Thursday, January 7, 2016

188, ආදරේකට තියෙනවා එක එක සුවඳ!

THE SAHANට ලියූ පිළිතුරු කවකි.



නීරස උදෑසන දෙසුමක
දෙනෙතගින් වෑහෙද්දි නිදිමත
අත කොනිත්තා මිටිකල
පෙපර්මින්ට් පෙත්තක සුවඳ

යකඩ අසු ගිලන් වුන
කර්කශම මද්දහනක
දෙඅත් පටලා, ඇස් සිහින් කල
පැට්‍රෝල් දියරෙක සුවඳ

අලස හැන්දෑවක, සරසවි උයනක,
හිස ඔබා ලමැදට,
ආදරේ මුමුණනාත'ර හැමූ
අළුත කැපු තණකොල සුවඳ

එක්සෙල් ෆයිල් අතර දියවෙන මැදියමක,
රළු අතින් හිස සෙමින් පිරිමැද
"නිදිමරන්නෙපා ඔය තරම්" කී
උණු කෝපි බඳුනක සුවඳ

ඔව් මිතුර,
ඔබ කියූ විදියටම,
ආදරේකට තියෙනවා
එක එක සුවඳ!


187. පායන්නෙ මං කවදාද?

තරුණයා පුවත්පත
2016 - ජනවාරි



186. සමකයට හිම රටෙන් කොටහක් එවා ඇත!




රිදී පැහැ පෙට්ටියක
ලා රෝස හැඩ ලියුම් කවරෙක
පරෙස්සම් අතකින් බහා
සමකයට හිම රටෙන් කොටහක් එවා ඇත!

ලැවැන්දර කියන්නෙත්
සැවැන්දර වගේමය
ආදරේ ගුලිගැහී නිදියන්නෙ
හදවතේ ඉසියුම්ම තැන්වලය

දැන් ඉතින් ඕතමය කියන්නෙම
නේක පැහැ මේපල් ය
ඕතම් සුවඳ කියා දැනෙන්නෙම
ආදරෙන් බරවෙච්ච මහනෙල් ය...


185. රැය දිගු ඇයි දුරුත්තේ?



දිගු රැය මැද දුරුත්තේ
හදිසියෙන් අවදි වෙමි
සිපුම් පහරක කැළැල් මත්තේ
සඳුන්, කෝමාරිකා තවරමි

කදෝකිමි එළි කිණිත්තේ
තරු ඇස් දිලෙනයුරු දකිමි
විදා අත් තදකර පියා නෙත්
ස්නේහයෙන් ඉකියක් වැළැඳගමි

රෑහි අඬ නොමැත්තේ
පාළුවෙන් මියැදීද විමසමි
පිණි තුල සිරව ඇත්තේ
බිඳුන පැතුමකි - කැබැලි අහුලමි

සෙල්මුව හදැත්තේ
ඉතින් යලි හමුවේද නොදනිමි
රැය දිගු ඇයි දුරුත්තේ
ඇසෙන නෑසෙන හඬින් මුමුණමි


184. අත් බැඳුම් අත් හරිනු පිණිසය



ප්‍රේමයෙහි පැවතීම
අත් බැඳුම් අත් හරිනු පිණිසය

සරා ගව් සියක් දුර
දරා හද අගුළු බර
විරාගික මදහසක
කිමිදෙමින් සැනහීම පිණිසය

ප්‍රේමයයි කියන්නෙම
ඉමක් නැති නිල් අහසය
නිල් දියෙන් ඉතිරිච්ච
නමක් නැති දුල් දෙනෙතය


183. රතු හිස්වැසුම් හිතට හිම කැටි නංවයි




"නත්තල් සේල් වාසී!"
පාට පත්තිරු අතේ හැප්පෙයි,
රතු හිස්වැසුම ගැස්සෙයි,
විඩාපත් බොර පැහැති දෙනෙතකි,
හිත තිගැස්සෙයි!

"ටිකට් දෙක පන්සීයයි"
සුදු අත්වැසුම් හිතට හිම කැටි නංවයි,
රතු හිස්වැසුම ගැස්සෙයි,
ඩා බිඳිති පිරි තලෙළු නළලකි,
හිත තිගැස්සෙයි!

"අදත් බස් එක මිස් වෙයි"
සුපර් මාර්කට් බිලක් හෙමිහිට කොඳුරයි,
රතු හිස්වැසුම 'තැන්ක් යූ' සරින් නැවෙයි,
සිලි මළුවලට බඩු අහුරයි,
නොරිස්සුම තැවරුණ සිනාවකි,
හිත තිගැස්සෙයි!

"දෙකක් ගත්තොත් එකක් නොමිලේ!"
පේව්මන්ටුව දෙදරයි,
නූල් අග රතු හිස්වැසුම් සුලි කැරකෙයි...

"ඔබ ඉන්නවා මට පේනවා ජේසූ!"
කැරොල් ගීයක් රැව්දෙයි,
විඩාබර නෙත් වමට - දකුණට පෙරළෙයි,
රතු හිස්වැසුම් පමණක්,
දෙසැම්බර් සුළං වැද පැද්දෙයි...

නිර්වින්දිතවු හද,
යළි නොම තිගැස්සෙයි!


182. පිරිත් පැන්




රෑසියන්
වයත් වෙණ
පිරිත් පැන් මෙනි
පිනත් මන




181.



දැල්වීමකි 
නිවීමම


පහන් දන්නේ මොනවද?


180. වයමි ඉසියුම් මතක ස්වර




රැයෙහි ඝනඳුර එකලු කර
සඳ කිණිත්තක් නැගෙන'යුර

අහඹු කඳුළක් වැටෙන'තර
මැතිරෙනා මුත් පෙම් සුතුර

කුහුඹු පා සටහනක් හැර
නොමැති සැමරුම් ශේෂ කර

හදෙහි වෙණ තත් සුසර කර
වයමි ඉසියුම් මතක ස්වර


Thursday, December 24, 2015

179. ඉල් හඳ



ඉල් හඳ
වැහි බිඳක දියවෙවී
කම්මුල දිගේ බේරෙයි
රන්පාට

'පෝයකට විතරමයි
මතක් වෙන්නේ මාව.
වැලි මාලිගාවෙ ඉහලින්
පායන්නෙ මං කවදාද?
වැලි ඉහිරිලා හීනවල
ඇස් කෙවෙනවා හැම රෑම.'

ගංගාරාමෙ,
වෙනදාට වැඩියෙන් පින්පාට,
දියවෙච්ච එක හොඳයි,
වැඩිපුර උලපු රන්පාට,
මගේ ඉල් හඳ,
දැන් හරිම සන්සුන්පාට.
ඇස් කෙවෙනි යාන්තං,
රතුපාට...

හඳ සිටිය යුතු අහසක!
වෙනස් වෙන'තර,
කලාවෙන් කලාවට - ලතාවට,
කියාගන්නට බැරුවට, මට...

ගෙදර යන අතරමග,
හිතපුරා වැළඳ සිපගමි,
මගේ හඳ...
වැහි ඇල්ලකින් නෑවේ,
ඇතුලු හද!


Wednesday, December 9, 2015

178. සිහින ඔත්තු!



දිනමිණ - ලිවිසැරිය - 2015/12/09


මවුබිම - යං අතිරේකය - 2015/12/08

අද - 2015/12/07


රාවය - 2015/12/06

ලක්බිම - ප්‍රතිභා - 2015/12/03

බූන්දි - සූකිරි ඔත්තු




177. හයිරංකාරයෙක් ආදරය



රතු ස්කාෆයක් නළල හරහට
'හිතුමතේ ජීවිතේ' ටැටූවක් පපුව මැද
කොටි හපුවෙක් දකුණු උරහිස උඩ
තියුණු රදනක දත් විලිස්සන
නිවුණු බාලිකා හිත කිවිස්සන

උඩු රැවුල යන්තමට කරකවා
ඇයි නංකී අපි කළුද අහන
කිණිසි තුඩකින් හිතට ඇන ඇන
සිනමාහලේ අඳුර අතරින්
ආදර හාදුවක් ලයිව් පෙන්වන

හයිරංකාරයෙක් ආදරය
දණිහෙන් ඇන දොරගුළු කඩාදමන
ප්‍රපාතයකින් පහළට තල්ලු කර 
කොස්සන් හිනා දෙන
රොමැන්තික සුළං පිඹ පිඹ
බිම හැපී මැරෙන හැටි අමතක කරවන


Monday, December 7, 2015

176. ලුමිනස් පාට




මම හදන්නෙම අහක බලන්න
ඔයා එන්නෙම ඇහේ ඇමිණෙන්න
ඇත්තමයි මදාරා,
මේ අඳුරු කන්තෝරුවට
ලා දළු පාට අත්බෑගයක් ගෙනාවේ මොකටද?

කවුළුවෙන් එපිට ඉල් වැහි,
කවුළුවෙන් මෙපිට ලේ මිදෙන ඒ.සී. හීතල,
උණුවතුර බෝතලය පවා ලුමිනස් පාට,
මා ඉතා අසරණ කර
ඔබේ අත්බෑගයේ පැහැ ගෙන
ලදල්ලක් විලස සැලි සැලී යන්නේ හදවත

ඇස් උපන්නෙම අහක බලන්න
ලුමිනස් පාට තියෙන්නෙ 
ඇස්වල ඇමිණෙන්න.

අවුකණ්නාඩි මහ දඩබ්බර
හිමායනය වෙන හිත උඩට
අවුරැල්ලක් අරන් ඔයා පායනකොට
මට කියන්න මදාරා,
අවුකණ්නාඩි කරන්නෙම හතුරුකම් නේද?

මං ඔළුව ගිනි අරං දඟලන්නෙ
වාර්තා ටික ඉවර කරගන්න
හෙට අනිද්දා දෙදවසට විතරක්
පරණ අත්බෑගයම අරගෙන එන්න


175. සහෝදරවරුනි!




සහෝදරවරුනි
සටන් පිණිසම පවතින්න
රතු ලෙයින් වටරටුම සෝදාහරින්න
වෙඩි උණ්ඩ ගිලගෙන 
මැස්සො මදුරුවො වගේ
මැරෙන්න!!

අපිට පුළුවනි
කාව්‍යක්කාර පැවරුම් නිසිකලට නිම කරගන්න
කාකයන් මෙන් කැරකි කැරකී
මස් වැදලි අහුලාගන්න
තියුණු සැතකින් කපා විමසා
ලේ රතට කවි පබඳින්න

සහෝදරවරුනි!
වත්පොතට කට බලියාන ඉන්නෙ නැතුව
ගිහිං සටන් වදින්න.


Wednesday, December 2, 2015

174. ජන්මෙට වඩා පුරුද්ද ලොකු !




ගොනුන්ය, මිණි නොබැඳි
ඒ නමය පාර හරහට
හරහට!

සමාවෙන්න මහත්තයා
හෝන් හඬ හීන් මිමිණිල්ලක් වැනි
කීන් ගා සවන නොරැඳී නික්මිණි

අඩුම තරමේ පුස්වෙඩිලිවත්
හෝන් වෙනුවට පුපුරවන්නට බැරුවද?
ගොනෙකුට උනත්
ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව
හිතුනේම නැතුවද?