Wednesday, September 9, 2026

324. The secret universe between us

 



Once my lips

danced across the arch of your brow,

a tiny constellation was born ~

And in the very next breath,

the secret universe between us

was pinned to my heart by a thorn ~


Nestled within a cozy Unicode window,

Saturn and Venus form a trine ~

A little wildflower, a tiny butterfly,

flutters across your world to mine ~

That's when, inside my chest,

a thousand fireworks flicker and shine ~


The gravity is fierce

in a piece of cookie, a warm mug of tea,

or a slightly burnt vanilla cake ~

This stardust addiction

tugs so hard at my heartstrings,

leaving an aching black hole in its wake ~


As a nebula of anxiety swallows me

on a deep and dark midnight ~

that is when your name appears,

washed in the phone screen's white light ~

Just minutes before the end of an eon,

a brief eternity takes flight ~


I do not know baby, when,

nor do I have the slightest idea how

Our secret universe was born ~

I only know that, as stubborn as you are,

it is pinned to my heart by a thorn ~


_______


I originally wrote this piece in Sinhala (you will find it here) and casually dropped it on my Insta stories. Then a couple of my 'non-Sinhala speaking' friends reached out asking for the meaning.

Taking the trendy shortcut, I ran the original poem through one AI, then another, then another. But all three AI tools failed miserably to capture the poetic essence of it. So last night, I ended up re-creating it myself.

NGL, recreating this English version took significantly longer time than writing the original poem. I shared the first draft with 10 people, and 9 approved. So voilà, I'm publishing it on the blog! 

So wdy think? Should I start writing more in English?


323. අප අතර ඇති ඇබිති විශ්වය

 


ඔබේ ඝන ඇහිබැමක 

මගෙ දෙතොල් සැරිසැරීමෙන් පසු ය

කුඩා තරු වළල්ලක් ඉපදුනේ ~

අන්න ඒ මොහොතෙදියි

අප අතර ඇති ඇබිති විශ්වය

මගෙ හදවතේ මැදක ඇමිණුනේ ~


යුනිකේත සංවාද කවුළුවක

සල්ලාප ග්‍රහලෝක ඉදිවෙයි

ඔබෙ ලෝකයේ මලක්, සිඟිති සමනලෙක්, ගී දෙපදයක්

මගේ ලෝකය වෙතට පැමිණෙයි - 

නිලා කූරක් වගේ සනහස ඉපිලෙයි


චොකලට්ටුවක - චායි මග් එකක

රෙසිපි වැරදිච්ච රසකැවිල්ලක

ගුරුත්වාකර්ෂණය, 

හිතන්නට බැරි තරම් දරුණුයි

ඔබව මට කොච්චරක් පුරුදු දැයි හිතෙනකොට

පපුව මැද කළුකුහර කකියයි


නෙබියුලාවක් වගේ නිහඬබව

හාත්පස වසා ගත් මැදියමක

උල්කාෂ්මයක් වන් අහඹු දුර ඇමතුමක් පැමිණෙයි

කල්පාවසානයට පෙරාතුව

කෙටි "සදාකාලයක්" බිහිවෙයි


ඉතින් කවදාක කොහොම දැයි මම නොම දනිමි

රහස් විශ්වයක් අප දෙදෙන'තර ඉපදුනේ ~

එයින් මතු ඔබ වගෙම මුරණ්ඩුව

මගෙ හදවතේ මැදක ඇමිණුනේ ~


Monday, July 13, 2026

322. මිහිදුමට පෙර ලියූ සටහනක්

 



මා ඔබේ උරහිසේ හිස තියා නිදනත'ර

මාවුලාවේ කොනක, චෙරි-රතැති තොල් සලකුණක් තියමි

අලුත් ලිප්ස්ටික් කූර, නානකාමරේ "අමතක" කරමි


"Oh shit! I ll quickly drop by" ලියා එවීමෙන්

අනවසර හාදුවක් සොරාගමි

මගේ ප්‍රියතම බේබි-පින්ක් පැහැ ජර්නලය

ඔබේ වැඩ මේසයේ තියා යමි


ගෙල පාමුලේ සිහින් සීරුම් දෙකක් රැගෙන

සෝෆාව මත මගේ උදර මුදුවක් "නොදැන" දමා යමි

කුසේ සමනල්ලු අහිනක් පියෑඹුව දිනෙක

හිසේ රැඳවූ රිදී දමක් ඔබෙ පොතක් මත හලා යමි


ගීතයක් වගේ දෙතොලතර මිමිණෙන ඇබිති මතකයක්

මීවිතක් වගේ සනහස වඩන සිඟිති මොහොතක් දෙකක්

යලිත් දවසක ඔබෙන් - සොරා ගන්නා රිසින්

අදත් "අතපසුව" තව කුමක් හෝ 

ඔබේ ලඟ තියා එමි


නමුත් ඔය කිසිත් අමතක නැතිව,

කොපුල් අග ඇඹුල් වැහි බිඳු ඇතිව,

මිහිදුමේ මා සැඟව යන දිනක් පැමිණියොත් 

හිතවත 

අන්න ඒ වතාවේ, ඔබේ ලඟ දමා යන්නේ මගේ

හදවත!


Friday, June 12, 2026

321. තේ විවේකය




ඇහිබැමි වැහෙන තරමට

වැහි බ්ලැන්කට්ටු ඔසවා

ඈනුමක් දෙකක් පා කර යවද්දී

අලස බන්ග්සාර් නුවර


"තේ-තරික් පමා මන්දැ'යි?"

මෆින් කන්දක හැංගී,

බ්ලූබෙරි සිඟිත්තෙක් විමසයි

මචා වන වදුල දැල්වී,

අල කූරු කරස් ගා බඳ නලවයි

චීස් කේක් සානුව අසබඩ

පෙන්ග්වීනයෙක් පාඩුවේ හිමබෝල පෙරලයි


ජපානෙන් ආ දෝසි කැබලිති අතගෙන

වියට්කොං හිමකිරම බලඇණි රැස් වෙයි

තායි අඹ ඇතිරිලි සිසාරා

පැණි කැවූ උකුකිරි දියත්තක් වැතිරෙයි

නොරට්ටුන් මොන රැඟුම් රැඟුවත්

චෙන්ඩෝල් නොසැලෙයි!


දුම්ගුලාවක් මැද්දට

සෝබනකාර පළතුරු සුවඳ මුහුවෙයි

සකුරා - මින්ට් - මී පැණි පසුගමන් එනු දැක

තුටින් මුසපත් පෙණහැල්ල සිහිසුන් වෙයි


කුළුණු හිස් කිවිසුම් යවද්දී

කුස පිරුණු පෙන්ග්වීන සෙබළුන්

‍උකුළු පරිගණක වෙත එලැඹෙයි


ඉනික්බිති

කේ පොප් ගීත ඇහැරෙයි!


320

වනස්පතියක ප්‍රේමය

නිහඬව විඳව විඳවා

සිසිලසම පෙන්වීමය.


සිඟිති මලකට මෙන්ම

පිළිල වැලකට පවා

ආදරෙන් සියොළඟම දන් දීමය.


319. කැළැල්?


නිමිත්ත: Do you have scars? I was asked by someone.




පැටි වියේ සෙල්ලමක් අතරක

දණිස් සීරී ලේ ගැලූ තැන්වල කැළැල්

වරද අදටත් අපැහැදිලි මුත් නිතරම

ළපටි දෙකොපුල පෑරවූ නියපොතු කැළැල්


ෆිසික්ස් ටියුෂන් පංතියට යන එන’තර

නළල මිරිකා ඉගිල්ලූ කුරුළෑ කැලැල්

සතළොස් වියේදී උඳුනකට බරවී

අතක් හරහට ඇඳුනු ඇස්ට්‍රා රස කැළැල්


ආදරේ කුස දරාගෙන උන් සමයක

රිදී දැල් සේ ගතේ විසිරී ගිය කැළැල්

කිරි සුවඳ පොදි අතට ගන්නට මත්තෙන්

හීනිවට බඩවතේ ඇඳි සැත්කම් කැළැල්


ජීවිතේ පිට කවරෙ තැන තැන සීරුණු

සෛල විභජනයෙන් මදින් මද සීහුණු

පෙනෙන නොපෙනෙන 'පිට' කැළැල්


________


ඒ නමුත්

කවුරුවත් පහසුවෙන් නොදකින, ඇතුල් පිටුවල තියෙනවා

සීහෙන්න සෑහෙන කලක් යන

සියක්වර යලි පෑරි පෑරී රිදවන

හදවතේ ඉගැඹුරු කැළැල්


තුරුල්ලෙන් බිම හැලී තනියෙන් - ඇවිදින්න සිදුවුනු දවස්වල

පුරුද්දක් නැති සිඟිති ඇස්දෙක - කළුවරට හුරු වුන සවස්වල

පිළුණු රස සයිලන්ට් ට්‍රීට්මන්ට් සති වල

පිළිණ කුඩුවූ තැන්වල

සීහෙන්න සෑහෙන කලක් යන

සියක්වර යලි පෑරි පෑරී රිදවන

හදවතේ ඉගැඹුරු කැළැල්


________


ඒ කැළැල් අලු දුඹුලු මැද්දේ

කලල් බිම්, කළු-කුහර මත්තේ

රෝස, වතුසුදු, හෙන්දිරික්කා - වවන්නට මම පටන් ගත්තේ


අතක් බර සූරියකාන්තා - ලපැත්තේ දැන් පිපෙනවා

හිත රිදෙන නෙතු කෙවෙන දවසට

හීන්සීරුවෙ, මල් ගොමුව උඩ හිස තියා

මම නිදනවා

මම නිවෙනවා 


318. වම් පස හතරවෙනි කවුළුව




කඩුල්ලට ඔබ්බෙන් 

පරණ බස් රිය නැවතෙයි 

විවර කවුළුව අතරෙන්

සුපුරුදු හිසක් එසවෙයි


තදින් ඇද ඝනකම් ජනෙල් තිර 

සැඟවගමි ඒ තුල 

පිටට නොපෙනෙන ලෙස

අත්වැරැද්දෙන් මැන බලයි අකීකරු ඇස

වම් පස හතරවෙනි කවුළුවෙහි හතරැස


කවුළු වීදුරු මත්තෙහි

කහට පැල්ලම්, සිහිනි සීරුම්ය

අත් බැඳ සදාදර පිළිණ දුන් මතකය

කොපුල මත බොඳවී ගලන්නේ ඒක ය!


317. නීරෝ




හද කුටීරෙක එල්වූ සුළං සීනුව

කුඩා ආඝාත මැද

මිණි කිකිණි සරින් පසුබිම් ගී වයන


මේ සුළිකුණාටුය

ඉසකේ පවා උගුලන

ටෝනාඩෝය ඇඟැලුම් කීතු වෙන

හදිසියේ බිම පතිතව

ඩා බිඳු ගලද්දී සිහිය එළැඹෙන

සුළං සීනුව ඉලඇට අතර පැද්දෙන


ඔච්චම් හිකිහිකිය

ඉවසන්න බැරිතැන කොපුල් රතුවෙන


ඔටුනු ඇඳි සුළං සීනුව නීරෝය

ගිනිගත්තු සංවහන ධාරා මැද

රෝමයට ඉහලින් මිණිකිකිණි හඬවන


316. මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ ඒ නුවර




"මෙහෙත් හරි වැස්ස!"

මතකයක් අකුණු ඉරි අඳින'තර

ගිඩිගිඩියෙ හෙන ගහන්නැහෙ හද ගැහෙනවා

"ඔහෙත් හෙම වෙන්ටැ?"

නොම අසමි, වෙමි නිස්සද්ද

මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ - මං හිතනවා


ආපහු එන්න හිත නැති

ආවත් යන්න හිත නැති

දෙමංසල මැද මත් සිහින මුල් අදිනවා

කහ ගැහුණු දිනපොත් ඇති

කවිත් ඒ පිටුවල ඇති

විරිත් ගිලිහී අකුරු පොදි බිම වැටෙනවා


මම කියන්නේ මටමද?

නැතිනම් වෙනින් කාටද?

සිහින් රිදුමක් ලපැත්තට කටු අනිනවා 

අත් හැරපු අත් ආයෙම,

අල්ලගන්නට යුතුද? අයුතුද?

අත්හැරීමම අත්ලතට ගුලිකරනවා


අළුත් කවියක් අතේ නැතුවම

මහබිනික්මන් කරනවා...


315. A letter to my best bud ~




මිතුරේ

ඉස්සර අපට තියෙන්නැත්තේ

මහ දාමරික හදවත්...


ඇහැකට ඇහැ උගුල්ලන

කනකට කනක් ඉල්ලන

“ම-රාගෙන මැ-රෙනවා අද මම ඕකා”

වෙව්ල වෙව්ලා පවසන

හාංකවිසියකුත් උගෙ වරද ගැන නොදැනත්

“හා මචං - හරි යමං" යැයි යුද බිමට පිවිසෙන


ඉස්සර අපට තියෙන්නැත්තේ

එහෙව් මහ දාමරික හදවත්…


අතීතේ මිහිදුම් දුමාරේ අතරේ

මිතුරු තුරුවල මුදුන් මුල් පය දැවටේ

හැල්මේ ගමන ඒසැණින් මග නැවතේ

මතක මල් ගොමු ගුම් නගද්දී

වර්තමානය ඇස් මානයට පිවිසේ


හීරුණු පපුව හරහට

හීන් දූවිලි ඉහිද්දී සමහර අය

හිරිවැටුණු අතැඟිලිවලින් ඒ පිසලන

පිටට ඇනෙනා කඩු තුඩු

ගලවන්නවත් නොනැවතී ඔහෙ ඇවිදින

“දහසක් දනා ම-රා ආවත්

මගේ හද තුල ඔබට ඇත්තේ

මිතුරු කුටියක් පමණක්ම” බැව් ගිවිසන


මිතුරේ,

තවමත් අපට තියෙනවැත්තේ

මහ දාමරික හදවත්…!


314. තේ බඳුන් ඇල්වෙයි





කැරකෙන අතර ලෝකය

උණු තේ බඳුන් ඇල්වෙයි

කුහුඹුවන් පොදිකකා ඒ මත රැස්වෙයි


කුණාටුව හද තුලම මියැදී

සිඳු ගැඹර සන්හුන් වෙයි

සිඟිති රැලි යලි ඉපදී

සුදු පෙණ පබළු පලඳියි


මහා පිපිරුම සිදුවුනේ නැත!

           කුඩා අළු පැහැ කුරුලු දැරියක්

           නිහඬවම

           නිසල ආකාසයට මුසුවෙයි.


මා ලියන දේ ඔබ තවම නො දනියි.


313. ආෆ්ටර්ෂේව් දියර


බඳෙන් අල්වා වැළැඳ 

රැවුල් කොට කම්මුලෙන් පිරිමැද

කිති ගැන්වූ  මතක මත

ආෆ්ටර්ෂේව් දියර තවරමි


පා ඇඟිලි මත ඉස්සී

හාද්දක් තැවරූ හැටි

කමිස - ටයි පටි පොඩි වී

හාෆ් ඩේ දමා වැඩට ගිය හැටි

බොත්තම් කාස මත අලවමි


පාවහන් පයලන්න මත්තෙන්

ඇබින්දක් තාවර වෙමි

මවාගත් කලබලයෙන්

යන බවක් නොකියාම නික්මෙමි


312. A soft hum for June


I hope June feels 

like a kiss 

on the forehead



තවත් තව තවත් නම්

බැහැයි හිතෙනා තැනෙක

ඇහැත් ඇහිබැමත් මත

පතිත වෙන මුදු හාදුවක් වගේ


නවත්වන්නට නොහැකි වුනත්

රළු උදම් රළ

මුහුදු සුසුවඳ මුසුව

කොපුල පිරිමදින සුලඟක් වගේ

මුහුලසත් - කන්පෙතිත් 

ගෙල පිටුපසත් හෙමින්

සීරුවට කිතිකවා

දඟකරන හීන් හිරිකඩ වගේ


සරත් සමයේ උණුහුමැති රැයක

පෙනුන ඉමිහිරි ස්වප්නයක් වගේ

ඒ ස්වප්න කෙලවරක

නළල මත - පරිස්සම් දෙතොලකින්

ඇදහැලෙන සිපුම් දහරක් වගේ


I hope June feels 

like a soft kiss 

on your forehead



311. වචන සේරම මතක ඇති බව ගිවිසන

 



To be loved like a song,

That dances in sunlight

and echoes in rain.

______________


කලබල නගරයක් මැද

රහස් රිද්මෙක තාලයට පා නැටවෙන

දෙතොලතර ගුම් දිදී ගැවසී

නීරස මීටිමක් මියුට් කරවන

එයාපොඩ් අමතකම කරවා

මහ හඬින් අන්තරා කොටසක් සුගැයෙන


හිරු රැසින් හාත්පස නැහැවෙන දවසක

දෙනෙත් ඇතුලේ කදාමිණි එලි දල්වන

වැහි බරින් හදවතම පැහැවන සවසක

රිදුම් පිරිමැද ඔසු දියර හිස ගල්වන


නාදය බිඳෙන තැන හඳුනන

තානය වෙනස් වන ඇසිල්ලේ ඒ කිම ද විමසන

ආයෙ ආයෙමත් රිවයින්ඩ් කරගෙන

වචන සේරම මතක ඇති බව ගිවිසන...

______________


Oh!

To be loved like a song

To be the soft hum

You breathe in the dark...


310. All my butterflies are dead



 

My hands are numb from holding the walls

Wearing the smile 

during every curtain call

Tryna catch the things as they drop

Yearning for a moment that it stops


I wish I would slowly slip away

Melt and dissolve, float in a breeze

Vanish in the dark 

through the edges of the day

And drown down in the deep seas


There's nothing left

that can make me weep

Its an endless walking in sleep

No hope, no pain

nor a single tear to shed

Because all my butterflies are dead...