Monday, February 15, 2016

200. අන්තරාභව අතර



වාරුවක් නැතද ඇදි ඇදී යන
වලාකුළු කැටිත්තක් වගේ මම
සීරුවට මතක බිඳු උරාගෙන
මග බලමි, සොයමි, වැහි ලිහිණි තෙම

බැලූ බැල්මට සිඳී ඉරිතැලුන
නොවැදගත් කුඩා දිය පෙතක් වුව
අන්තරාභව අතර 
වැහි හඬක අන්තරා කොටසක් ගයන වග
නොදන්නේ නෑ නොවෙද ඔබ සබඳ?

199. දුහුවිලි



දුහුවිලි !
පියස්සේ උළු බිඳුන 
හිදැස්සෙන් ඇද හැලෙන
සතුටු බමනෙක වෙස් ගෙන
උදා හිරු රැස් වටා රැස්කන

රන් සුණු දිස්නයක් දී
මොහොතකට ඇස රවටන


198. මා වටා ශූන්‍යව වැතිරෙන ඔබ!



කැටිකර ගනිමි
කිටිකිටියේ අත් මිටිකර
හිටිහැටියෙ යලිදු පැන නොයන ලෙස

රූරා හැලෙයි ඔබ
ඇඟිලි කරු අතරින්
දිය පෙතක් මෙන
සුලං දහරක් මෙන
ධූලි අහුරක් මෙන

අත් විහිදුවා අත්හැර
ගැඹුරු සුස්මක් හෙලමි

ඇහැ අගිස්සක තෙත තියා යනු පිණිසම
කොපුල්තල මත සියුම් චුම්භන පිණිසම
කෙහෙ අවුස්සා දඟ කරනයුරු විඳිනු පිණිසම
දෙතොල් වියලා හදට ඇන යනු පිණිසම

ඒ සා විසාල ය
මා වටා ශූන්‍යව වැතිරෙන ඔබ!


197. වියළි සුළඟකට වුව දුක හිතෙයි



විදුලි පංකා දෙපෙති 
හොරෙන් මෙන් හුස්ම පිඹ
කැරලි කෙහෙමුදු අතර සැරිසරයි
සඳුන්, වදකහ පුස්ඹ ඉවකරයි

තෙහෙට්ටුම දවස්වල
සිතුම් රැළි තුරන් වුන
හිතත් සොහොනක් තරම නිසසලයි
අන්න ඒ වෙලාවට
වියළි සුළඟකට වුව දුක හිතෙයි
හිසත් අතගගා සුසුමක් හෙලයි

196. ඉව



හිම පියළි
පා ඇඟිලි තුඩුවලින් ඉස්සී
මදනලක් වඩාගෙන යනතුරා මගබලන

මදනල ඉවකරන්නෙම
පැහැදුල් මලෙක සුවඳට!


195. මතක වළලා සොහොන් කල තැන



කවි පේළි දෙකක් මැද
ඒ අඳුරු මූසලම හිස්තැන
මතක වළලා සොහොන් කල තැන

අකුරු දල්වා ඒ වට
සොහොන්ගත මතක සමරනකොට
සැලෙන එළියක රුව මිස
හැලෙන උණු ඉටි කාට පෙනුනිද?

194. සුවඳවත් ගෙන යන්න


තුරුණු තුරු පත් පොකුරකි
සල සල නදින් සසැලෙන
වියපත් වු පත් අහුරකි
තුරු හිස් මතින් ගිලිහෙන

නව යොවුන් රත් කුසුමකි
මකරන්ද විත පුරවන
සුවඳවත් ගෙන යන්නැයි
මදනලට ඉඟිබිඟි දෙන

Friday, February 5, 2016

193. කිම තැවෙන්නේ නග්න තුරු පෙළ?



අවුල් කෙහෙ ඉපල් මත
හිම කැටි මිදෙන්නට හැර
විල් දිය මත ඔබා හිස
කිම තැවෙන්නේ නග්න තුරු පෙළ?

"
හරිත හිස් මුදුනෙහි
මල් කිරුළු පළඳවමී
වන දෙව්ලියක රැඟුමෙහි
තානමට ස්වර අඳිමී

විල් තෙර ඉපැදි ස්නේහෙක
උණුහුමට ගුලිගැහෙමී
ශීතනය කල මතක තොල ගා
සිසිර තරණය කරමී
"



192. කුණු ගොඩට අතහරිමී



බරැති පා ගැටෙන හඬ අසමී
දෙනෙතු තව තදකරමි පියමී
අගුළු ලූ දොරට ඔය නිය'ග වැදෙනා හඬට
සවන් පත් අත්ලතින් වසමී
හිතින් සිය දහස්වර මියෙමී

මාවුලාවෙහි තෙතට කඳුළු පැල්ලම් තියා
නිහඬවම ඉකිය ගිලගනිමී
පපුතුරෙහි වම් පසින්
අකුණු කොටනා රිදුම්
සැලෙන දෙඅතකින් පිරිමදිමී

පිරිමි සුස්මෙක හඬක්
අගුළ මත මලකඩක්
බිම හෙලනු නිසැක බැව් දනිමී
ඇදි ඇදී නික්මයන පාවහන් හඬ මතින්
නොඉවසුම් සුසුම් වගුරුවමී

පෙර භවය,
කුණු ගොඩට අතහරිමී
"ඉතින් පලයන් යැ" හඬ නඟමී
සිහිනෙනුදු පෙනේයැයි සිහින් පැතුමක සුඟක්
අත්බෑගයට ඔබාගනිමී


191. හත්දින්නත්




හත්දින්නත් තරු
හත්දාස් පන්සීයට
හිපොප් නැටුමක

දඩයක්කාර දෙනෙතින්
ගෝනුසු විෂකි වෑහෙන

190. "හරිම කලබල ළමයා"



විල් දියට එබි එබී 
හැඩ බලනකොට වළාකුල
රන්පාට ටියාරාවක් පළඳවා
හාද්දක් දෙනවා හඳ

මහා ඉරිසියාකාරයි හුළඟ
තත්පර දෙකක් ඇතුලෙම
කෑලි කර දමයි කැඩපත

"හරිම කලබල ළමයා"
හඳ හෙමි හෙමෙන් කොඳුරන
උල්කා දැරිය අත
විලට කිරිපැණි මුලක් යවන
නාඬා ඉන්නැයි කියකිය
හාදු පොකුරක් පා කරන


189. අහා, මා සුදුමැලිද?





පියා ගත්තෙමි දෙනයන,
මා වසා ඇදහැලෙන - ඇවිලෙන
හිම පියලි දිලිසුමකට

වසා ඇත්තෙමි දෙසවන,
අබලන් කවුළු පියනෙක
වෙව්ළුමක කට කට හඬට

මටම හිමි ලෝකයකි
කාලෙකට පෙර ම'තුල ඉපැදුන
හිසේ සිට දෙපතුලට
උදා හිරු රැස් ගලන
උණුසුම්ව හද රඟදෙන

අහා,
මා සුදුමැලිද?
මගේ අත් සීතලද?
ඔබේ දැනුමෙක මහත එපමණය!



I closed my eyes,
to the dancing glow,
of the glistening snow......

Closed my ears,
to the stormy rattle,
of the broken window........

For I’ve found my world
Long time ago.....
My heart just dance,
When sunshine flows,
From my head to toe....

Oh FROZEN! Am I ?
That’s all you know!!