අපි,
හරිහමන් රෝග නිර්ණයක් නැති,
ලෙඩ වුන අය.
ඔක්සිජන් ටැංකියකට පුරවපු මීම්ස්,
යන යන තැන පිටේ එල්ලන් යන අය,
කම්මුල් නිල්පාට ගැහෙනකොට,
එයින් දෙකතුනක් උඩට ඇද ඇද හිනාවෙන අය,
"Fault in our stars" පොතයි - හයිලයිටරේකුයි,
බෑග් එකේ ඔබාගෙන කැෆේ එකකට යන අය,
ෆ්‍රැප් බිබී පෙනහළු හීතල කරගෙන,
කැහැ කැහැ කොෆීකේක් කන,
අපි;
ලෙඩ වුන අය,
උණුහුම් ඩයලොග්ස් කහපාට කර කර,
තනියෙන්ම අත්බේත් කරගන්න අය.
ඉන්ටසිටි බස්වල - කෝච්චිවල - ඌබර්වල යනකොට,
වීදුරු කවුළුවෙන් පාරට පනින අය,
මහත සුදු වළාකුළු දෙකතුනක් අල්ලලා,
ස්මෘති රිදී නූලකින් ගැටගහලා අල්ලගන්න අපි,
ටිකක් විතර දරුණු අය,
වළාකුළු බිම දිගේ ඇදගෙන යන අය.
නියපොතුවල නියොන් පාට ගාලා,
කාමර ඇතුලෙ ක්‍රිස්මස් ලයිට් එල්ලලා,
පාන්දර දෙකහමාරට සෝෂල්මීඩියා එන අය,
ඉපැරැණි පෙමක කල්වාරි තරණය කරලා,
වියෝ ගීතිකාවක් ගැයෙද්දී කුරුසියේ එල්ලෙන අය.
ආයා කට්ටකින් ඇඟිල්ලට ඇනගෙන,
රිදෙනවද, අඩුගානෙ දැනෙනවද බලන අය,
තුවාල වෙච්ච පපු මැද්දෙ,
සූරියකාන්තා මල් වවන අය.
කිරිගරුඬ වගේ පෙනුනට,
හිරුකිණිති වගේ දැනුනට
මධු බඳුන් කියා හිතුනට,
අපි;
ලෙඩ වුන අය!
No comments:
Post a Comment