Monday, December 5, 2022

300. හිතාදර ඇල්ෆා!



ගුඩ් ඊවිනින් හිතාදර ඇල්ෆා!

මං දන්නවා ඔයාලා නිර්භීත සිංහයෝ!

නැත්නම් ව්‍යාඝ්‍රයෝ, දිවියෝ, අහංකාර වෘකයෝ...


ඒත් ;

මේ අපි පුංචි කුරුල්ලෝ....

පියාඹන දේදුණු කැබලි වගෙ ඈතට පෙනෙන,

විඩා නිව නිව - කුඩා ස්වර කූජන කරන,

අපි පුංචි කුරුල්ලෝ....


පැටි වියේදිම මහ වැසිවලට අහුවුන,

පර්වත හිසක හැපී අත්තටු ඇදවුන,

නව යොවුන් වියේ පෙම් මේකුළක ගැටීමෙන්,

එකම පෙණහැල්ලට නිවුමෝනියා වැලඳුණ,

අපි පුංචි කුරුල්ලෝ....


බටිති පිංපොං බෝලයක වුව,

තියෙන්නට පුලුවන් ඇබින්දන් සීරුම්.

සිඟිති බකමූණෙක් කළුවරේ එලියට එන්නේ,

වසංගන්නයි වේදනාබර සීහුම්.

උකුස්සෙක් ඉගිලෙද්දි විසිල් පාරක් ගැහුවට,

දෙමලිච්චො පැන පැන යද්දි ඔච්චම් දුන්නට,

ඔයාලට ලෙහන්නට පුලුවන්ද ඇල්ෆා,

අපේ කූජනවල තේරුම්?


ඔව්, අපි දන්නවා වනන්තර නීතිය,

නීති කඩ කඩ යලි හදන්නේ,

කෙසර ඇති හැඩිදැඩි අය!


වලාකුළු වල හැංගි හැංගී ඉන්නම්,

පලා පෙත්තක් වගේ - ගස් අතරක වෙස්වලා ගන්නම්,

ඇස්වලට ඇන ඇන කරන ඔය 'ඇල්ෆා ආතල්ලෙක' නවත්තා,

ඉතිරි කරනවද අපිටත් - කුරුළු චිත්තප්‍රීතිය?


....................................................................


අමාරුම වෙලාවක ශිඛර මුදුනෙන් ඉකුත් වෙන්නම්,

පපුතුරේ ඉගැඹුරු කැළැල් ගැන වදනකුදු නොදොඩාම ඉන්නම්,

ඒ අතරෙ පුලුවන් තරම් කල් - දේදුන්න ලඟ පියාඹන්නම්,

රැකගන්න ඉඩ දෙන්න අපිටත්

කුරුළු චිත්තප්‍රීතිය!


299. සන්තෝසාභිශේක සැනසුම් උළෙල

 



කඳුළු බිඳුවක දකුණු මායිමෙන්

මුහුදු වතුරට පනින්නට කලින් හවස් ඉර

විඩාබර මා වසාගෙන වැතිරෙයි.

අන්න ඒ වෙලාවේ, 

වැලි මාලිගා පාදමක් පාමුල

මට මගේ අනුරූ දෙකක් හමුවෙයි.


මුදු බිලිඳු කොපුලතක

ටැටූ සටහන් අඳියි මුහුදු වැලි

ළමා ගීයක අපිලිවෙල ස්වර ගිලිහෙයි.

මගේ ඇස් - ඇගේ ඇස් 

එකට ගැටෙනා සැනින්

කිරි හිනා සිඳු රළක් පිපිරෙයි.


වෙරළ ගැඹරේ එරෙන

අපේ දෙපතුලේ සටහන් මතින්

හයිකු කවි කිහිපයක් මතුවෙයි.

මුහුදු වතුරෙන් පෙඟුණු - ඇගේ කෙහෙරැලි අතර

පලා පැහැ ඇල්ගී ඔටුන්නක් ඇතිරෙයි.


ඉනික්බිත්තේ මගේ හදවතේ නිදා හුන්

අකාලික සිඟිත්තිය ඇහැරෙයි.

මුහුදු වැලි මන්දිරේ - මතු මහල් තලාවේ

සන්තෝසාභිශේක සැනසුම් උළෙල ඇරඹෙයි.


298. නොහෙල්ලී ඉන්න




ඔබේ රළු ලේන්සුව

අඳුරු පැහැ ටයි පටිය 

මට දෙන්න


මගේ මුහුලස වැසූ

ස්කාෆ සළුව ඔබ අරගන්න


ඔන්න!

ඕනෑ එකක් කරගන්න


මල් පිපෙන්නේ නෙලා ගන්න බව

කන්පෙත්ත වෙත නැමී

ගුම් දෙන්න


Yes Master!


මල් පිපෙන්නේ නෙලාගන්නටයි

මට තියෙන්නේ 

නොහෙල්ලී ඉන්න!


297. එක කුඩා මොහොතක් නෙමෙයි මේ ජීවිතේ

 



නිමිත්ත:

මගේ ජීවිතේ කිසිම දවසක,කිසිම මනුස්සයෙක් මන් වෙනුවෙන් මහන්සි වෙලා තෑග්ගක් දීලා නෑ. මලක් අරන් ඇවිත් මාව බදාගෙන නෑ. ඔයා මට ආදරෙයිද කියල අහන්නැතුව ආදරෙයි කියල නෑ. ලස්සන කවි ලියල මට එවල නෑ. ඒත් වෙන කාටවත් එහෙම වෙන්න හොද නෑ. 🥀

~ ෆේස්බුක් පරිශීලක සටහනක්


ජීවිතයක් කියන්නේම,

මිලි තත්පර සිzලියනයකි.


ලැබී ඇත මල් පොකුරු සහ උණුහුම් හාදු

ගිණිය නොහැකිය ලද කවි!

තනුවක් දමා මා වෙනුවෙන්

ගිටාරය වයන යොවුනෙක් ගැයූ 

මටම ලියු ගීයක් පවා තිබී ඇත!


උපන්දින සාද - ඇනිවසරි සැමරුම්

මුතු පලඳනා - රන් තෝඩු සහ රන් දම්

මිලාධික චොකලට්ටු - අව්කණ්නාඩි පැලඳුම්

සප්‍රයිස් ත්‍යාග කිසි අඩුවක් නැත!


පොත් ප්‍රදර්ශනවලදි ඕනෑතරම් පොත් ගන්න

කැමතිම ගවොම් ඕනෑ තරම් අරගන්න

කෝපි හලකට යන්න - ඕනෑ දෙයක් කන්න

ක්‍රෙඩිට් කාඩ් ද නිතර අතපත් වී ඇත!

 

හිස බමනවැයි කී විට - 

ලබා ඇත මුදු පිරිමැදුම්

හිත රිදෙනවැයි කී විට - 

පුරවලා දී ඇත මධු ඔඩම්

ඕනෑ තරම් අය ඉන්නවා

අත අතනෑර ඉන්නෙමැයි පිලිණ දුන්!


ඔබට ඕනෙද මගේ මේ ජීවිතේ?

ඉන්ස්ටාග්‍රෑම් ෆිල්ටර තුලින්

ලපකැළැල් මැකුණු, දේදුණු ජීවිතේ?



හැබැයි,

දේදුන්නෙ අන්තිමම කෙලවරේ

පොඩිම පොඩි ඩිස්ක්ලේමර් කවියකි

කුහුඹු අඬු තරමෙන් ලියා ඇති


~~~~~~~~~


ඇස් වටේ කළුතලා වෙන තුරා

නිදිමරාගෙන කඳුළු වගුරා තියෙනවා.

බෙහෙත් අහුරක් දෙකක් ගිලදමා 

මැරෙන්නට තැතනූ හවස් වරු තියෙනවා.

ආකාස පියස්සෙන්, බිම පනින්නට යද්දි මට

පාන්දර දෙකේ කණිසම ඇහිල තියෙනවා.


පා පහරවල් වැදිල තියෙනවා.

බිත්තියේ වද්දාපු කුඩා හිස ගෙඩි ගැහී තියෙනවා.

නියවලට හෑරිලා, දෙකම්මුල් පැසවලා තියෙනවා.

දෙතොල් පිපිරිලා, ලේ ගලල තියෙනවා.

කියතකින් හිස ඉරනවා වගේ වේදනාවක්

මේ දවස්වල නිතර නිතරම විඳිනවා.

හදවතේ අන්තිමම සහන් එළියත් නිවී යනතුරා

සියවරක් මැරි මැරී ආයෙ මං ඉපදිලා ඉන්නවා.


~~~~~~~~


හිතවතිය

කවියක් නෙමෙයි මේ ජීවිතේ

මලකුත් නෙමෙයි

ආදරෙයි කියන එක කුඩා මොහොතක් නෙමෙයි!


ජීවිතයක් කියන්නේම,

මිලි තත්පර සිzලියනයකි.


ඔබට මං කියන දේ තවම තේරෙනවදැයි දන්නෙ නෑ

ඒත් මම ඔබ වෙනුවෙන්

මෙන්න මේ සටහන ලියා 

නිවෙනවා.


296. ආශ්චර්යය




මායා කැඩපතක් වගේ

ඔබ කරන කියන දේ දැනෙන එක

පිටු පෙරලෙන පොතක් වගේ

ඔබ හිතන පතන දේ පෙනෙන එක

දුරක හිටියත් ලඟ එක

ඔබ හිතන්නේ ඒක ආශ්චර්යයක් කියල ද?


පිළිණ සේරම වීසිකර කුණු බඳුනට

අටවෙනි සිගරැට්ටුවෙත් අළු කැඩෙනකොට

මැසෙන්ජර් චැට් කවුළුවක් අස

කැරලි හිසකේ අතරින් තනි ඇසක් වැසෙනකොට

කියන දේ නොකෙරෙනකොට

නොකියන දේ කෙරෙනකොට

නොරිස්සුම් දබරැඟිලි තුඩකින්

ආදරය 'ආකයිව්' වෙනකොට


තවමත් ඔබ හිතන්නේ

ආශ්චර්යයක් කියල ද

පිටු පෙරලෙන පොතක් වගේ

ඔබ හිතන පතන දේ පෙනෙන එක?


කෙරෙන දේ නොකියනකොට

නොකෙරෙන දේ කියනකොට

මට ඒවා පැහැදිලිව පෙනෙනකොට!

තවමත් ඔබ හිතන්නේ

ආශ්චර්යයක් කියල ද

දවස තිස්සෙම අනෝරා වැහි ඇදහැලෙන එක?


295. බොරුකාර අපි


හොලිවුඩ් චිත්‍රපටයක

බොකුටු කෙස් ඇති විලන් ඔබ

එක් අඩැස් බැල්මකින්

උස් මහල් ගොඩනැගිලි පුළුස්සන

නගර චතුරස්‍රයේ පහන් කණු බිමහෙලන


නොවැදගත් සින්ඩරෙල්ලා කෙල්ල මම

හිනා මුහුණක් පැළඳගෙන කන්තෝරු යන

වීදුරු පාවහන් වෙනුවට

ක්‍රීඩා සපත්තුම අඳින


"ඩෙනිමයි බ්ලවුස් එකටයි

ස්ට්‍රේට් කොණ්ඩයටයි 

තමයි අපි කැමතිම!" 

ඔබ හීරෝ කෙනෙක් වෙන්න තතනන

අවුල් ඉසකේ උඩ හෙයාක්ලේ තවරන

දහදිය කුයිල පර්ෆියුම් වැස්සක හංගන


මම 

පහුවදා අලුත් ගවොමක් අඳින

දිගු ගෙල පෙනෙන්නට හැර

කෙස්ස උස්කර බඳින

විලන්වරු කැමති විදියේ

වීදුරු හීල් ඇඳගෙන

විලන්වරුනට කැමති බව විතරක්ම සඟවන


බොරුකාර ඔබ

සින්ඩරෙල්ලා කෙල්ලට අඩැස් ඉඟි දෙන

බොරුකාර මම

ඔබේ බොරුවට ස්වකැමැත්තෙන් රැවටෙන

බොරුකාර අපි

අතිමහත් ප්‍රීතියෙන් බොරුවෙහි හැසිරෙන




294. සීනිබෝට්ටු දැරියො


 

ලිලැක්,

අපි සීනිබෝට්ටු දැරියො

ස්වකැමැත්තෙන් සැඩපහරට පනින

තුටින් කරකැවි කැවී දියවෙන


ලිලැක්,

අපි සින්ඩරෙල්ලාවො

මුහුණ අමතක වුනැයි කියන

රාජකීය මුසා අබියසදිත්

රැවටුනා වගෙ හැසිරෙන


ලිලැක්,

අපි සෙල්ලක්කාර රජකුමාරියො

කුමාරයො වෙනවැයි බොරු කියා

ගෙම්බන්ට ප්‍රංශ හාදු දෙන

ඉන්පස්සෙ, කෙප්ප සුරඟන කතා - ගොතගොතා

රාජධානියෙ යටත් වැසියන් සනසන


දැන් මට කියන්න ලිලැක්...

රැවටිලා තියෙන්නේ 

ඇත්ත දැන දැන 

සුරඟන කතා රසවිඳින අපි ද?

ටොෆිකොලෙන් බොරු මවන 

ගෙම්බො ද?

293. ස්ප්‍රින්කල්ස් අත්බේත්



හිසට ඉහලින් කට්ට කළුවට

තට්ටුවෙන් තට්ටුව ඇතිරෙද්දි - ඔබ ලඟින් නැති පාළුව

හොඳට මුවහත් සැත් පිහියකින්

පාළුව කැබලි කපලා;  පාතරාසෙට ගන්න හිතෙනවා 

ඉච්චාභංගත්ව වඩියක් එක්ක, මට


වට්සැප් ඇමතුමක් අරන් එන

චොක්ලට් ග්ලේස් දියරකි,

මැසෙන්ජර් හාදුවක පැල වුන

මුදු සීනි මල් දුසිමකි,

ආදරේ බව කියන - ආදරේ දැයි අහන

දේදුණු ස්ප්‍රින්කල්ස් අහුරකි.

තිත්ත පාළුව කැබලි

ඉච්චාභංගත්ව කහට වඩියක් එක්ක

පාතරාසෙට ගන්න ඕනෑ; මට


චොක්ලට් ග්ලේස් දියරෙක - සීනි මල් ගවසා

ස්ප්‍රින්කල්ස් අත්බේත්

අඩුපාඩු නැතිව අරගෙන එනවා නේද; ඔබ?


292. දේදුණු ඔසුව




ලදළු උඩ පැන පැන නටනකොට

අකුණු එලි සැණකෙලි ඇඳෙනකොට

ඉල්මහේ හීතලම සුලඟට මුසුව


කුඩා කෙල්ලක් වගේ හිනැහෙමි

හිරිකඩේ තෙමි තෙමී ඇවිදිමි

හිතම හේදූ වැහි ඇල්ලකට පසුව


රිදෙන තැන් සැතකින් පලා වුව

නිවෙන ඔසු ඒ මතින් ගැල්වුව

විරහ වික්ෂෝපයේ ලතැවුල් නැසුව


අළු වළාකුළු අරන් ආවත්

අත නොහැර ලඟ රැඳෙමි ආයෙත්

ඔබම පමණයි මගේ දේදුණු ඔසුව 

291. සමුගනිමි

සන්තානයම අන්ධකාර සළු අඳිනකොට

මග කියන දකුණු තරුවක් වුනෙමි.

සන්තාප හංගාන සන්තෝෂයම වැයූ

සංගීත සංධ්වනියක් වුනෙමි.


ඒ වුනත් 

සංවේදනා හිරිවැටෙනු දුටිමි

සංසාරයම අහිමි කරනයුරු දැක ගතිමි...


සංග්‍රාම සටන් අනවැසි බැවිනි,

සංවේගයෙන් වුවද 

මහද ගලවා වීසිකර දමා

සබඳ මම හිස නමා

සමුගනිමි.



290. මෝටර්සයිකල් ඩයරීස්



අගනගරයක හදවතේ මැද්දෑවෙ

ඒසී හුලං වදින කෝපිහලකදි, හැන්දෑවෙ

බ්ලූබෙරි චීස්කේක් කන අපි දිහා බලාගෙන

බිත්තියේ පින්තූර රාමුවක එල්ලිලා ඉන්නකම්

චේ ගුවේරා, හරිම සෙක්සි!


අලස සති අන්තයක, උදෑසන

සුවපහසු මෙට්ටයක වැතිරගෙන - බ්ලැන්කට් පොරවගෙන

තුරුල් වී පෙරලද්දි පිටුවෙන් පිටුව

"වානේ පන්නරය ලැබූ හැටි"

ඔව්, රොමැන්ටික් තමයි

පාව්කාගෙයි තෝන්‍යාගෙයි ආදරේ


ආකාස පියස්සක - පබ් එකක

නියොන් ආලෝක දහරා - විසිර යද්දී  ගලගලා,

ලෝන්ග්-අයිලන්ඩ් අයිස් ටී තොල ගගා,

අහගෙන ඉද්දි අති සුන්දරයි,

"මෝටර්සයිකල් ඩයරීස්" මූවි එකේ අර මෙලඩිය; චිචීනා


ඒ වුනත්,

කොළඹ මහපාරවල්,

රස්නෙයි - මහන්සියි - දාඩියයි - දූවිල්ලයි.


චිචීනාගෙ බොර ඇස්වල කඳුළුයි,

පාව්කාගේ දැලි වැකුණු මූණයි,

අර්නස්ටෝගෙ රතු ලේ යි,

මතක් වෙන - මතක් වෙන - මතක් වෙන 

වාරයක් ගානේ....


මගේ හිතුවක්කාර උකුස්සෝ,

මට 

ඇත්තටම 

බයයි!





289.

අත අත නෑර යන්නට බැරි බව දනිමී

නෙත තෙත ලකුණු රතැඟිලි තුඩගින් මකමී

හිත හිත මත තියා තරු සලකුණු බලමී

හිතවත, සමු ගනිමි - එතකුදු සමු නොදෙමී