Thursday, September 24, 2015

128. ඒ කුඩා මිනිත්තුව





මල් වෙඩිලි ඇවිලුන
වෛවර්ණ තරු පුපුරු ඉහිරුන
ඒ කුඩා මිනිත්තුව
මගේ මුලු ජීවිතය

වෙඩි බෙහෙත් ගඳ දැනුනද
තවම විස්මෙන් ඔද වැද
ලබ් ඩබ් නද නගයි හද


127. කොයි තරම් උදාරද





කෝපි උණුහුමක් වැද
දියවීම, වැගිරීම
අයිස් පලමකට වුව නොතරම්‍ ය.

කොයි තරම් උදාරද
ගල් හදැත්තෙක් වීම!


126. හිස්ම හිස් සුදු පාට





මාරි විස්කෝතු
දුම් දමන තේ
වේගවත් ඇඟිලිතුඩු අග කාඩ් පැක්

කඳුළු වියලුණු ඇස්
සුදු පාට
අවාරෙට මෙන් සැලෙන
හුදෙකලා කොඩි
සුදු පාට

'ටකස්' ගා උඩ පනින
කැරම් ඉත්තෙක්
තිගැස්සෙන ගෙල උඩින් එල්ලෙන මුහුණු
සුදු පාට
හිස්ම හිස් සුදු පාට


125. හොඳින් දන්නා සිහින් වෙණ වැයුමක්



නොදන්නා නගරයක
කවුළුවක් අස
සිහින් වෙණ වැයුමක්
ඇසෙයි

දූපතක 
දූපත් හදක් 
අනුනාදවෙයි

වෙණ දුන්න
ඇහි දාර සූරයි
දුම්මල අංශු ඉහිරෙයි
නැහැය බරවෙයි

නොදන්නා නගරයක
කවුළුවක් අස
හොඳින් දන්නා 
සිහින් වෙණ වැයුමක්
ඇසෙයි


124. දොම්නස් කසායක් සිඳින්නෙමි





වලාකුළු 
එකින් එක 
නෙළන්නෙමි
සිනා සළු
ටිකෙන් ටික
ලිහන්නෙමි

සලා සුදු ලොම් කෙඳිති ඉසියුම්
පෙලන්නෙද තව තවද නෙතුඉම්
වලාකුළකට සිනා නොතරම්
පලා සැතකින්
වළා ඉරඉර
කරමු සරදම්

සිනා සළු
ටිකෙන් ටික 
ඉරන්නෙමි
මකා හිරු
අළුම අළු
කබායක්
අඳින්නෙමි

උඳුපියලියා මලෙක
පිනි කඳුළු රැස් කරමි
මුදු පිහිඹියා තුරක
පත් අතර සුසුම්වැල් නෙලන්නෙමි
කහ අරලියා ලඳක
වියෝ ගීයක අකුරු ඉරන්නෙමි
දොම්නස් කසායක් සිඳින්නෙමි

කළුම කළු
වලාකුළු
ඉහින වැහි
පත් අතර වෙළෙන්නෙය
මල් මුහුණු සිඹින්නෙය
වියෝ ගී සීතලෙන් වෙවුළුවා මරන්නෙය

කළුම කළු කසායෙන්
නැහැවෙමි
සතුටු වැහි බිඳු මතින්
ඉපිලෙමී

123. රොමැන්තික දෝලන






ඔංචිල්ල,
ගිනිපෙට්ටි නගරයට ඉහලින් පැද්දෙන
ගිනිකූරු ගෑනුන් මිනිස්සුන්
ගිනි දැක්ක වගේ නළලත හකුලන
ඇස්වලින් ගිනි පුළිඟු පිටවෙන
වළාකුළු මත පය තියන්නට බියවෙන

ත්‍රාසයෙන් පිරි බමනතුර
අසම්මත කිරිකිරි හඬින් පැද්දෙන
ගිනිකූරු මිනිස්සුන් තිගැස්සෙන
හෘද වෙත එල්ල ගෙන 
ගිනිබිඳින
සියොතුන්ද විස්මයෙන් පියපත් හකුලන

රොමැන්තික සුලං වැද
හිස බමන - හිත නටන
ගිනි පුළිඟු බැල්මන් 
සුළං වුව ගිනිතියන
කෙහෙකැරලි දුම් වැද පිලිස්සෙන
පිළිස්සුම් මැදින් 
විලිස්සුම් දෙමි ගිනිකූරු නගරෙට
උන් දන්නවද මේ රොමැන්තික දෝලන

Wednesday, September 16, 2015

122. සුළිසුලං අතර



ඔබ 
සුළි සුළඟක්ව පැමිණෙන
මහත් කළබල අවසන
අසුරු සැනෙකින් නික්මෙන

මතක කැබැලිති විසිරෙන
දශක ගණනක සිතුම් ඉපිලෙන - ඉහලට නැගෙන
හීන් හිරිකඩයකින් නෙතු තෙමෙන
මම
සුළි සුලං සුළි අතර වියරුවෙන් මෙන් සසැලෙන

121. වයලට් මලෙක සුසුවඳ





තද දම් පාට පුරහඳ
එළි කිණිති වලින් වෑහෙන්නෙ වයලට් මලක සුසුවඳ
සේපාලිකා පෙති පවා විලිබරව,
පිපෙන්නට කලියෙන්ම බිම වැටෙන
"එයා දැං හරි වෙනස්"
නෝක්කඩු මිමිණුම් නගන

නග්න සඳ කිරණ ඇතිරිල්ලකි
අනලස්ව තුරු හිස් වසා වැතිරෙන
රන් පාට සළුව අමතක මුත්,
පිනිබිඳක් තරම් පසුතැවිල්ලක්වත් නැත
වයලට් මලෙක මකරන්දයෙහි
කිඳී සැනැහී විල් දියත් තද නින්දෙය

සේපාලිකා මුහුණ හංගාගෙන තවම තරහෙනි
දම් පැහැ හාදු දියරෙන් අමනාප සේදෙන
මධු සාද ඇති දවසට
රන් සළුව - මුදු කිරණ අමතක වුව
පොඩි එකෙක් වගේමයි පුරහඳ
රෑ බදුල්ලෙක් කොඳුරයි - ඇහෙන නෑහෙන ගානට


120. නිවී ගිය තරුවක්


නිමිත්ත :

සමර විජේසිංහයන්ගේ හදිසි වියෝව වෙනුවෙන් ලියැවුනකි.
දිනමිණ - වසත් සුළඟ - 2015 - සැප්තැම්බර් -15





ඔබ නිවීගිය තරුවක්
ආලෝක වර්ෂ ගණනකට මෙපිටින්
අපි තවම ගිනිකන වැටෙන
දැල්වෙන නිවෙන කාල අන්තර අතරෙහි
මදක් කලබල වෙන
නැවත නැවතත් ගිනිකන වැටීමෙන් සැනසෙන





Friday, September 11, 2015

119. අන්තරාදායකයි ගැඹුරු බළල් ඇස්!





ඇඩිඩාස් විලවුන් බිඳිති අහුරකි
හිස ඉහල අදින නොහික්මුණ නැහැතුඩකි
ගෙල රිදෙන බව හැමවිටම මතකයෙන් ගිලිහෙන්නෙකි.

ලා දුඹුරු
මහ ගැඹුරු
මද අඳුරු
දෙනෙතකි

නොපෙනෙන්න දිය සුළි
මල්වැඩ දමා ඇති සුදෝසුදු පෙණ රැලි
වියරු අකුණක් සැඟව තිබුනත්
ප්‍රේමණීයයි සල විදුලි එලි

සංතාප සෙවණැලි මකාලනු වස්
සංවේගයෙන් වුවද
සංගායනා කරමි
"අන්තරාදායකයි ගැඹුරු බළල් ඇස්!"



118. නොහික්මුණු කුඩ






ඇහෙන නෑහෙන මිමිණුම් ය
ඉක්මන් හාදු ඉසියුම් ය
වැහි පිණිති වැටෙනමුදු
කුඩ ඇතුල උණුසුමෙන් ගිනියම් ය

සුවිනීත තුරු හිස්
පියා විලියෙන් බර ඇස්
තද පැහැති තරුණ කුඩ ගැන
හෙමිහෙමින් කොඳුරති දොස්

117. පිටත වැහි එහෙමමයි




වීදුරු කවුළු මත
මිහිදුම් කැටිති වැතිරෙයි
නියොන් කහ එලිය වැද
අහඹු කඳුලක් දිලිසෙයි

අකීකරු ඇඟිලි තුඩු
තෙත් වීදුරුව මත ඇවිදියි
කුඩා හදවත් ලකුණු ශේෂවෙයි

ඉනික්බිති,
ගවොම් කර මත දිය පැල්ලමක් ඇඳෙයි
නොයිවසුම් අතකින්
හදවත් මැකෙයි
පිටත වැහි එහෙමමයි
උඳුන් දර කොඳුර කොඳුරා ඇවිලෙයි


116. නොසිදුවිය යුතු යමක් සිදුව ඇත!



නිමිත්ත :

චූල ගායිකාව, ගෝත්‍රිකාව, නොසිදුවීම් කිහිපයක් යන කෙටිකතා පොත් කතෲ, නොසිදුවීම් බ්ලොග් අඩවියෙහි රචක, කවියෙක් සහ කෙටිකතාකරුවෙක් වූ සමර විජේසිංහයක් පසුගිය සැප්තැම්බර් හතරවැනිදා වළාකුළු අතර සුවිසැරියට නික්ම ගිය බැව් දැනගන්නට ලැබුනේ අදය, පුරා සතියකට පසුවය.




අපි නොසිහියෙන් ඇවිදිනත'ර
එක් බරැති පා සටහනක් අතුරුදන් බව අමතකම කර
වස්සාන සෘතුවෙහි පළමු වැහිපොද මගහැර
වළාකැටි වෙතට නික්මී ඇත සමර

අඳුරු සිසිරෙක උණුහුමට
සමරු කවි සුවඳ පමණකිය සැමරුම
දැදුරු හිත් අතර තැවරුන
සමර සැමරුමකි යලි නොමියෙන


Tuesday, September 8, 2015

115. කුමුදුමනි තව හිස පීරි



අමර දැන් ලී මුදලාලි
"සමර ලී බඩු" නම් ලෑලි
හිස සිඳුන මුත් ගෙල දරාගෙන
ඉකිගසයි සල් කොට කෑලි

කලු කූඹි සහ තෙල් කූඹි
තවම වෙනවෙනමයි පේලි
කැවුම් වැඩි කොටහක් ලැබෙනතුරු
සැකෙන් සංකාවෙන් වේලි

මේ ඊරි ඒ කාලෙ බිම සීරි
පාන් පෙති මැදට තදකර වීරි
පෝක් සැන්ඩ්විච් කන්න කියමින්
කුමුදුමනි තව හිස පීරි


114. සබන් පෙණ






ඔබ ගුම් සරින් අපැහැදිලි රහසක් කියන
මුදු කම්මුලක පියපත් බමන පහසක් දැනෙන
දෙබැම හැකිලෙන 
කිතියකින් ඇස් වැසෙන

සබන් පෙණ බුබුළුය
වෛවර්ණ දේදුනු පිපෙන
'ගලගල' නදින් දිය පෙතක් හසරැලි නගන
සබන් පෙණ අතර මම අහසට නැගෙන

ඉනික්බිති බිඟු දල පහරක්
හාදු අහුරක් වැදෙන
'සටසට' නදින් පෙණ බුබුළු එක දෙක බිඳෙන
දිවා ස්වප්නය බිඳෙන

දුම් කැරලි මා වට බමන
කුඩා අළු පැහැ වළා මෙන් ඇහැ රවටන
හිරු රැසක් ඇහිපිය කොනිත්තන
ගවොම් සායෙහි කුඩා බිඟු පියපතකි - ඇස ගැටෙන - සිත නොගැටෙන

113. සිරි සිරියෙ නටයි වැලිකැට





වෙරි වෙලා වගෙයි රලපෙල
වැර අරන් හැපෙයි වෙරළත
පොරි වගේ පිපෙයි සුදු පෙණ
සිරි සිරියෙ නටයි වැලිකැට


112. නික්මෙන්න





වැසි සහිත සවසක
රිසි ලෙස විසිරි මිහිදුමක
මතක කැටි ලෙස සැඟවෙන්න
හිතක ඉසියුම් හැඟුම් නොපෙලන්න
ඇසිපියක නොවැදී වැදී යලි නික්මෙන්න


111. තාපස කකුළුවා සහ මුහුදු මල






රැලි සරැලි ලුණු රස පිරි
මානස විලෙහි ඉවුරත
හිරු රැස් වැදී විසිරෙන
වැලි කැටිති රන් සුණු වෙසින් ඇස රවටන
තාපස කකුළු තෙම
විමන තැනුයේ එතැනය

කැන්දා ආ ඇමැන්ඩා
ඇනිමොනි මල් පැලැන්දා
බ්‍රිටිෂ් ඇක්සෙන්ට් රන්දා
මිණි කිකිණි ස්වර ඇන්දා

සුවිසල් පැතලි ටීවී
හෝම් තියටර් පේවී
පොලී අඩුවට දේවී
ගනු ගනු නොම පමාවී

තාපස කකුළු තෙම
ඕ.ටී. වෘතය අවසන
අඳුරු සළු හැඳ - කොත්තු අරගෙන එන්නේ
කන්තෝරු බර - තොත්තුවක දියවෙන්නේ
ඇනිමොනි ගවොම් රැළි අස
රැයට එදිරිව සැඟවගන්නේ

පඩිපත මිරික මිරිකා ගසන පැට්ට්‍රල්
විලෙහි ගැඹුරත පික්නික් ගමන් මනකල්
ෆේස්බුක් ප්‍රොෆයිලේ ඇමැන්ඩා ඊස් සිංගල්
තාපස කකුළු තෙම නියුට්‍රල්


සත්මහල් මැදුරු කුලියට ගතයුතු
අස් රියද ඇත් රියද අමතක නොවිය යුතු
රන් සුණු වෙරළ දිලෙනයුරු නොපෙනිය යුතු
විලට දහදිය හෙලිය යුතු - ගිලී මියැදිය යුතු


විල් දියෙහි ලුණු රස දැනෙන්නේ
දහදියත් - කඳුලත් මුසුව බැව්
කකුළුවෝ නැහැ තවම දන්නේ
මුහුදු මල් ඒ නොදන්නා ලෙස ඉන්නේ

110. මේ කේතුමතී නුවරයි





මේ කේතුමතී නුවරයි
උයන් තුරු නේක මලින් ගහණයි
මේ සිහිල් වසත් සමයයි
පොකුණුද සීත දියෙන් උතුරයි

මහ රජුත් පයින් ගමනේ
නිළමේ වඩිත් දකුණු පසිනේ
තද රත් පීත්ත පටි කැපුනේ
ළපැටි මුව හාදු දෙකක් රැඳුනේ

බර අළු වළාපෙලට පහළින්
නියං සහනාධාරය ගෙට ගන්
ප්‍රතිශතේ සීයට විසිපහකින්
අඩු කලා ඉතින් ඇපල් කාපන්

ඇපල් බර වැඩි ඈයන් වෙනුවෙන්
පැපොල් දෙමි රිදී තිහක් අඩුවෙන්
සහල් පොල් මහා දනක් සමගින්
සිහිල් දිය බෝතල්කර ගෙනඑන්

දුගී දර්ශක ඇත වලපල්ලේ
දනන් මහ සැණකෙලි ඔංචිල්ලේ
දිරූ ලණු දෙපොටක කෙඳිරිල්ලේ
හඬත් වියැකුනි  ගී කෙලිලොල්ලේ


(2014, සැප්තැම්බරයේ ලිව්ව එකක්)



Thursday, September 3, 2015

109. ජීවිතේ පොඩි නෙල්ලි ගෙඩියක්!





නිදා හුන් මල් මුවට
රත්තරන් ඉඳිකටු අනින
උදා ලා හිරු කිරණ
ඉනික්බිති මල් සුවඳයි
කතාවෙහි හැම අකුරම

සීතලව මියැදෙන්න යනකොට හදවත
ඊතල පහර වුව අමා ඔසුවක්
විෂ බිඳක් කියන්නෙත් බෙහෙතක්
මල් සුවඳ දැනුනත්
බාඳුරා කියන්නේ උගුලක්

ජීවිතේ කියන්නෙම
පොඩි නෙල්ලි ගෙඩියක්!


108. සිහි විකල් කරන්නෙකි ප්‍රේමය







ඔබේ නික්මන හමුවේ
මියැදෙන්න සිතීමය
මතු භවෙත් ඔබ නමින්
ඉපැදෙන්න පැතීමය

Tuesday, September 1, 2015

107. මට හැකියි විස්මයෙන් මුසපත් වෙන්න





ඔබේ හිස් දෑත මට පෙන්වන්න
ඒ මතින් රතු රෝස කළඹක් පුබුදන්න
මට හැකිය මවිතයෙන් ඇස් දල්වන්න
කබායේ ඇමිණුන රෝස කටු නොදැක්කා වාගේ ඉන්න

ඔබ පළිඟූ බෝල දොළහක් කරකවන්න
රිදී දිස්නෙන් මට හැකිය මුසපත් වෙන්න
පළිඟු හතරක් අතුරුදන් බව 
තුනක් කුඩු පට්ටම් බව
මට හැකියි තත්පරෙන් අමතක කරලන්න
අත්ල කකියන වැරෙන් අත්පොළසන් දෙන්න

ඔබ මැජික් තොප්පියෙන් හාවෙක් අරගන්න
උගේ දිගු කන්වලින් අල්ලා සොලවන්න
මට හැකිය සිහින් ඉකියක් හිනාවක හංගන්න
"නීනෝව අත හැරපන්"යැ රහසිනුදු නොකියන්න
ඔබ හරිම සමතෙකැයි ඔල්වරසන් දෙන්න

දිලිසෙන්න උල් පාවහන් ඔප නංවන්න
උස් මැජික් තොප්පියේ රන් තරු ලකුණු අමුණන්න
කළු ලෝගුවේ කුඩා හදවත් අලවන්න
බොරු උඩු රැවුල පීරන්න, ටයි ගැටය සකසන්න
මට හැකියි තව විස්මයෙන් මුසපත් වෙන්න
යලි යලිත් ඔබ වෙනුවෙන්ම ඡන්දය දෙන්න


106. කපුටු සිහින





පොලිස් පාක් එක අද හරිම කලබල
ට්‍රම්බෝනෙ අහසටම කට බලියාගෙන
ඇකෝඩියනෙකි මහ හඬින් බෑඟිරි තලන
සයිඩ්ඩ්‍රම් කටුකුටු රහස් මුමුණන - සිම්බල් එක්වරම සසැලෙන
මාර අතු ඉති අනුනාදවී බිම හැලෙන

මේ ජීවිතේ මොකටද!
ස්වර කෑලි ඇනිලාම අත්තටු හීරෙන
මටත් ඕනෑ සන්නාහයක් පළඳින්න

පිත්තල බොත්තම් අපූරුය - පදක්කම් මහ උජාරුය
හොටය තඹ පාටින් ටින්ට් කරගන්නමයි හිත
වියදම තමයි ප්‍රස්නය
කාකි අස්සයෙක්ගේ පිට උඩ - ගැස්සි ගැස්සී හැල්මෙ යනකොට
පියාඹනවා වගෙද? මොන සැහැල්ලුද!
පිහාටුත් අවුල් වෙන එකක් නැහැ හුළඟට

අර දිග කොණ්ඩකාරිය මා දිහා හොරැහින් බලන
ඇහැක් ගැහුවා වගේ පෙනුනේ හීනෙන්ද?
කපුටු කූඩයකටම වටිනා කොණ්ඩය
ආදරේ කියන්නටමයි හිත
හොට ටින්ට් කරගන්නකම් පොඩ්ඩක් ඉවසන්න
පදක්කමකුත් තිබුනනම් අද මමත් හැන්ඩ්සම් කොල්ලෙක් ය