Thursday, October 29, 2015
160. Hotline
හොට්ලයින් නෝනා මහත්මිය,
මගේ අසරණ ඔළුගෙඩිය
හොට් ප්ලේට් එකකි, ඇත්ත.
ඒත් ඔබ ඒ මතම
බිත්තර බදින එක හරිද?
හොට් නිවුස් ලැබෙන්නෙම
දාඩියෙන් පෙඟෙන සිරුරම
එක අයිස් කැටයකට පිඬු කර
හොට්ලයින් නෝනා මහත්මිය,
ඒ අයිස් ඕනෙමද ඔබේ මධු ඔඩමට?
සුපර් කූල් ඔබෙ පිලිවෙත දැක
හොට්ලයින් ඩයල් කල මම
නැවත නැවතත් විස්මපත් වෙන!
158. සමනල්ලු ඉපදුනේ ඉගිලෙන්ට!
කල නොයුතු
සමනල් පියාපත් අත්ල අතරෙහි සිරකෙරුම
මනකල් වුවද දිලිසෙන පුයර කුඩු
පියාසැරියට නැවතුම් තිතක් තැබුම!
දිලිසෙන කුඩු ද
අසුරු සැනෙකින්
දිලිසීම නවතා මැකී යන
සමනල්ලු ඉපදුනේ ඉගිලෙන්ට!
155. විමසමි
අළු හිස්වැසුම් අඳියි හැව්ලොක්,
නියොන් හාරිච්චි පැළඳ හැඩවෙත් කඩවීදි,
තාර පාරෙහි බමන්නේ මීමැසි පොදි,
ගෙදර දිවයයි පොඩිවුන කමිස, සාරි සහ ටයිපටි.
නියොන් හාරිච්චි පැළඳ හැඩවෙත් කඩවීදි,
තාර පාරෙහි බමන්නේ මීමැසි පොදි,
ගෙදර දිවයයි පොඩිවුන කමිස, සාරි සහ ටයිපටි.
කලබල බසය මැද
වැයේ 'සාවන්කා මෙහිනා'
කවුළුවට වම් කොපුල තදකර
පෙරදිග සුළං කෝ, කොහි ගියේදැයි විමසමි.
වැයේ 'සාවන්කා මෙහිනා'
කවුළුවට වම් කොපුල තදකර
පෙරදිග සුළං කෝ, කොහි ගියේදැයි විමසමි.
154. Make කර - Up කරන
ඒ ඒ තැනට ගැලපෙන
ෆවුන්ඩේෂන් වෙස්මූණු දාගෙන
ලගන්නා වදන් පමණක් කියැවෙන
මැජික් ලිප්ස්ටික් ගාගෙන
අයි ලයිනර් කූරකින්
දකින දේ රාමුකරගෙන
නිකට උස්සාගෙන
අඳුරු ලප, පැල්ලම් මකාගෙන
නොකිව්වට,
කවුරු කවුරුත් හැමවෙලාවෙම
Make කර, up කරන
Monday, October 26, 2015
153. මනාලී මල් කළඹ තනන්නී
කැරැලි කෙහෙරැලි
ඇද හැර - කෙලින් කර දිලිසවන්නී
වියලි හසරැලි
වත්සුනින් - තොල් සායමෙන් ඔපකරන්නී
විඩාපත් මෙනෙවියක උවනත
විදාහැර සිහින් ඇහිබැමි පෙලහර
විමානෙන් බට නිල් මොණර කොලයක
විසංවාදී පැතුමකට ගුලිවෙන්න පුලුවන්ද?
විඩාහැර නෙත් පියන් අද්දර රඟනකොට
අඳුරු සෙවණැලි පෙරහැර!
අග පැලුනු කෙස් කොට
ඇනුනොතින් රිදුම් දෙයි පෙණැහැල්ල
මුල පැහුනු තැන් හෙනා වැස්මෙන් වසැංගුව
නොඇනුන්නත් කටුවකිය හාරන හද මස
මකන්නට සිහිනෙක ශේෂ පැල්ලම්, ලප
කොච්චරක්නම් ඩීප් ක්ලෙන්සර් ඕනෙද?
විසිරගිය වෙල්වට් රෝස පෙති
එකතු කර කම්බියක මල්කෙමි බඳින්නී
කඳුළකින් පිනි බිංදු පෙති මත ඉහින්නී
සිහිනෙනුත් මනාලී මල් කළඹ තනන්නී
Sunday, October 18, 2015
152. Poetry Belongs to the earth
The Nation
11th October, 2015
Translated By Maalinda Senevirathne
http://www.nation.lk/epaper/sunday/2015/10/11/index.html#30/z
Friday, October 16, 2015
150. ගිනිකන වැටීගෙන - වැඳගෙන!
පුත,
අපි කුඩා දුහුවිලි කැබැලි වෙමු.
ඔබම දැල්වූ විදුලි එලියෙන්
දිලිසුණෝ බැබලුණෝ වෙමු.
"අගනුවර දීපන් ළමේකුට
විශ්ව ගම්මානයකි අහසම!
කේතුමති පුර සැණකෙලිය හෙට
නිදහස කවද ලැබුනම මොකද?"
වස වැරැද්දකි පුත!
විදුලි පන්දම තවම නුඹ අත
අප වෙතම දල්වාගෙන
ගිනිකන වැටීගෙන - වැඳගෙන!
149. තාම හුරු නෑ නේද?
රීඩ් මාවත පහුකරනකොට,
ඇස් හොයන්නෙම දම් පාට මල් කුඩ,
ගැස්සිලා යනව උරහිසට ඔබ වාරු වෙනකොට,
ඉස්සො වඩ, අන්නාසි අච්චාරු දකිනකොට,
ඉස්සර වගේ නෙමෙයි,
තෙත් වෙන්නෙ ඇස් කෙවෙනි අග....
නොදැක්කා වගෙ උන්නට
ඔයත් පුරහඳට කවි ලියන බව
ඉඟුරු තේ වෙනුවට කෝපි හදන බව - අහක හලන බව
හදවත් හැඩේ මාල පෙත්තක් අතගගා කල්පනා කරන බව
හොරෙන් ඇස් පිහින බව
දන්නවා මං හොඳටෝම!
මාස හයකුත් පහුවෙලා තිබුනට
තාම හුරු නෑ නේද
මේ ජීවිතේ අපිට?
148. පෑරෙන සියක් තැන්
කැබලි වුන පෙම් කතා
පංති කාමර, බස් හෝල්ට්, කෝපිහල් වල
මල් උයන්වල, රේල්පාරක කෙලවර
උල් දාර ඇති කවි කැබැලිවල,
හිත නිතර ගැටෙන, සීරෙන, පෑරෙන සියක් තැන්වල
147. පියාණනි මගෙ ලොවම ඔබමයි
දිවි නැවට මහ රුවල ඔබමයි
සවි ගෙනෙන දෙවි රුවද ඔබමයි
රිවි රැසත් ගිරි හිසත් ඔබමයි
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි
බිළිඳු මට කිරි පබළු ඇන්දූ
මුව පුරා හසරැලි පැළැන්දූ
මව් සෙනේ දුන් පිය නිරින්දූ.
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි
රැකවරණ උඩු වියන් ඇතිරූ
මවු ගුණත් – පිය ගුණත් මහරූ
හදේ ගැඹුරේ රැඳුනු පිළිරූ
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි
http://www.youtube.com/watch?v=5YkgomYI348
ගායනය : මරීනා තමෙල්
ගේය පද : යශෝධා සම්මානි
සංගීතය : තරිඳු දිසානායක
සවි ගෙනෙන දෙවි රුවද ඔබමයි
රිවි රැසත් ගිරි හිසත් ඔබමයි
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි
බිළිඳු මට කිරි පබළු ඇන්දූ
මුව පුරා හසරැලි පැළැන්දූ
මව් සෙනේ දුන් පිය නිරින්දූ.
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි
රැකවරණ උඩු වියන් ඇතිරූ
මවු ගුණත් – පිය ගුණත් මහරූ
හදේ ගැඹුරේ රැඳුනු පිළිරූ
ඔබම පමණයි. . . .
පියාණනි මගෙ ලොවම ඔබමයි
http://www.youtube.com/watch?v=5YkgomYI348
ගායනය : මරීනා තමෙල්
ගේය පද : යශෝධා සම්මානි
සංගීතය : තරිඳු දිසානායක
Wednesday, October 14, 2015
146. නමක් මොකටද කවියෙකුට?
හැල්මේ දුවන නගරෙක
බසයෙක කවුළුවක් අස
අහඹු සුළඟක් වැදෙන මොහොතක
හද මඳ ඉසිඹුවක් ලැබ
කවි කුසුම් පුබුදන්නැති
කුහුඹු පා සටහනක් තරමට
කුඩා රොන් සුණු ඉහින්නත් ඇති
හයිලෙවල් පාරට - මග දිගට
නමක් මොකටද කවියකට
යාන්තම් හිත සසලවන
සුවඳක් තියා නික්මෙනකොට
මං අහන්නේ,
නමක් මොකටද
කවියෙකුට?
145. බෝතල් කල යුතු වසන්තය
මහා කඩිමුඩියකින්
නික්ම යන්නට කලින්
බෝතල් කල යුතුය
මීළඟ වසන්තය
ඉන් පසුව එළැඹෙන
සිසිරයේ දිගු සැඳෑවන් මත
වසන්තය බිඳු දෙකක්
ඉහිරවන්නට හැකිය
සීතලම හිම වුනත්
අවුළුවන්නට හැකිය
කෝපි තිබුණත් නැතත්
කවි ලියන්නත් හැකිය
144. කල්පෙකට චුට්ටක් ඉස්සර!
සැමරුම් තිබුනෙ බස් ටිකට්වල
ලිප්ස්ටික් පිස දැමූ ටිෂූවල
ටොපි කොල, කඩලගොටුවල
හැබැයි ඒ කල්පෙකට චුට්ටක් ඉස්සර!
143. එළඹි සිහියෙන් තොර ඔසු
රෝ බිය බොහෝමැයි
රුදු පියවි ලෝකය දුකක් මැයි
ප්‍රේමයෙන් ආතුර වීම
එළඹි සිහියෙන් තොර වීම
සිහින තුල ගැවසීම
බොහෝ සුව දෙන ඔසු මැයි
142. නොහිතනම තැනදි නොගැලපෙන සුළං
ඕතමය මැද වුනත්
වසත් සුළඟක් හමයි
රත් තැඹිලි මතක පත්
සිරි සිරි නදින් සැලෙයි
ජීවිතෙත් ඒ වගෙයි
නොහිතනම තැන් වලදි
නොගැලපෙන සුළං වැද හිත සැලෙයි
141. ගිනි උඳුන් අසල
ඇඟිලි තුඩු නටයි
පැරණි ගී තනුවක් හෙමින් හද තුල වැයෙයි
තත්පරේකින් පංගුවකදී
සෙවණැලිය කියන්නේ
සෙවණැලිම පමණකැයි
හොඳටෝම අමතකව යයි!
Friday, October 9, 2015
140. චතුරංගනී සේනාව
සුදු තරමටම කළු
කළු තරමටම සුදු
මහා චතුරංගනී සේනාව
සුදු සමෙහි පරම උරුමෙකි පළමු පියවර
නූස් පාබළ සෙබළුය
කරමුලින් ගෙන ඉදිරි පෙළටම ඇද දමන
බෑ කියන්නට නොහැකිවම පෙරටම යන
බෙලි කැපී මැරි මැරී වැටුනත්
යාන්තම්වත් දුකක් නොගෙනෙන
කිරීටය දෝතට ගෙන
ඉනික්බිති රජු බළකොටුව තුල සැඟවෙන
විරලය නයිට්වරු
සෙබළ බළ ඇණි මතින් අසු පන්නන
රජුන් රැජිණන් පවා අස් කුර හඬින් සසැලෙන
සන්සුන් බිෂොප්වරු
පෙනී නොපෙනී මහා යුධ සැලසුම් අඳින
රහස් විසඳුම් හිස දරාගත් 'රුක්' තෙම
විමසුම් ඇසින් ගොදුරු සොයමින් ඇවිදින
රැජිණ
හැඩකාර තරමටම වැඩකාර
අනායාසයෙන් යුධ බිම සිසාරා ඇවිදින
දිලෙන දිගු ලෝගුවෙන්
රජුට වුව රැකවරණ සලසන
කලාතුරකින් දිනෙක
කුඩා සෙබළෙක් සතුරු සීමා බිඳලන
ඉහළ නිල තල වෙතට එසැණින් එසවෙන
දුබලයන් මැරි මැරි වැටෙන
'ගේම් ඕවර්' නිසැක බව දැන
බලකොටුව තුලින් රජ මතුවෙන
මහත් ඔල්වරසන් මැද
මධු සාද ඇරඹෙන
අහෝ අනුවණ චතුරංගනී සේනාව!
විසල් අත් යුග දෙකක, 'චතුරංග සෙල්ලමට' මැදි වුන
රජුත් සෙබළුත් එක කුටීරෙක වැළලෙන්න නියමිත වුන
139. ඇලෙනසුළු
රිදී පැහැ ගැල්වූ
බුහුටි හැන්ද
හිම කිරම වීදුරුව පතුලට
කිඳෙන්නෙය
ඝනැති චොකලට් දියර
ඒ වටා මිදෙන්නෙය
ඇලෙන සුළු පැල්ලම්ව
රැඳෙන්නෙය
Tuesday, October 6, 2015
137. ඉඟිකරන්නට එපා ඉරි කමිස!
ඉඟිකරන්නට එපා ඉරි කමිස!
හෙම්බත්ව මැරෙන්නට වැටුන වැරහැල්ලකි හිත,
අම්බානකට මල පැනල මට,
පුම්බගෙන ඉන්න අළුපාට අහසත් එක්ක.
දැන් ඉතින් ඔබ කියන්නේ,
හයිලෙවල් පාර මැද රතුරෝස පිපෙන්නට පුළුවන් බවද?
ඇත්තමයි ළමයෝ,
ඉස්සරම මම වුනත් හිතා උන්නේ එහෙම.
කපුටු කූඩයක් තියනකොට ඉහ උඩ,
ඔය වගේ අබලන් හීනත් ඉතා හැඩ,
මේ වගේ ගිනිපෙට්ටි නගරෙක,
ගිනි තියාගෙන දුවනකොට උදේ හිට,
රතු රෝස කියන්නෙත් ඇවිලෙනා ගිනි දළුවලට.
පිච්චෙනකම්ම ඔබටත් මටත් තේරුම් ගන්න බැරුවට!
136. රපුන්සල් කෙනෙකුගේ සිහිනයක්
මටත් ඇත සිහිනයක්,
සුළං වැද නළලතෙහි රඟ දෙන
කෙහෙ කැරැල්ලක සිහිනයක්,
හිරු කිරණ වැද
මද උඩඟුවෙන් දිලෙන
දඟකාර තඹ කෙසක සිහිනයක්,
වයලට් මලක් සේම දම් පාට,
ලොසින්ජර රතට තද රතු පාට,
කහ පාට, කොල පාට, දේදුන්නෙ හත් පාට,
හිසකෙසක සඟවනා සිහිනයක්,
මිතුරු කඟවේනෙකුගෙ කෙසර මෙන් රන් පාට
ඉනේ හැපි හැපි රඟන
රැලි ඇරපු දිලිසවපු කොණ්ඩෙක සිහිනයක්
උරහිසෙන් මදක් පහලට හැලෙන,
කෝටියක් කෙහෙ මුදු මුදුව පිපුන,
කලක් හිට් වී තිබුන - රැඩිකල් පෙනුම රැඳුන,
තොප්පි හැඩ හිසකෙසක සිහිනයක්,
මං ඔබෙන් අහන්නේ,
රපුන්සල් කෙනෙකුටත්
තියෙන්නම බැරුවාද
කෙටි කූරු කොණ්ඩයක සිහිනයක්?
135. නොරිස්සුම් කවි
සමහර දවස් ඇති
හැම ට්‍රැෆික් කණුවම රතු ඇසින් ඔරවන
වහිනවාමයි කියකියා අළු වළාකුළු පිම්බෙන
අහස වුව වැහි පොරොන්දුව අමුඅමුවෙම කඩකරන
එහෙම දවසට
වික්ටෝරියා පාක් එකේ
උදාරම් පිලිම වුව කලකිරෙන
බෝගන්විලා පෝච්චියක් දෙකක් කුඩුකර
සිමෙන්ති කැටවලට කුණුහරුපෙන් බනින්නම හිතෙන
සමහර දවස් ඇති
බොරු පොරොන්දුත්, රැවටිලිත්, තරහත්
අළුම අළු වාහන දුමක ඔතාගෙන එන
කවියක්වත් ලියාගන්න බැරිවෙන
134. චාරිත්තරෙට වගෙයි
සති අන්ත නිවාඩුවෙ
චාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙ
නැති හන්ද එයා පොත් කියවන්නෙ
පුරුදු විදියටම තනියෙන්මයි ආවෙ
ප්‍රතිභාප්‍රභා කුටියෙ දොර ගාව
අහම්බෙන් උඹේ වත දුටුවාම
කැති ගාපු වල් පඳුරු සේරෝම
හොස්ස උස්සා පිබිදුනේ කෝම
මහපොලෙන් සොච්චමක් හංගගෙන ඒ කාලෙ
පොත් සුවඳ බලන්නයි උඹව ඇදගෙන ආවෙ
සෙනග තෙරපෙන්නෙ නෑ - නූල්ඩස් කඩත් නෑ
ඒ කාලෙ ඉර අවුව මෙහෙම පිච්චෙන්නෙ නෑ
පොත් කන්දකට උඩින් එදා වාගෙම අදත්
සඳවතකි පෑව්වේ ටිකක් වියපත් උනත්
අත්ලතෙහි තිබුන පොත් අතර හැංගී උන්නෙ
‘භාවනා අත්පොත’යි ‘සසර දිනනා මග’යි
කන්ණාඩි කුට්ටමට උඩින් බිල් පත බලා
ටික් හඬින් බුහුටි අත් පසුම්බිය විවර වෙයි
අකුණු ගහනව වගේ සැණෙළි එළි පිපිරෙද්දි
ක්ලික් ක්ලික් හඬින් සෙල්ෆි වැසි වැටෙයි.
සීල් තබනුයි කියා අපි එදා පිකට් ගිය
කූල් සන්නාමගත බීම හල් හැමතැනම
පැණි දියර කෝප්පෙක කිරි හිනාවක් පිපෙයි
‘අම්මියෝ අපි මෙහේ!’ සිඟිති අත් පොඩි වැනෙයි.
‘සයිබ සාහිත්යෙ වයිබර් ලකුණ’
අතට ගෙන බලමි, ආපහු තබමි
රජ කතා, යුධ කතා, බොළඳ ආදර කතා
නොදැක්කා වගේ ඔහෙ සැරිසරමි
‘හිනාවෙන සාදුගේ’ දේශනා පොත් දෙකක්
ත්‍රිපිටකේ සිංහලෙන් වෙලුම හතරත් අටත්
තුරුළු කරගෙන දාහෙ පටි ගනිමි
‘නිවන් මග’ මගහැරීමෙන් තැවෙමි.
Thursday, October 1, 2015
132. යුනිකෝඩමය ස්නේහයක පැවතීම
ඉසියුම් අකුරු පොකුරූ
පාරවන්නෙය හදක් අඳුරූ
ඉවසුම් කුමට
සැනසුම් සුවඳ
හොය හොයා තව උරමි නුඹ ලිව් අකුරූ
වැහිකෝඩ ගෙනෙන බැව් සැක නැති
කිරිකෝඩු කිව නොහැකි ස්නේහෙකි
මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී
නිල් පැහැති වත්පොතක අහසෙහි
නිල් ට්විටර් විගඟුන් ගයද්දෙන්
නිල් ස්කයිප කවුළුව විවර වූයෙන්
නිල් දෙනෙතු රතු වෙලා යද්දෙන්
සිල් අරන් විඳගන්නෙ කෙලෙසක
පෙම් පිරූ සුන්දරම කවිකම්
පින්සාර මහළු පන්හිඳ
විශ්‍රාම සුව විඳියි අන්ධව
සංසාර පුරුද්දට අවැසි නැත හසුන්ගත කවි පද
සල්ලාප පෙට්ටියෙහි පිපෙන්නෙත් කුසුමන්ය මනනද
දෙතොල් නොගැටෙන ඩිජිටල් හාද්දක කිමිදීම
සීරුම් කැළැල් නොපවතින
සීහුම් රසින් සැනසීම
රොමැන්තික භාවනාවකි
යුනිකෝඩමය ස්නේහයක
පැවතීම
131. නික්මන
වැහි බිංදු නිය තුඩින්
තට්ටු කරන්නෙය කවුළුවට
ආචාරශීලීය 'චිටිචිටි චිචිටි' නද
මේ වගේ වැසි විය
ඔබ පැමිණ ගිය හැමදාම
ආවොතින් යායුතු බව
නොගොස් එන්නට බැරි බව
'චිටිචිටි චිචිටි' නදින් දොඩමින්
නෑ ඒ ඔබේ කටහඬ!
"මං කැමති මීදුමට නික්මෙන්න.
පෙනී නොපෙනී ලැගුම්ගෙන
එලි තිතක් මෙන් නිවි නිවී දිදුලන්න.
නත්තල් ගහේ එල්ලූ - පොඩි විදුළි බුබුළු අර නිවෙන්නේ, දිලෙන්නේ
ඒ වගේ!"
මං ගැයුවෙ නික්මන ගැනයි
ඒ දීර්ඝම සැඳෑ සාදය අවසන
දෙව්දාර රිකිලි අග
ඔංචිලි පැද්දෝහ සිඟිති පිණි බිඳු
ඔබේ ඇස් මරකත මැණික් මෙනි - ඇතුලතිනි දිලෙන්නේ...
ඉනික්බිති සමුගැනීමය
බලාගෙන යද්දි මාෂා
පළමු හමුවේ, පළමු තත්පරෙත්
හුවමාරු උනේ සමුගැනීමේ හාදු ය.
චෙරි රසැති දෙතොලගින්
මගේ ගීතයක පුන ගැයුම නික්මෙයි
ඒ කියන්නේ
කවමදාවත්
මං අහන්නේ
කවමදාවත්
අපි අපිව හමුවුනේ නැතුවද?
වැහි මීදුමට එපිටින්
ඔබේ තාරුකා නෙත් යුග දිසෙයි
නත්තල්ගහේ එල්ලූ විදුලි එලි මෙන්
ඔබ නිවෙයි - යලි දිලෙයි
ඒ කමටහන් කරමි
මමද නිවෙමින් දැල්වෙමි.
එන අයට නොගිහින් බැරිය
ගියොත් ආපසු එන්නෙය
මගේ අදිටන
ගිහින්, නෑවිත් ඉන්නය!
130. වෙව්ලුම්කන කවි
යන්තමින් ගැහෙන නොගැහෙන
පණ පොදකි ලයේ
වෙව්ලුම්කන කවියකත්
උණුහුමක් තියේ
පින්නෙන් තෙමී තෙත්වුන
මූසලම පැයේ
යන හිත ආයෙ හරවන
ස්වරපෙලක් වැයේ
Subscribe to:
Posts (Atom)