Wednesday, May 20, 2015

30. අපිට කොහෙ හරි වැරදුනා බං




බාල් නැටුමෙන් පස්සෙ
හීන් හිරිපොද වැස්සෙ
සපත්තුව මග දාල නික්මුනා මං


පාන්දර ඉඳලාම
පාර බලමින් උන්නෙ
රජ වාසලින් පණිවිඩේ ගේනකං


හතහමාරේ නිවුස් යද්දිවත්
පෙන්නනවා දැක්කෙ නෑ
කුමාරයො අල්ලාපු තාල නම්


සන්තකේටම තිබුන
රන් අරුංගල් ජෝඩුව
උගස් කරලයි ගත්තෙ
සපත්තුව මං


ලිං පඩිය උඩ ඇනතියාගෙන
හිතේ ගින්දර තුනී කෙරුවා
හූල්ලන සුසුමිං


ලිං පඩිය පිටිපස්සෙන්
කොලපාට තඩි ගෙම්බෙක්
කිට්ටු කරලා ළඟට
කෙඳිරුවා මෙහෙම රහසින්


"නැටුමට ආවෙ උඹද බන්?
හාදු ගන්නයි ආවෙ මං.
උඹේ රන් පාවහන් දැක්කම
කුමාරියකැයි හිතුන බං!


කඳුලු හලන්න එපා දැං
අපිට කොහෙ හරි වැරදුනා බං
උඹේ කුස්සියෙ මුල්ලක
නවතින්න එන්නද මං?"






4 comments: