Wednesday, May 20, 2015

1. මුතු ඇටේ දැන් කාකි පාටය




~ Torture is not a crime, 

it’s a way of life in Sri Lanka! ~











"පෙරදිගම මුතු ඇටය මේකය

අපේ රට පින් පාටය"

ඉස්කෝල හාමිනේ කී හැටි

තාම බට්ටිට මතකය



ඒ වුනත් බට්ටිගේ නිවහන

කලු අඟුරු දැලි පාටය

තාල නැති සිංදුවක් අල්ලන

අප්ප මරුමුස් පාටය

ලිපේ ගින්දර වැදිල වැදිලම

අම්මත් අඟුරු පාටය



වළං කටු කුස්සියේ ඉහිරුන

දවස් බඩගිනි පාටය

ප්‍රජාචාරය උගන්නනකොට

කෑලි ගිය බත් වළඳ වාගෙම

අකුරු එහෙ මෙහෙ විසිවිය

ඇහිඳගන්නට පණත් මදිවිය



හදවතේ අළු දුඹුලු මැද්දට

රෝස සුවඳක් මුහුවිය

ඒ දවස්වල දැකපු, පෙන්නපු

හීන සේරම රෝස පාටය

හීන ලෝකෙට පාර කැපුනේ

කට්ට කළුවර රෑකය



සූස්තියෙ ගන සැර දුමාරෙට

රෝසපෙති අවපැහැ විය

ඒ වුනත් කුස අරා පැතිරුණ

පැතුම කිරිසුදු පාටය



කට කැඩුනු කිරි හිඳුනු මුට්ටිය

ගඟේ පහළට පාවිය

පැටවු එක්කල ගඟේ යන්නට

ඈට හිතුනේ නෑමය

අන්න ඒක (ලු) ලොකුම පාපය!



“ගෙවන මුදලට පමණි සේවය”

ඉගෙන ගත්තේ එහෙමය

“ආයෙ උඹලට ණයට දෙන්නෑ”

කඩෙන් කිවුවේ එහෙමය

පිටි පැකට්ටෙක, හාල් තුනපහ

ලැබුනෙ නිල් කොලවලටය

කොහොම කොතැනින් අතට ආවත්

මොණර කොල නිල් පාටය





ණයටවත් බඩු දෙන්නෙ නැතිකොට
නිකං දෙන එක පාඩුය
බට්ටි දැනගෙන උන්නෙ නැතුවට
මුතු ඇටේ දැන් කාකි පාටය
ඒ  වගේ සුළු කාරණා ගැන
නොදන්නාකම බොහොම දරුණුය
ඒ නිසා දැන්
ඇගේ වැළමිටි
දණිස් පොල්කටු
තාර පාටය


ෆෝන් කැමරා කාච අතරේ
ඇඳුන සල රූ වීර පාටය
මුතු ඇටේ සමහරක් පිරුවට
ගෑණු ගුටිකනු දැක කෙලින් විය
'පෝර්න් වලටත් වඩා ආතල්'
තලුමරන තිරිසනෙක් කෙඳිරිය


ඉතින් දැන් මිණිපුරේ බට්ටී
රටම අඳුනන "වේස ගෑණිය"
යුනිෆෝම්වල කාකි පාටට
ලෝහ තරුවල රිදී  පාටට
රටම වැතිරී වඳිනවාලු ය.





තැලෙන උන්ගේ රුහිරු ඉහිරී
හෙට අලුත් මල් පිපෙනවාමය
කඳුලු දහදිය පින්න විසිරී
ඒ අලුත් මල් තෙමනවාමය
මුතුඇටය රතු පාට වෙනතුරු
රක්ත තප්තව දිලෙනවාමය.


 

2 comments:

  1. මේ අරකමනේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මේකෙ දවස ගානෙ කවි දාන්න ඉන්නෙ විදානෙ. අද කවි ලියන්න වෙලාවක් නොතිබුන නිසා පරණ එකක් දැම්ම.

      Delete