Sunday, July 2, 2023

308. "පොඩි" ගෑණුළමයෝ...!


Painting: No rules for falling in love by Virgis | Carré d'artistes


පියාපත් ඇති අයෙකුට,

කුඩා තරු තිතකට,

දේශසීමා අදාලම නැහැ තමන් කැමතිම හදක පායන්න.


එකම එක - හෙන්දිරික්කා සුවඳකට පුලුවනි

පුංචි වීදුරු බරණියක් තුල

සංසාරයක මතක හංගන්න.


අතීතේ ගමන් මළු සේරම බිමින් තිබ්බම

ආදරේ විතරක්ම හදවත පුරා පිරුණම

ඔයාටත් බැරි නෑ වළාකුළු අල්ලන්න.


පොඩි ගෑණුළමයෝ 

ඔයා 

අන්න ඒ ටික දැනගන්න!

307. මින්ද්‍රේ

 සාංකාමය ගුලියක් හිරවෙලා ඇත උගුරේ

අදිසි උල් කිණිස්සකි ලපැත්තේ ගැඹුරේ

අනන්තය කියන කෙම්බිමට තව කොයි කාලයක් දුරද?

කුඩා සති කිහිපයක් පමණයි තවමත් ගෙවී ඇත්තේ මිහිරේ...


ඉපැරණි ක්ලැසික් ගීයක අන්තරා කොටසක

මෝටර්සයිකල් ඩයරීස් සලරූ රාමු කිහිපෙක

ඔබම මා වෙත එවා ඇති කෙටි කවියක

නිද්‍රෞෂධ ඇතත් එතැනින් සිහින පොකුරක් ඇහැරේ...


තාරුකා පවා සිහිසුන් බැවින්

අනන්තෙට දිවෙන පොඩි අඩිපාර ඇත්තේ අඳුරේ

දෑස් බැඳ ඇති පිනි කැට තිමිර පිසලමි

නූස් ගෙල උස්සා කටුලැහැබ වෙත ඇහැ ලමි

කුඩා සති කිහිපයක් පමණයි තවමත් ගෙවී ඇත්තේ මිහිරේ.....


306. මියුරු ඵල අරාගත් කුඩා තුරු


 

මියුරු ඵල අරාගත් පමණකින්

ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු

සිසිරතාරක නින්දකට එළඹිය යුතුද?


කෙටි සාද ගවොම්, උස් වයින් වීදුරු ද,

විනිවිද පෙනී නොපෙනෙන දුහුල් කොමුපිළි ද,

දිලිසෙන උල් හිසැති පා වැසුම් යුගල ද,

ඉඳුල් වතුරක්ව ඉවතට ලෑ යුතුද?


මියුරු ඵල අරාගත් පමණකින්

ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු 

අනාගාමී විය යුතුද?


පුරාවිද්‍යා - කාලාවකාශ පර්‍යේෂණ,

ගායන ද වාදන, නෘත්‍ය සම්භාෂණ,

සිහිනෙනුත් දුටු අජටාකාශ ගවේෂණ,

ව්‍යාපාර ද, දර්ශනවාද දේශන,

අල්මාරියේ ලා යතුරු තදකල යුතුද?


සිඟිති ඵල තදින් අල්ලාගෙනම,

බටිති ගී තාලයට මල් හලන,

ඇබිති කොල සලා සල්සා නටන, කුඩා තුරු

තවමත් ප්‍රීතියෙන් ඉපිලෙනා වරදට

මුරුසියට පිටුවහල් කල යුතු ද?

305. ක්වාලාලම්පූර් ඉර



වදකාර පැණි දොඩං ගෙඩියකි

ක්වාලාලම්පූර් ඉර

දිවා ස්වප්නය ඇතුලට පැඟිරි වක්කරන

ඇස් පිහ පිහා අවදිවෙනකොට

කොක්සන් හිනා දෙන


නගර උද්‍යානය මැද්දට

රන් පැහැති සෝරස ඉසින

වතුරමල් දොඩම් ඉස්මෙන් දෙතොල් තෙත්කර

උස් කුළුණු හිස් සිපගන්නෙමැයි දෙස් දෙන

දවල් දොළහට ගලගල ගගා උඩ පනින


කම්මැලි කෙල්ලකගෙ දම්-රත් පැහැති කෙස් මත

පැඟිරි චුම්භනයක් තියන

ඇඹුල් වුන මූණ මැද්දට විරිත්තා

දුඹුරු හම තද-දුඹුරු කරවන


ක්වාලාලම්පූර් ඉර

දිවා ස්වප්නය නියතුඩුවලින් කොනිත්තා

දොඩම් පොප්සිකල් දෙකක් දෝතට දෙන

ඉන්පස්සෙ, කම්මැලිම කෙල්ලොත්

ඇස් පිහපිහා කවි ලියන!


Saturday, July 1, 2023

304. මගේ රෝලර්කෝස්ටර්මය ප්‍රේමය




නිමිත්ත:

"අපේ ආදරේ ගැන මේ මොහොතේ ඔයාට දැනෙන්නෙ කොහොමද?" මීඩියා මයික් පින්තූරයක් අමුණා, ඔහු අසා එවා තිබුණා.


කුඩා සුළිසුලඟක්ව

හඹාගෙන හමාගෙන එනවා

කොපුලතර සිපුම් අතුරනවා

අන්න ඒ වෙලාවට

මගෙ සුලං සීනු හිත

ගසල් ගීයක කිකිණි ස්වර අහුලනවා


එයින් තත්පර හයක් ගෙවෙද්දී

හිටිවනම අහස ගුගුරනවා

බ්‍රේක් ගැලවිච්ච රෝලර් කෝස්ටර් එකක

ඉදිරි ආසනේ මට පැනවෙනවා

ටී රෙක්ස් කෙනෙක් වෙලා

ටී එකක් පීරිසියකින් බිබී

ඔබ එහා අසුනෙ ගුලිවෙනවා

ඔන්න කැරකිල්ල ඇරඹෙනවා

උණු තේවලින් මගේ ඔළුවෙ හිට දෙපතුලට නෑවෙනවා


එක්වනම අත් තිරිංගය ඇද

ඒ සැණින් මගෙ අත්දඬුව ඇද

හීලියම් බැලුනෙකට අපි ගොඩවෙනවා

බමන මගෙ හිස වාරුකරගත්

ඔබේ උරහිස පාරුවක් වී

අපි නයිල් ගඟ දිගේ පහලට යනවා


හීන් සද්දයක්වත් කරන්නට අකමැතිව

මම හිතුවක්කාර මමියක් වෙනවා

ඊජිප්තුවෙන් පැමිණි උඩඟු බළලෙක්ව ඔබ

ඇස් කොණින් බලා ලොම් පුම්බනවා

නිය පහුරුවලින් ඇද 

පාරවා කැකුළු කොඳ

වෙලුම් පටි එකින් එක ගලවනවා


ඔබේ උල් නිය වැදී

සඳවතේ ඉඳහිටක සීරුම් එනවා

සුපෙම් ආලිංගනයකින් අයිස් තියතියා

කැලැල් යන්තමින් සීහුම් වෙනවා

කලල් මතුයේ පියුම් හිනැහෙනවා


මොන අලකලංචියක් වුනත් හැම මොහොතකම

නොවැරදී එකදෙයක් සිදුවෙනවා

අපේ ප්ලේලිස්ට් එකෙන් - කන් පැලෙන සද්දෙකින්

රොමැන්තික ගීත ප්ලේ වෙනවා…


303. නවකතාවේ වීරයා; ඔබ



හිස බමන වෙලාවට විතරක්ම

ඔබ අහන

තත්පර එකසිය පනහෙ කුඩා සංගීත ඛණ්ඩය;

මම


උණු කෝපි බඳුනක්ව - පැහෙද්දී ඔය හදවත

මේසයත් ඔබත් අතරින් වැතිරෙන

පැලුම් පැල්ලම් නවත්තාගෙන - ආපදා සේරම උරාබොන 

ඝනැති කපු ලේන්සුව; 

මම


තොල් ආලේප පිහදාන

අනතුරුව කුණු කූඩෙකට දාන

මේකප් රිමූවර් ටිෂූ කොල අහුර; 

මම


වැහි වෙලාවට පිපෙන

අඳුරු අහසකත් හසරැලි අඳින

වෛවර්ණ ඉඳුදුන්න; 

මම


සත්පාට වියැකෙනත'ර - වෙණ තත් බිඳෙන්නට හැර

සපුරාම ප්‍රීතියෙන් නික්මෙයි - ගීතයක් සිවුරුහන් කරකර

නවකතාවේ වීරයා; 

ඔබ

.

302. අහඹු

කුහුඹු ගුල් ඇවිස්සුනු දවස්වල

වෙනදාට ඉක්මනින් රෑවෙයි


අහඹු සල්ලාපයක අතරමැද

ඔබෙ දෙතොල්, මගෙ කොපුල් යාවෙයි


කියඹු වැල් ලිහී ඉහිරෙන තැනක

පිච්ච සුවඳක් හදේ ගෑවෙයි


සුහුඹුලේ පිපෙන තරු අහිනකට

ඔබේ ඇස් දිස්නයම බෝවෙයි 

~

301. නැලැවිල්ල : ආකාස තොටිල්ලේ නවතින්න


එන්න, මේ අත ගන්න -

මෙන්න මගෙ උකුලත; ඔබේ වළාකුළු යහන,

විඩාබර හිස මෙතැන ඔබාගෙන නවතින්න,

කුඩා දරුවෙක් වගේ සැඟවෙන්න...


මෙරු වගේ ඇහිරෙද්දි හිතේ සංකා අහුරු,

තරු දෑස් දල්වලා, සැනසිල්ල අතුරන්න ඉඩදෙන්න 

ඔබේ කෙහෙ රැලි අතර මගෙ ඇඟිලිතුඩුවලින්,

පියානෝ වැයෙනතර - සොප්‍රානෝ ගැයෙනතර,

ආකාස තොටිල්ලේ ඇලවෙන්න -

කුඩා දරුවෙක් වගේ නැලවෙන්න...


සංතාප අංශුවක් තවම හදවතේ කෙවෙනවා නම්,

සල්ලාප සන්ධ්‍යාව අරඹන්න - කරවටේ අතලන්න 

සංවේගයෙන් සැලී, පිරූ මධු ඔඩම් බිම හැලේ නම්,

මගෙ ලමැද කිරි සයුර මැද්දෑවෙ ගිලිගිලී -

දොම්නස දොවාලන්න -

කුඩා දරුවෙක් වගේ සැනසෙන්න...


"සසර සැරිසරන තෙක් - ඔබ මගේ - ඔබ මගේ"

මේ වචන පේලියයි - ඒ ගයන මගේ රළු කටහඬයි,

හද බිතෙහි හරි මැදින් අලවන්න -

ලෝකයම අප අතැර අනවරත දිවිල්ලක ගියාදෙන්,

එන්න මගෙ තුරුල්ලේ සැඟවෙන්න -

ආකාස තොටිල්ලේ නවතින්න...