එන්න, මේ අත ගන්න -
මෙන්න මගෙ උකුලත; ඔබේ වළාකුළු යහන,
විඩාබර හිස මෙතැන ඔබාගෙන නවතින්න,
කුඩා දරුවෙක් වගේ සැඟවෙන්න...
මෙරු වගේ ඇහිරෙද්දි හිතේ සංකා අහුරු,
තරු දෑස් දල්වලා, සැනසිල්ල අතුරන්න ඉඩදෙන්න
ඔබේ කෙහෙ රැලි අතර මගෙ ඇඟිලිතුඩුවලින්,
පියානෝ වැයෙනතර - සොප්‍රානෝ ගැයෙනතර,
ආකාස තොටිල්ලේ ඇලවෙන්න -
කුඩා දරුවෙක් වගේ නැලවෙන්න...
සංතාප අංශුවක් තවම හදවතේ කෙවෙනවා නම්,
සල්ලාප සන්ධ්‍යාව අරඹන්න - කරවටේ අතලන්න
සංවේගයෙන් සැලී, පිරූ මධු ඔඩම් බිම හැලේ නම්,
මගෙ ලමැද කිරි සයුර මැද්දෑවෙ ගිලිගිලී -
දොම්නස දොවාලන්න -
කුඩා දරුවෙක් වගේ සැනසෙන්න...
"සසර සැරිසරන තෙක් - ඔබ මගේ - ඔබ මගේ"
මේ වචන පේලියයි - ඒ ගයන මගේ රළු කටහඬයි,
හද බිතෙහි හරි මැදින් අලවන්න -
ලෝකයම අප අතැර අනවරත දිවිල්ලක ගියාදෙන්,
එන්න මගෙ තුරුල්ලේ සැඟවෙන්න -
ආකාස තොටිල්ලේ නවතින්න...
No comments:
Post a Comment