments:

Post a Comment