Tuesday, September 8, 2015

111. තාපස කකුළුවා සහ මුහුදු මල






රැලි සරැලි ලුණු රස පිරි
මානස විලෙහි ඉවුරත
හිරු රැස් වැදී විසිරෙන
වැලි කැටිති රන් සුණු වෙසින් ඇස රවටන
තාපස කකුළු තෙම
විමන තැනුයේ එතැනය

කැන්දා ආ ඇමැන්ඩා
ඇනිමොනි මල් පැලැන්දා
බ්‍රිටිෂ් ඇක්සෙන්ට් රන්දා
මිණි කිකිණි ස්වර ඇන්දා

සුවිසල් පැතලි ටීවී
හෝම් තියටර් පේවී
පොලී අඩුවට දේවී
ගනු ගනු නොම පමාවී

තාපස කකුළු තෙම
ඕ.ටී. වෘතය අවසන
අඳුරු සළු හැඳ - කොත්තු අරගෙන එන්නේ
කන්තෝරු බර - තොත්තුවක දියවෙන්නේ
ඇනිමොනි ගවොම් රැළි අස
රැයට එදිරිව සැඟවගන්නේ

පඩිපත මිරික මිරිකා ගසන පැට්ට්‍රල්
විලෙහි ගැඹුරත පික්නික් ගමන් මනකල්
ෆේස්බුක් ප්‍රොෆයිලේ ඇමැන්ඩා ඊස් සිංගල්
තාපස කකුළු තෙම නියුට්‍රල්


සත්මහල් මැදුරු කුලියට ගතයුතු
අස් රියද ඇත් රියද අමතක නොවිය යුතු
රන් සුණු වෙරළ දිලෙනයුරු නොපෙනිය යුතු
විලට දහදිය හෙලිය යුතු - ගිලී මියැදිය යුතු


විල් දියෙහි ලුණු රස දැනෙන්නේ
දහදියත් - කඳුලත් මුසුව බැව්
කකුළුවෝ නැහැ තවම දන්නේ
මුහුදු මල් ඒ නොදන්නා ලෙස ඉන්නේ

No comments:

Post a Comment