Tuesday, October 6, 2015

136. රපුන්සල් කෙනෙකුගේ සිහිනයක්





මටත් ඇත සිහිනයක්,
සුළං වැද නළලතෙහි රඟ දෙන 
කෙහෙ කැරැල්ලක සිහිනයක්,
හිරු කිරණ වැද
මද උඩඟුවෙන් දිලෙන
දඟකාර තඹ කෙසක සිහිනයක්,

වයලට් මලක් සේම දම් පාට,
ලොසින්ජර රතට තද රතු පාට,
කහ පාට, කොල පාට, දේදුන්නෙ හත් පාට,
හිසකෙසක සඟවනා සිහිනයක්,

මිතුරු කඟවේනෙකුගෙ කෙසර මෙන් රන් පාට
ඉනේ හැපි හැපි රඟන
රැලි ඇරපු දිලිසවපු කොණ්ඩෙක සිහිනයක්

උරහිසෙන් මදක් පහලට හැලෙන,
කෝටියක් කෙහෙ මුදු මුදුව පිපුන,
කලක් හිට් වී තිබුන - රැඩිකල් පෙනුම රැඳුන,
තොප්පි හැඩ හිසකෙසක සිහිනයක්,

මං ඔබෙන් අහන්නේ,
රපුන්සල් කෙනෙකුටත්
තියෙන්නම බැරුවාද
කෙටි කූරු කොණ්ඩයක සිහිනයක්?


1 comment:

  1. අඩේ... දෙන්නද මගේ කොණ්ඩය? අපොයි.. කැපුවානේ මම ඒක ළඟදී දවසක.... :-(


    රපුන්සල් ගැන මගෙත් හීනයක් තියෙනවා. ඒ තමයි ඒ යා වගේ එක්ටැම් ගෙදරක හිරවෙන්න. මට ඕනේ අයව විතරක් කොණ්ඩේ එල්ලලා ඇතුලට ගන්න! හිනා වෙන්න එපා යකොව්!!

    ReplyDelete