Monday, June 29, 2015
64. ඒ සා විසල් වරදක් ද?
"එපාමලු මූණ බලන්න ආයෙම!"
ඒ සා විසල් වරදක් ද
හදේ ගැඹුරෙහි මල් පිපෙන එක.
නොදැනීම රොන් සුණු පවනෙ විසිරෙන එක.
දඟ කොණ්ඩා කරල් දෙක
ඉඟටියේ වැදෙන'යුරු දකින එක
හැඩ දෙබැම අඹරවා හකුලන
ඒ සා විසල් වරදක් ද
කුඩා කවියක් ගෙතෙන එක
ඇගේ නම එහි වචනතර රැඳවෙන එක
ඒ සා විසල් වරදක් ද
තත්පරේකින් පංගුවක් තුල
කරදාසියක් කීතු වෙන
ඉවසයිද සෙව්වන්දියක් වුව
තාර පාරකට අතහරින එක
සුදෝ සුදුවට දිලුනත්
බාලිකා සපත්තුවකට පෑගිලා පොඩිවෙන එක
නුහුරු පා පහරකින්
කාණු ගැට්ටකට විසිවෙන එක
නොදැක ඉන්නම බැරිවිට
ඇස් මානෙකදි හැරෙන්නෙ කොහොම වෙනතක
"එපාමලු මූණ බලන්න ආයෙම"
එහෙනම් එකම විසඳුම
ඇස් පියාගෙන ඉන්න එක
පඳුරු නාශක දියරයක කිමිදෙන එක
62. සරත් රැය
Summer night
even the stars
are whispering to each other.
- Isaa -
තාරුකා පවා
රහස් මුමුණන
සරත් රැය
~ බස්සි ~
Friday, June 26, 2015
61. මේ ලෝකෙ අමාරුම රස්සාව
'නුවර කුමාරි' බ්ලොග් අඩවියේ උපේක්ෂා ලියූ "නඩුව" කවියට පිළිතුරකි
මං කියන්නේ ළමයෝ!
මේ ලෝකෙ අමාරුම රස්සාව,
වැහි වළාවක් වෙන එක.
තුනී විසිරුණු කැටිති අතරින්
උදා හිරු දිය පෙරා දෙන එක,
ඉහේ හිට පොරවා නිදන්නට
හඬාගෙන බිම ඇදහැලෙන එක,
අසිරි මල් වරුසා ඉහින එක,
සීරුවට තුරු පත් පිහින එක....
පෙනෙන නොපෙනෙන සේද මිම්මට
සඳට සළුවක් වියන්නට ඇති,
උණ හැදුනු තරු පැටව් වට කොට
පිණි මුවාවක් තනන්නට ඇති....
රෑට ඕ.ටී. – දවාලෙත් වැඩ,
මහන්සියි ළමයෝ ඉතින් මට,
කෝපි දුම වැදෙනා ඇසිල්ලක,
වළා කැටි සිහිනෙකට පා විය.
ඔය ළමය ලේසියට අවනඩු කිව්වට,
මේ ලෝකෙ අමාරුම රස්සාව,
වැහි වළාවක් වෙන එක!
Thursday, June 25, 2015
60. උසස් විද්‍යාලයේ ප්‍රේමය
රතු හදැති ගැටවර රොබින් තෙම
කෙලින් කර අඩසඳ කපාටය
අනවසර කැදැල්ලක් තනන්නේ
හිස මදක් වම් පසට ඇලකර
අකුණු සැර තනුවක්ය ගයන්නේ
ගී හඬට උඩ පනින – කුඩා රතු රුධිරාණු
නියුට්‍රොෆිල කොල්ලෙකුට ඇස් වසා ඉඟිපානු
පට්ටිකා පැටවුන්ට නොපෙනෙන්න – හොරෙන් මෙන්
හිපොප් තාලෙකට හිස සලයි මහ භක්ෂාණු
බරැති කොණ්ඩා කරල් සුළඟෙහි පාකර
රතු රිබන් තටු විදා ඉගිලෙන්නට හැර
රොබින් තම නෙත් යුග සිහින් කර
පුළුන් කැටියක සැහැල්ලුව දෙන
සියක් අත්තටු පොත් මල්ල උඩ අමුණන
කාබනික රසායන සටහන් අතර
කුඩා හදවත් ලකුණු පිරී ඇත
බෙන්සීන් හාදු දෙයි ෆීනෝල් දැරියකට
මේ රෝස සුවඳක් ගෙනාවේ එස්ටර ද?
ඉතින් මම ගණනය කරන්නෙමි
රතු රොබින්ගේ පියාසැරියෙහි ත්වරණය,
හාදුවක් කියන්නේ ප්‍රත්‍යස්ත ගැටුමක්ද?
කොපමණද දුස්ස්‍රාවිතාවය සිහින දියරෙක?
Wednesday, June 24, 2015
59. යහළුවෙකු අවැසිමය
The SAHAN බ්ලොග් අඩවියේ පලවූ "යෙහෙලියක් නම් සිටිය යුතුමය" කවියට පිලිතුරකි.
නොහිතනම වෙලාවක තුනී පාලුව මැදින්
හොලොග්‍රෑමයක් වගේ මතුවෙන
“ආ මචං කොහොමදැ’යි” විමසන
පිටට පහරක් ගසා,
වැරෙන් කණ මිරිකන,
යහළුවෙක් අවැසිමය,
රළු පරළු සෙනෙහසක් විඳගන්න.
සිසිලනය කල කොමල ලීලා,
හිමකිරම වැනි දියවෙවී ගලන ඉමිහිරි වචන,
හදවතම ශීතනය කල විට,
මිරිස් වැඩි අච්චාරුවක් මෙන් දැනෙන,
මද්දහන් ඉර වගේ රැස් ඇති,
යහළුවෙක් අවැසිමය,
අයිස් යුගයට වසන්තය ගෙන එන්න.
තනි රැයක හොල්මන් කතා බලෙන් අහුරන,
"මොට්ට මෝඩි'යි" බැන බැන තනි රකින,
ලෙක්චර්ස්, කුප්පි අවසන,
කලුවරේ බෝඩිමට ඇරලන,
ඒ හිලව්වට පිඟානෙන් වඩයක් දෙකක් උස්සන,
යහළුවෙකු අවැසිමය,
කෙලිලෝල වර්ණ හද තවරන්න.
සුළි කුණාටුවක් තරමට කලබල
රැලි නගන මූද වාගෙම දල
සැලෙන දල්ලක් වගේ සමහරවිට සසල
යහළුවෙකු අවැසිමය
හැමදාම, හැමවිටම, හැමතැනම.
~~~~~~~~~
Wednesday, June 3, 2015
58. හැබැහින් එන්න බැරි ඒකය
සිහින ඇතුලට නිතර හිස පොවමි.
දිවා සිහිනෙක රෝස පැහැයෙන් මත්වෙමි.
දිගැටි ඇහි දාර අග සරන්නෙමි.
බුහුටි අතැඟිලි අතර වෙලෙන්නෙමි.
අත්ල හොඳටෝම සීතලය
හැබැහින් එන්න බැරි ඒකය.
නොලියු කවි වැඩියෙන් රස ය.
ඇල්පෙනෙති තුඩුද මල් පුබුදා ය.
57. ෂාරොන්හි සෙව්වන්දියට, අහස් පෙම්වතා කී කව
බූන්දියේ සබැඳිය
පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි
පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි
සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි
ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි
"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.
පෙනෙන නොපෙනෙන දුරින්
ඒත් හොඳටම ළඟින්
ඔබ වටා නීල පවුරක් බඳිමි
දිවා කල හිරු දියර
පෙරා සිහිලැල් කරන
වළාකැටියෙන් රිදී තිර අදිමි
පළොල් පැහැ කොපුල් පෙති
විසිර යන හිත නිවයි
තනුක කර රුහිරු බිඳු
වළා මත ඉහිරවමි
ඔබේ පැහැයම ගැවසි
සැඳෑ ස්වප්නෙක ගිලෙමි
සහස් ගව් දුර පැතිරි
සිහිලැල් වු සුවඳක් ය
බිළිඳු හසරැලි තරම්
ඒ සුවඳ පිවිතුරු ය
නෙත් පියා ගැඹුරටම කිමිදෙමි
මත් බවින් මෙන් සිත් රැහැන් බිඳ
රත් දෙතොල් සිපගනිමි
ලා සඳේ දාරයක්
පිණි දියෙන් දියකරන්
ශ්‍යාම කැන්වසය මත තරු අඳිමි
සිහින් වැහි පොදක් ඉස
දූලි සුනු පිසහරිමි
"ආදරෙද මට?" නො අසමි
ආදරේ බැව් නොකියමි
විසල් අහසක් හදවත'වු කල
වදන්වල ක්ෂුද්‍ර බව නැවත නැවතත් අත් දකිමි.
Subscribe to:
Posts (Atom)