Friday, June 12, 2026

319. කැළැල්?


නිමිත්ත: Do you have scars? I was asked by someone.




පැටි වියේ සෙල්ලමක් අතරක

දණිස් සීරී ලේ ගැලූ තැන්වල කැළැල්

වරද අදටත් අපැහැදිලි මුත් නිතරම

ළපටි දෙකොපුල පෑරවූ නියපොතු කැළැල්


ෆිසික්ස් ටියුෂන් පංතියට යන එන’තර

නළල මිරිකා ඉගිල්ලූ කුරුළෑ කැලැල්

සතළොස් වියේදී උඳුනකට බරවී

අතක් හරහට ඇඳුනු ඇස්ට්‍රා රස කැළැල්


ආදරේ කුස දරාගෙන උන් සමයක

රිදී දැල් සේ ගතේ විසිරී ගිය කැළැල්

කිරි සුවඳ පොදි අතට ගන්නට මත්තෙන්

හීනිවට බඩවතේ ඇඳි සැත්කම් කැළැල්


ජීවිතේ පිට කවරෙ තැන තැන සීරුණු

සෛල විභජනයෙන් මදින් මද සීහුණු

පෙනෙන නොපෙනෙන 'පිට' කැළැල්


________


ඒ නමුත්

කවුරුවත් පහසුවෙන් නොදකින, ඇතුල් පිටුවල තියෙනවා

සීහෙන්න සෑහෙන කලක් යන

සියක්වර යලි පෑරි පෑරී රිදවන

හදවතේ ඉගැඹුරු කැළැල්


තුරුල්ලෙන් බිම හැලී තනියෙන් - ඇවිදින්න සිදුවුනු දවස්වල

පුරුද්දක් නැති සිඟිති ඇස්දෙක - කළුවරට හුරු වුන සවස්වල

පිළුණු රස සයිලන්ට් ට්‍රීට්මන්ට් සති වල

පිළිණ කුඩුවූ තැන්වල

සීහෙන්න සෑහෙන කලක් යන

සියක්වර යලි පෑරි පෑරී රිදවන

හදවතේ ඉගැඹුරු කැළැල්


________


ඒ කැළැල් අලු දුඹුලු මැද්දේ

කලල් බිම්, කළු-කුහර මත්තේ

රෝස, වතුසුදු, හෙන්දිරික්කා - වවන්නට මම පටන් ගත්තේ


අතක් බර සූරියකාන්තා - ලපැත්තේ දැන් පිපෙනවා

හිත රිදෙන නෙතු කෙවෙන දවසට

හීන්සීරුවෙ, මල් ගොමුව උඩ හිස තියා

මම නිදනවා

මම නිවෙනවා 


No comments:

Post a Comment