Wednesday, June 3, 2015

57. ෂාරොන්හි සෙව්වන්දියට, අහස් පෙම්වතා කී කව

බූන්දියේ සබැඳිය






පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි

පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි

සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි

ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි

"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.



No comments:

Post a Comment