මා ඔබේ උරහිසේ හිස තියා නිදනත'ර
මාවුලාවේ කොනක, චෙරි-රතැති තොල් සලකුණක් තියමි
අලුත් ලිප්ස්ටික් කූර, නානකාමරේ "අමතක" කරමි
"Oh shit! I ll quickly drop by" ලියා එවීමෙන්
අනවසර හාදුවක් සොරාගමි
මගේ ප්‍රියතම බේබි-පින්ක් පැහැ ජර්නලය
ඔබේ වැඩ මේසයේ තියා යමි
ගෙල පාමුලේ සිහින් සීරුම් දෙකක් රැගෙන
සෝෆාව මත මගේ උදර මුදුවක් "නොදැන" දමා යමි
කුසේ සමනල්ලු අහිනක් පියෑඹුව දිනෙක
හිසේ රැඳවූ රිදී දමක් ඔබෙ පොතක් මත හලා යමි
ගීතයක් වගේ දෙතොලතර මිමිණෙන ඇබිති මතකයක්
මීවිතක් වගේ සනහස වඩන සිඟිති මොහොතක් දෙකක්
යලිත් දවසක ඔබෙන් - සොරා ගන්නා රිසින්
අදත් "අතපසුව" තව කුමක් හෝ
ඔබේ ලඟ තියා එමි
නමුත් ඔය කිසිත් අමතක නැතිව,
කොපුල් අග ඇඹුල් වැහි බිඳු ඇතිව,
මිහිදුමේ මා සැඟව යන දිනක් පැමිණියොත්
හිතවත
අන්න ඒ වතාවේ, ඔබේ ලඟ දමා යන්නේ මගේ
හදවත!
