Thursday, August 18, 2022

288. තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන

 



මුදා හැර කෙස්ස මුදු මද පවනට

විදා ගමි දෙ’අත් ඉහලට ඉහලට

පිපී එන්නෙය නැවුම් බිම්මල්

ලා තණ පලස මත්තේ


ඉගිල්ලෙන්නයි උවමනා මට

තෙතක් තැවරුන වලා පෙති මැද

සරනවිට ඔබමොබ

තිතක් තරමට කුඩාවට දැකගන්න ඔබ


යදම් නැත – තහනම් නැත

කුඩා කවුළුවකින් ගලන සඳරැස් දැක

හඬ වැලපෙන්නත් නැත

කිදී කිමිදී විඳින්නට නිදහසේ මී විත

රිදී තිරපටකිනුදු අවහිරයක් නැත


පියාපතකින් සැහැල්ලුව ගෙන

වියා සකසුරුවමට ස්නේහයක් 

මකුළු හුයකින් වගේ වෙලා ඇත


පෙමක් හදවතක ඉපදවෙන තැන

සිඳුත් සුදු සඳුත් මුණගැහෙන තැන

විලංගුත් නැතිව හිර කෙරුන තැන

තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන

287. ඔංචිල්ලානු රසායන




ඔංචිල්ලානු රසායන

රිදී ඉසකේ තද නිලෙන් පැහැ ගන්වන

දෙකම්මුල් රැලි අතුරුදන් කර

සිනා වත්සුණු ගල්වන


ඔංචිල්ලානු රසායන

සීත සෘතුවේ මලානික සැන්දෑවක

වසත් හිරු අහසට වඩම්මන

හිසත් දෙපයත් උණු රන් දියෙන් නහවන


ඔංචිල්ලානු රසායන

පත අට එකට හින්දා

පිරවු ඔසු ඔරුවේ - ශනිදා උදා වරුවේ,

විධායක අය විඩා දියකල යුතු වන


කුඩා පිම්මක් දෙපිම්මක් පැන

කුඩාවකුගේ සැහැල්ලුව ගෙන

කුඩා සතියක් ගෙවා ගන්නට තල්ලුවක් දෙන;


ඔංචිල්ලානු රසායන

පැනඩෝල් වෙනුවට ගිලින්නට

හරියටම

හරියටම

හරි යන !

286. පැල්ලම

 



ගුරු පාරෙ ක්‍රිකට් සෙල්ලම් කරපු

ගුරු පාට හැන්දෑවක

ගුරු දූලි වැකුණු කෙටි කලිසමේ

මුල්වරට ඇඳුන රතු පැල්ලම


ඉස්කෝලෙ ඇරී එන බස්සෙකේ

හිස් සීට් තියෙද්දිත් හිටගෙනම එන තරම්

නිස්කාරණේ බය කලා හැම පොඩි කෙල්ලම


වසත් මල් උයන්වල සරද්දී

දෙතොල් මත සිහින් කටු ඇනෙද්දී

දිනක්, දින දෙක තුනක් පමා වී

හිතේ හීගඩු නැගූ පැල්ලම


සඳෙන් මධු ගලා යන මැදියමක

බිඟුන් හදවතේ ගුම් දෙන දිනෙක

රතු රෝස පෙතිවලට මුසුවුණු පැල්ලම


නවමසක නැවතුමක් පතාගෙන

නොදකින්න හිතූ රතු පැල්ලම

සමාවක් නොදී කුස කලඹවා

පමාවක සලකුණක්වත් නැතිව

නොවැරදී ඇවිත් යයි පැල්ලම


සත් වසක් ඉහේ ගිනි ඇවිලෙව්ව

හිත් පුරා ලොවි කහට ඉහිරෙව්ව

ජීවිතේ දුක් අඳුරු පල්ලම,

බොඳ නෙතින් බැහැර කර

පද්මරාගයක් මෙන්

හද පුරා වැළඳගමි පැල්ලම.


කුඩා තරු වළල්ලක් තමයි ඔය හැම කෙල්ලම!


Tuesday, August 16, 2022

285. සන්තෝස දූව

 

Drawing by Kaveen Manishka Kariyawasam


සිපුම් පහරක් මැදදි කොපුල් මත ඇදහැලෙන

කෙහෙ කැරලි නීල තුරු වියනයි

දිගු දෙනෙත් අගින් එකවර සැණෙලි නැගෙන්නේ

උණුහුමේ උදාහිරු කිරණයි


සිඟිති පා සලා ගේ පුරා පෙරලෙන දඟය

සරත් වනරොදක සරසරයයි

සියක් කිංකිණි සරින් සැලෙන සුරතල් තෙපුල්

එහි වැයෙන කුරුළු කූජනයයි


කිරි සුවඳ විහිදුවන පුංචි ආදර පොදිය

සඳ සිසිල හදවතට ගෙන්නයි

ඇඟිල්ලක වෙලෙන මුදු මොළොක් අත්ලක පහස

උඳුපියලියක නිදන පින්නයි


දෙපා අතරේ එතී ගුම් නගන ලොම් කැටිය

වෙරළතක බිඳෙන සිඳු රැල්ලයි

පුළුන් කොට්ටා තියා උරහිසට පනින්නේ 

කෙලිකවටකමේ දිය ඇල්ලයි

 

ප්‍රේමයේ තුංග කඳු පවුරයි

ප්‍රීතියේ නැවුම් දිය ඌලයි

සංචරණ සීමාවලට හසු නොවෙන

සංතාපයන් අතුරුදන් කෙරෙන

සන්තෝස දූව මේ මෙතැනයි.....


284. බදාදා




බදාදා

හරි මැදින් ඉරි ගසා දවස් හත වෙන් කරන

ඒ හපන්කම් අගයා

රන් පදක්කම් පැළඳෙන

හදිස්සියකට නිවාඩුවකුත් නැතිවෙන


සිකුරාදාට දුර බව මතක් කරදෙන

සඳුදාව ගෙවුනා විතර බව කියා දත නියවන

කාරෙකේ බැටරි බස්සවා එකතැන නතරකර

ටැක්සිත් අතුරුදන් කරවන


හයිලෙවල් පාර උඩ

පෙට්ටි වාහන අට්ටි තිය තිය රැස්කරන

"ගිහිං පෙන්නපං දැං" කියකිය

කින්ඩියට හිනාවෙන

ඔන්න ඔය පේනවද?

නරි දත් දෙකක් මැද්දෙන්

මේ දැනුත් විරිත්තන


283. Alzheimer's

Alzheimer's disease causes brain cells to die. Starting with difficulty in remembering recent events, it  eventually leads to severe memory impairment.

_______________________________________________


මගේ උද්‍යානයට අපලයි •


දශක දෙක තුනක් දෝතින්ම පිබිදවූ මල්,

පෙත්තෙන් පෙත්ත,

පෙත්තෙන් පෙත්ත,

ගිලිහෙයි •


වියැකී ගියෙන් සකුණ පියපත්,

තුරු අත් අගිස්සේ - ගිම්හාන කුටියේ පියස්සේ

කූජන නඟන සුදු ඇටසැකිලි සුලබයි •

මලසොහොන් පාළුවක් පමණක්,

මා වසාගෙන,

   වසාගෙන,

වැතිරෙයි •


මැකී ඇති හෙයින් පැන්සල් දාර,

අපිලිවෙල සායම් පදාසයක්,

ශාරදාකාශයෙන් වැගිරෙයි •


සදාකාලික සිසිර තුහිනෙක,

මා ගිලී යන නොබෝ දිනයෙක,

මතක දැ'යි නො අසා, කොපුල් මත - 

ඔබේ සුස්මක් තැවරීම,

ඇස් දෙකේ හුරුපුරුදු දිස්නය, ඇවිලවෙන කෙටි නිමේෂයකදි - 

සැනසීම,

ඒ නැතොත් හිම මුහුණ ඉවසීම,

සුහද, ඔබ හට බාරයි!


282. අදින් ඉවරයි මේ අපායේ ඉන්ටවල්!




පපරෙ සංගීත නිහඬ විය හිතවත

තිගැස්මෙන් ඇලලීගියා 'කානිවල්' 

පේනවද පිපිරුණ මල්වෙඩිල්ලක රත

මග දිගට විසුරවා රෝස මල්

අදින් ඉවරයි මේ අපායේ ඉන්ටවල්!


ආලින්දයේ කිරි උතුරවා

මුළුතැන්ගේ කිරිබත පිසෙන අතරේ

සතුටු සල්ලාපයකට ද උන් වීදි මැද්දට ඇදුනේ?

රතිඤ්ඤා හඬ ඇසී උඩ පිනූ කලබලයෙන්

පය ගැටී රතු වයින් ඔඩමක්ද ඒ බිම හැලුනේ?

කියනවද මට

රතු වයින් නොවෙද ඒ වීදිය සිසාරා ගැලුවේ?


ගෙදර උළුවස්ස ලඟ මගබලන පැටියෙක්ට

තාත්තෙක් ගෙනා රතු බූන්දි ද ඒ අතරමග හැලුනේ?

අයියෙක් අරන් ආව ෆලූඩා අයිස් පලමක් ද

දිය වෙලා රතු බිංදු පාරට වැටුනේ?


පපරෙ සංගීතෙ යලි නෑසේවි හිතවත

පේනවද පෙති හැලී පෑගෙන රෝසමල්

බක්මහේ මල් වෙඩිලි තව අහවර නැත

නැවතුන තැනින් ආයෙම පටන්ගමු කානිවල්


ප්ලීස්,

අදින් ඉවරයි මේ අපායේ ඉන්ටවල්!

281. අම්මලා වීදියට පැමිණ ඇත! | 2022 - April

 ඉස්සරම කට්ට කළුවර රෑට

තරු නෙතින් තරු රටා උරා බිව්

කුඩා දැරිවිය මෙතැන අද නැත


බැල්කනිය දිග ක්‍රිස්මස් ලයිට් දැල්වූ

ඉටිපහන් එළි බීර බඳුනක ගිල්වූ

පෙම්වතිය තරුණියද මෙහි නැත


මෙතන මේ දැවෙන්නේ අම්මෙක් ය!


ළදරු කිරිපිටි හොයා කඩවල් පීරන

ළදරු වැක්සින් හිඟකමින් හද සීරුන

කළුවරේ ළදරු ඇඬුමෙන් සවන් පෑරුන

හෙටක් ගැන හිතන ගානේ පපුව හෑරුන

මෙතන මේ දැවෙන්නේ අම්මෙක් ය!


තරු රටා විඳින, සෙවණැලි රූප අඳින කෙල්ලන් තව නැත.

ඉටිපහන් දැල්ලකින් හදවත ඇවිළුන

ඒ ගින්දරෙන් දෙනෙත දැල්වුන

වේතාල රැලට ගිනි පිඹින අදිටනින් අද

අම්මලා වීදියට පැමිණ ඇත!


280. දෙඇස් දෙසවන් පියා ගමි




හාත්පස වැහි අඳුර ගල ගලා හැලෙද්දී

ක්ෂුද්‍ර කවි කිහිපයක් ගොතා ගමි

ඕනෙවට එපාවට ඉන් මසා ගත් පොරෝණාවක්

දෙඇස දෙසවන වැහෙන තරමට ඔතා ගමි


කුහුඹු පා හැඩ අකුරු ඇතිරූ කරදාසි මිටි

කීතු කර හද ගිනිමැලය දල්වා ලමි

කොම්බුවක් හේ ගුලි වෙමි


සූරියකාන්තා කුසුමන් -

ගිනි සැර වැදී පරවෙයි

හැපි ගෝ ලකී හිරු රැස් -

වැහි හීතලේ වෙව්ලයි

වී ඇටක්වත් නැතියෙන් -

ගී කුරුල්ලන් පවා දුලබයි...


අළු වලාකුළු මගහැර

කවි පොරෝණා ගොතා ගමි

කොම්බුවක් හේ ගුලි වී

දෙඇස් දෙසවන් පියා ගමි.


279. රහස්

 



තුනී ගින්දර පුපුරු,

මල් තුහින පෙති වගේ දැනෙනකොට,

ෆූජි කඳු ඉහත්තාවේ,

ස්කෙටින් කරන්න හිතෙනකොට,

තැනිතලාවක වැතිරගෙන - අහස බලාගෙන

මම මෙහෙම නොහෙල්ලී ඉන්නවා.

අළු පාට ආකහේ විදුලි එලි දුවන හැටි මට පේනවා.


ඔබේ මුදු ජෙල් කුයිල,

මගේ නැහැතුඩු හෙමින් ඉඹිනවා.

තැනිතලාවක පිපුණු කුඩා රතු මලක් වී,

මම මෙහෙම නොහෙල්ලී ඉන්නවා.


මේ වහින්නේ ඉඳිකටු ද?

කඩු තුඩු ද? හඬන ඉටිපන්දමක කඳුළු ද?

වගේ වගකුත් නොමැති කුඩා රත් පෑ මලක් තියෙනවා.

වළාකුළු ගුලාවක, ගුලි ගැහෙන කුඩා මල,

ඩොපමීන් නිද්‍රාවක ගිලෙනවා.


මම 

මෙහෙම 

නොහෙල්ලී ඉන්නවා!


277. සංකා

 



මැදියම් පැයේ ඇහැරී,

අළු පොරෝණාව තුල ගුලිවෙමි •

ඔබ නිදන'යුරු බලා ඉමි •


ඔබේ හැඩ අත් බාහු මත්තේ,

කවුළුවෙන් ගල ගලා ඉරි රටා අඳින්නේ,

ගගනතක සඳ වතුර ද?

වීදි පහනක එළිය ද?

හිත හිතා ලතැවිල්ලකින් තාවර වෙමි •


ස්වප්න මැද එලඹෙන විරාමෙක,

නින්දෙන්ම සුසුමක් හෙලන ඔබ,

වම් ඇලයට හැරේදැයි,

දකුණු ඇලයට හැරී නවතී දැයි,

ඔට්ටු අල්ලමි •


මැදියම් පැයේ ඇහැරී,

කළු කෝපි බඳුනක ගිලී ගමි,

ඇස් වටා කෝපි පාටට අඳුන් ඇඳගමි •


කදෝකිමි එලි තිතකින්,

කඩා වැටෙනා කුඩා උල්කා ඇසකින්,

හඬා නොවැටෙන පිණිස පොඩි සංතෝස බුබුලක් ණයට අරගෙන,

මම මගේ අළු පොරෝණාවෙම ගුලි වෙමි,

ඔබ සුවෙන් නිදන'යුරු බලා ඉමි •


276. ඒ දැරිවියට, දියමන්ති කිරුළක් තිබුණා....



සුදු අසෙක් - කගපතක්,

එමතු නොව දියමන්ති කිරුළක්,

ඒ දැරිවියට තිබුණා.


වේදිකාවට නගින්නට පෙර,

කෙස්ස උස්කර බැඳුණා,

හිණිපෙතෙහි පාමුල ඉඳලාම,

ස්පොට් ලයිට් ලපයක්,

ඈ යනෙන තැන පසුපසින් ඇදුනා.

කියන දේ ඒ සැණින් කෙරුනා,

අහන හැම දේකටම පිලිතුරු ලැබුණා,

කෙස්ස උස්කර බඳින,

උල් පාවහන් අඳින දැරිවියට,

දියමන්ති කිරුළකුත් තිබුණා.


ඒ වුනත් වේදිකාවෙන් බහින හැම රෑම,

තරු තිතක් වගේ පොඩි හිස්‍තැනක්,

ඇගේ හදවත කොනක තිබුණා,

ඇහැ වැටුණු වැලි ඇබින්දක් වගේ කෙවි කෙවී,

නින්ද අතැඟිලි අගින් හැලුනා,

කෝපි හැඳි හයක් අවසානයේ පෙලක් විට,

ඈ මධු ඔඩමක් ඇතුලෙ ගිලුනා,

ගිලිලා මැරුණා

.......

.....

...

.

ඒ දැරිවියට,

දියමන්ති කිරුළක් තිබුණා!



275.

කන්ද කෙන්දක් බවට හරවා සඟවමි;

ඇහිපියන් ඇතුලතම කාටත් නොපෙනී.

අන්ධ අඳුරේ සින්දුවක අන්තරා කොටසක්,

දෙතොල් මතුයේ පිපුනී.

මන්ද නොදැනම,

කොපුල් මත හිම මිදුණී. 


~~~~~~


274. දුවේ, මා වසාගෙන කිරි සුවඳ හමනවා!





සිඟිති පතුලකින් නැබ දෙපස පිරිමදින්නෙද?

ඔන්න කුස අරා මුදු බාලොලිය පිපෙනවා!

ගාව ගාවා නැහැය - මල් සුවඳ උරන්නෙද?

සමනල්ලු අහින කුස පුරා තටු සලනවා!


පෙනැහැල්ල කෙලවරට ඇඟිල්ලෙන් අනින්නෙද?

මෙන්න මගෙ නැහැ තුඩෙන් මල් රේණු ඉහෙනවා!

පර්ශුකාවක නැගී ඔංචිල්ල පදින්නෙද?

තාලයට වාරමක් කියන්නම හිතෙනවා!


කුස පතුලෙ කිමිදෙන්නෙ මුතු පබළු හොයන්නද?

වම් ඇලය දිගේ පහලට සරැලි නැගෙනවා!

උකුළු යහනේ වැතිර ඇඟිලිතුඩු උරන්නෙද?

චෙලෝවක තත් වගේ මා සුසර ගැනෙනවා!


අහඹු ඉක්කාවකින් නිදි දෙනෙතු ලිහෙන්නෙද?

ඇපල්, අඹ, දොඩම්, යුෂ ඔන්න මං පොවනවා!

පැයක්-දෙක-තුනක් නිහඬවම තද නින්දෙ නම්

පාළුවයි අනේ මම අයිස් කැට උරනවා!


දිය කිඳුරියක් වගේ යලි ඉහල ඇදෙන්නෙද?

කිරි පබළු-දිය බුබුළු නැගි නැගී බිඳෙනවා!

මුදු දෙතොල් පෙති තියා මගේ හද සිඹින්නෙද?

දුවේ, මා වසාගෙන කිරි සුවඳ හමනවා! 


273. අපි; ලෙඩ වුන අය.



අපි,

හරිහමන් රෝග නිර්ණයක් නැති,

ලෙඩ වුන අය.


ඔක්සිජන් ටැංකියකට පුරවපු මීම්ස්,

යන යන තැන පිටේ එල්ලන් යන අය,

කම්මුල් නිල්පාට ගැහෙනකොට,

එයින් දෙකතුනක් උඩට ඇද ඇද හිනාවෙන අය,


"Fault in our stars" පොතයි - හයිලයිටරේකුයි,

බෑග්‍ එකේ ඔබාගෙන කැෆේ එකකට යන අය,

ෆ්‍රැප් බිබී පෙනහළු හීතල කරගෙන,

කැහැ කැහැ කොෆීකේක් කන, 

අපි;

ලෙඩ වුන අය,

උණුහුම් ඩයලොග්ස් කහපාට කර කර,

තනියෙන්ම අත්බේත් කරගන්න අය.


ඉන්ටසිටි බස්වල - කෝච්චිවල - ඌබර්වල යනකොට,

වීදුරු කවුළුවෙන් පාරට පනින අය,

මහත සුදු වළාකුළු දෙකතුනක් අල්ලලා,

ස්මෘති රිදී නූලකින් ගැටගහලා අල්ලගන්න අපි,

ටිකක් විතර දරුණු අය,

වළාකුළු බිම දිගේ ඇදගෙන යන අය.


නියපොතුවල නියොන් පාට ගාලා,

කාමර ඇතුලෙ ක්‍රිස්මස් ලයිට් එල්ලලා,

පාන්දර දෙකහමාරට සෝෂල්මීඩියා එන අය,

ඉපැරැණි පෙමක කල්වාරි තරණය කරලා,

වියෝ ගීතිකාවක් ගැයෙද්දී කුරුසියේ එල්ලෙන අය.


ආයා කට්ටකින් ඇඟිල්ලට ඇනගෙන,

රිදෙනවද, අඩුගානෙ දැනෙනවද බලන අය,

තුවාල වෙච්ච පපු මැද්දෙ,

සූරියකාන්තා මල් වවන අය.


කිරිගරුඬ වගේ පෙනුනට,

හිරුකිණිති වගේ දැනුනට

මධු බඳුන් කියා හිතුනට,

අපි;

ලෙඩ වුන අය! 


272. "ඇයි දැන් නිතර කවි නොලියන්නේ?"



ටියාරාවක් හිස පැලැන්දූ

සින්ඩරෙල්ලාවකට

තහනම් ය මධු සාද

නෘත්‍ය ආලිංගනත්


කපා දැමුනාට පසු

ආයෙමත් කිසිදාක

වැවුනේම නැත ප්‍රියය

රපුන්සල්මය කෙසක්.


කුඩා දිය කින්නරිය

කඩා ඉවත ලා දිව

ගැයුම නවතා දැමී

වැයුනාද ඉනික්බිති වෙණ තතක්?


කැත ඉලක්කම් ගහණ

පරිඝණක සටහනක

සැඟවෙමිය.

ලදොත් මද ඉසිඹුවක්,

නෙත් අඳුන් තවරාන

බැබලෙමිය.

නැතොත් රෙදි බේසමක

දුම් දමන සූපයක 

දිය වෙමිය.

කිරි සිනහවක් අසා

දිනෙන් දින - පැයෙන් පැය

සැනසෙමිය.


Friday, January 13, 2017

271. මල් තුහිනවල නුගුණ


බිඳුණු පිළිණ ද
මිදුනු සිහින ද
අත්බෑගයේ සඟවමි
මතක ගලගා
රිදෙන තැන්වල ගල්වමි

දෙඅත්ලෙන් මුවා කර
වැහි කරාමය නවතමි
ඉහල ඇදඇද නැහැය
මල් තුහිනවල නුගුණ යලි යලි මුමුණමි

270. වතුර මල් සමය යලි ඇරඹෙන



වතුර බිල් ගෙවා අහවර හෙයින
වතුර මල් එක්වරම පැන නඟින
සිහින් දුම් රොටු පා කර
පාරවල් තාර ගොඩවල් නිවෙන

ඉන්පස්සෙ
තුරු ඇස් අගිසිවලින් වැහි හැලෙන
වික්ටෝරියා උයන මැද පිලිම
වහවහා ෂවර ජෙල් තවරන
කපුටුවන් කබා යට සඟවන

කැළැල් වේයැයි වත්සුණු
බළල් නෝනාවරු නොරිස්සුම් වෙන
කලල් මඬ තැවරුණු 
පුළුන් කොට්ටා පා දැක රැවුල හකුලන

පොල්කා ඩොට් සළුව ඇඳ
බේරේ උකුල නලවන
වල්ගා මිරික මිරිකා
ලෙහෙනුන්ය ගිනිඋඳුන වට රැස්කන

වතුර බිල් ගෙවා අහවර හෙයින
වතුර මල් සමය යලි ඇරඹෙන
අතුරෙ යන්නා වගේ
කළු වලාකුළු අග රිදී එළි දිස්වෙන


269. ස්වාධීන පොහොසතුන්


එස්කිමෝවරු කැලත
ඩිස්කවුන්ටඩ් මිලට
ඉස්තරම් අයිස් තොග රැස්කරන
ස්වාධීන පොහොසතුන්
රිදී පැහැ ණයපතින් බිල් ගෙවන

විස්කිරිඥ්ඥා රසකාරක
විස්ම කිලිකුණු-ධූලි-වාරක
ගැස්ම නොදැනෙන බ්ලෙන්ඩර්
රස්නෙ නැති සස්පෙන්ඩර්
හුස්ම නොහෙලා ගනු ගනු නොව සරෙන්ඩර්!

සීතකල වෙළඳසැල් සිසාරා
ස්වාධීන තීරණම විචාරා
සිඳී ගිය අත්පසුම්බිය අස නොසැලෙන
ස්වාධීන පොහොසතුන්
රිදී පැහැ ණයපතින් බිල් ගෙවන

268. ගමිකයන් තව හතිලති



මහ බරැති දුකඳුළු පොදි
ඔලොගුවක පුරවාගෙන
සතුට - සැනසුම විමසන
ගමිකයන් වෙත් තැන තැන

"සතුට තුඟු ගිරි ශිඛරෙකි
වෙර ගෙන තරණයට යුතු"
හිතට ගෙන එඩි හඬගා
දොඩයි උන් සතුටෙහි තතු

කලබල ඇසෙහි නොගැටෙන
රොන් සුණු බිඳක් තරමැති
බිඟු පියපතකටත් වැඩි
සැහැල්ලුවකින් අරුමැසි
නැහැ තුඩු කවකවා කිති
සතුට උන් අස රඟදේය නිති

"ආන් අර ගිරි හිස මත
රනින් කල මැදුරක පියස්සක
සතුට ඇති බැව්" හගිස්සවමින් 
ගමිකයන් තව හතිලති

267. වළාකුළු ගිම් නිවන නිම්නය



සිලිටි අතැඟිලි විහිද විහිදා
කඩනකොට කඩුපුලක් නිදිගැට 
තව අලුත් 'දහවලක්' ඇරඹෙයි
වළාකුළු ගිම් නිවන නිම්නෙට

උදුල මිණියෙන් බැබලි බැබලී
තරු ගැටව් එළියට බහිනකොට 
ගැටිස්සියො සාදෙට අඳින්නේ
නිවෙන දිලිහෙන මිනි-ගවොම් කොට

කාර් බස් පාරවල් නැතියෙන් 
ඕනෙ කෙනෙකුට - ගමන බිමනට
පොරකකා නැගගන්න වෙනවා
'රෑ බදුලු' යන රේල්ලුවකට

වීදි පහනකටත් තමන්ගෙම
නිදහසක් ඕනෑම හන්දා
කුඩා අත්තටු දෙකක් අලවා
'කදෝකිමි' යැයි නමක් බැන්දා

දවස් විසි අටකට වතාවක්
මෙගා මේලා සතුටු සාදෙට
මහා පැණි පුඩිමකි ඉදෙන්නේ
'හඳ' කියන්නේ අන්න ඒකට

එහෙම දවසක - එන්න මිදුලට
සැර විදුලි එලි නිවා විගහට
'හඳෙන්' පොලවට - පෙරෙන පැණි බිඳු
දිව ගගා අම රස විඳින්නට

266. අමතක වුනා වෙන්න නම් බැහැ!



අමතක වුනා වෙන්න බැහැ
අමතන එක ඔබට

ගමන දුර වැඩි නිසා සමහරවිට,
ගිමන් අරිනවා ඇති
රළු කොරොස් කටහඬ,
කපුටුවෙක් වගේ ඇන තියාගෙන
දුරකතන රැහැනක් උඩ

එහෙම නැතිනම් හිර උනාවද
පිම්බුණු හාදු පොදියක්
කේඬෑරි කම්බිය මැද?

අති පණ්ඩිත කතාවක්
බකල ගමනින් පෙරළි පෙරලී එනකොට
චරස් ගා රැහැන් බිඳුනාවද?
බිමට පෙරලුනාවද – කොන්ද ඇවිලුනාවද?

ඉතිං මට දුස්-ස්වප්න එමට
අමතක වුනා වෙන්න නම් බැහැ
අමතන එක ඔබට


265. එකොළොස් වසක් එපිට



එකොළොස් වසක් එපිට
එකොළහ පන්තියේ කුඩා කෙල්ලක්
ඇද අකුරු පොදියක් ඉරාගෙන හිස පොවයි

විමපත් සුස්ම පරහක් වැදී
කෙහෙ අගිස්සෙහි රතු රිබන් පටි සැලෙයි
“හිනාවක් මූණෙ නැති
මහා නපුරෙක් තමයි”
සිඟිති තොල් ලිහී දත් කැට පෙනෙයි
පිණි ජම්බු කම්මුලක්
විහිලුවට කොනිත්තන්නම හිතෙයි

එකොළොස් වසක් මෙපිට
අඳුරු ශීතල රටක
අහඹු වැලි කැටක් වැද
ඇහැ කෙවෙයි

264. අදිසි ලෝගුව



නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

උණුහුමයි තමයි වැඩියෙන් වෙනදට
හීන අල්ලාගන්න ලේසියි 
අපිට අපි නොපෙනෙනකොට
මදුරුවෙක්වත් විදින්නෑ 
හුළඟක් වගේ හමාගෙන, හඹාගෙන යනකොට

ඒ වුනත් ළඟකදි හිට
අයිස් අත්ලක් එතී ගෙල වට
‘තනිකමක’ මිටි ගුලි පහර පිට – පහර දෙයි ඉහ මුදුනට

අන්න ඒකයි මං කියන්නේ
නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

263. ඉතින් සුහදිනිය මං කටුව ඇතුලත ගුලිගැහෙනවා



දොළොස්වෙනි වතාවට
ස්ලයිඩ් පෙල ආයෙමත් බලනවා
පරණ එක්සෙල් ෆයිල්
එකින් එක අරිනවා වහනවා
වහපු ඊ ලියුම් උඩ
කොඩි ලකුණු අඳිනවා - මකනවා

අවිවේකයේ පතුල අතගගා
කුරුටු ගීයක අකුරු මකමකා
ඉතින් සුහදිනිය මං
කටුව ඇතුලතට ගුලිගැහෙනවා

හිස්ගෙඩිය ඉස්සුනොත්
හිස්වෙච්ච හිස් අසුන
ඇස් දෙකට තියුණු කටු අනිනවා
අන්න ඒ වෙලාවට
ගුගුඩු ගුඩු ගුඩු කියා
වතුර බෝතලෙන් පලි ගන්නවා


262. එන්න මේ බීන් බෑගය උඩට



බීන් බෑගයක ඈඳිගෙන
දෙපා හිස ඉහළින් තියාගෙන
ඔහේ නරඹමි
මියුසික් වීඩියෝ අවෝඩ් සෙරමනිය
සෝප් ඔපෙරා අලුත් එපිසෝඩය
මෑෂ්අප් ගී කිහිපය

ඔබ
බදු ඉහළ ගිය ප්‍රතිශත
වගු ඇඳ, ප්‍රස්තාරගත කර
අයවැය ගෙනෙන අණවින
මුණුමුණු නදින් මතුරන

එන්න මේ බීන් බෑගය උඩට
එපා වෙන්නට කලින් ඔබ, මට

තීරු කර බැද අයවැය 
හීනියට ලුණු ගම්මිරිස් ඉස
ඩිජිටල් පුළුල් තිර අස
අපුල්ලමු පෙම්බරෝ අපි දිවි සරතැස

261. බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න?



දිගැටි උල් රදනක දත් ද
තියුණු මුවහත්කල නිය ද
දඩයම් ඇස් ද ගෙරවුම් ද
අතර සැඟවෙන්නට බැරිද
බොළඳ ආදර හදවතක්

අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට
ඇස් පියාගෙන බලනවත් ඇති
දේදුනු පාට හීනයක්

ඉඟිමරන්නේවත් නැතුවම
ආදරේ සීරුවට තවරා
හුළඟෙ පා කරනවත් ඇති
උණුසුම් බළල් හාදුවක්

සීරුවෙන් නිය පහුරු හකුළා
ඉතා හෙමිහින් - මද තිගැස්මෙන්
පිරිමදිනවත් ඇති
මුදු පියාපත් කෙලවරක්

පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තුරුල්කරගෙන ඉන්නවත් ඇති
සේදවන් සමනළයෙක්

"අදත් මූ ගිහිල්ලා
අමන දඩයම් ගමනක්!"
බළල් හද ගැන නිනව්වක් නැති
අයිතිකාරිය බනිනවත් ඇති
නැතිව කිසි ඉස්පාසුවක්


260. ආසනික් ලොසින්ජරයක් මෙන්න



ප්‍රංස හාදුවක් ඇතුලෙදි,
ඇස් පියා ගැනීමයි පහසුම.
හැකිලිච්ච ඇහිබැමක විඩාබර නොදැනෙන්න,
පල් වතුර ගලා යන කුණු කාණු නොපෙනෙන්න,
තවත් ලෙහෙසියි නේද හුස්මවත් නාල්ලා හිටියාම?

බත් අවුළු අවුස්සන වීදි දරුවෙකුගෙ ටකරං සද්ද,
වටරවුමෙ වටරවුම් කැරකෙන ලේ පිරුණ උගුරුවල ගොර සද්ද,
ප්‍රංස හාදුත් එකම අපබ්‍රංසයක් කරවන.
කොමාවක් තියා ආලිංගනයට,දෑතින්ම සවන්පත් වහගන්න...

දුම් වැදුනු සුලං රැලි විඩාවෙනි,
වැහැරිච්ච තුරු අත් ගෙනෙන්නේ සිහිනි කෙඳිරිලි,
රත් අදර මත තැබූ,
ආසනික් ලොසින්ජරයක් මෙන්න,
ප්‍රංස හාදුවක ශිඛරෙකින් පහලට වැටී,
ඉඩදෙන්න මටත්,
දිවිනහගන්න!

259. විවේකය සදාකාලික වූ දා සිට



එලාමය නිහඬකල රෑ සිට
දිවා රැය ඔහේ ගෙවි ගෙවි යනකොට
ඩිවානෙක දිගාවී
මෙගා ටෙලි විතරක්ම නරඹන
විවේකය සදාකාලික වූ දා සිට

හිතවතිය
ජීවිතේ වෙහෙසයි මට
මීවිතේ ගිලී දිවිනහගන්න තරමට
ජීවිතේ පිපාසාවයි මට


258. ඒ අදිසි හිම වළසා



ඒ අදිසි හිම වළසා
නොවැම්බර හෙම්බිරිස්සාවෙන් පෙලෙන
නිතරෝම පත නැහැය කිවිස්සා
වළාකුළු තෙතබරිත කරවන
වැසි පතිත කරවන

දඩ බඩස් හඬ දිදී
පස්පංගු බැරල එහෙ මෙහෙ පෙරලන
තඹ මුට්ටි පුරවා කසායක් උණුකර
අහඹු ගිනිදළු තැනින් තැන මවන

පාන්දර ඉහ බරට දැනෙනකොට
පාත්තරයක් පුරා - නටන උණුදිය දරා
පාත්කර බොත්තං හැඩේ නැහැය
හුමාලය පෙණහැල්ල වෙත අදින
හාත්පස උදා මිහිදුම පිරෙන

ඒ අදිසි හිම වළසා
රිසි නොරිසි හැමට එක විලසා
නොවැම්බර හෙම්බිරිස්සා බෙදන