Sunday, July 2, 2023

306. මියුරු ඵල අරාගත් කුඩා තුරු


 

මියුරු ඵල අරාගත් පමණකින්

ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු

සිසිරතාරක නින්දකට එළඹිය යුතුද?


කෙටි සාද ගවොම්, උස් වයින් වීදුරු ද,

විනිවිද පෙනී නොපෙනෙන දුහුල් කොමුපිළි ද,

දිලිසෙන උල් හිසැති පා වැසුම් යුගල ද,

ඉඳුල් වතුරක්ව ඉවතට ලෑ යුතුද?


මියුරු ඵල අරාගත් පමණකින්

ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු 

අනාගාමී විය යුතුද?


පුරාවිද්‍යා - කාලාවකාශ පර්‍යේෂණ,

ගායන ද වාදන, නෘත්‍ය සම්භාෂණ,

සිහිනෙනුත් දුටු අජටාකාශ ගවේෂණ,

ව්‍යාපාර ද, දර්ශනවාද දේශන,

අල්මාරියේ ලා යතුරු තදකල යුතුද?


සිඟිති ඵල තදින් අල්ලාගෙනම,

බටිති ගී තාලයට මල් හලන,

ඇබිති කොල සලා සල්සා නටන, කුඩා තුරු

තවමත් ප්‍රීතියෙන් ඉපිලෙනා වරදට

මුරුසියට පිටුවහල් කල යුතු ද?

No comments:

Post a Comment