Thursday, January 12, 2017

227. එකල පෙම් පත් ලියූ රහස් බස



කළු ලැප්ටොප් තිරය මත
පිපෙනකොට සුදු කේත සටහන් රැස
මතක් වෙනවද ඔබටත්
එකල පෙම් පත් ලියූ රහස් බස?


තනිරූල් පිටු බාගෙක
ලියා හංගා තිබුණු ග්ලොසරිය
සොයා ගන්නට නොහැකිව
සමරු පොත අද ගොළුය - බිහිරිය


මා වටා වැතිරේය කළුවර
පරිගණකයෙන් බිම බැස
මිහිදුම් ධූම අතරින්
දිසෙයි ඔබගේ තරු ඇස


කී බෝඩ් කෙටි පියවර
මතකයෙන් අතුගා ඉවතහැර
දුරම පාරක ඔහේ ඇවිදිමි
තිරය බොඳවෙන්නට පෙර



226. සිහින තව තව සිහිනය


වහින සිරිපොද තරුණය
කවුළුවෙන් පිට තුහිනය
එ'සිරියෙන් හද තෙමනු නොහැකිව
සිහින තව තව සිහිනය

කිණිති සඳ රැස් කිණිතිය
මැවෙති සුරඟන කරලිය
සිඟිති පා එහි තිය තිය
රඟති ඒ රඟ මිහිරිය

මාවුලාවෙහි සැඟවගත් විට
නිදිබරින් බර දෙඇසට
හැම'ත කළුවර කැටිතිය
සිහින පමණකි ඉතිරිය


225. කම්මැලිම කොල්ලෙකුට ලියූවකි


කළබල වීදි ඔස්සේ 
කදෝකිමි එළි අහුලමි
කවුළුව අසල අසුනක
සුළං පහරක නැහැවෙමි

කම්මැලිම පොත් ගුල්ලන්
නිදිගැට කඩන කොල්ලන්
අනේ පව් යැයි නොකියමි
හොඳ වැඩේ කියකියා හිනැහී
වැහි පිණිති හිස තවරමි

මල් කුඩය හකුලා
අත්බෑගයේ සඟවා
චිරිස් ගා මඩ කඩිත්තට පනිමි
දේදුන් හි පැ
පියමනිමි



224. ස්මරණ


පිත්තල පෝච්චිය තුරුල්ලේ
පාට වියැකුණු රෝසමල් මිට
මකුළුවෙක් දැල් වියයි නිදැල්ලේ
අවපැහැති පෙත්තෙන් පෙත්ත යාකර
ස්මරණයන් හාකර

දූලි වැකි කැඩපතක් අතරින්
පෙනී නොපෙනී ඔබ වත
ශතවර්ෂ කිහිපයක සැමරුම්
වැළැඳ ගන්නෙය හදවත

එක්වරම අත් තිරිංගය ඇද
නතර වන්නෙය කාලය
ඔරලෝසු කටු කරකැවේ ආපස්සට

පරඬැල්ව ගිය තෘණ පත්
අතගගා විහිදුවාගෙන අත්
වැයීමෙන් තෙත වළාකුළු තත්
වැටේ වැහිබිඳු 
එක දෙක
එක දෙක
එක දෙක

ඔරලෝසු කටු කරකැවේ 
ආපස්සට!



223. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී?



අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යලි යලිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී'


තටු සිඳුණු නව යොවුන් විහඟුන්
පටු උගුරු පුම්බපුම්බා
අළුත් තනු හොයන කල්හී
පිටුදකින පිටුවහල් කරවන 
කෙටි මගද කියනු මැන මහතුනී,
ළමැද්දට මානා මුදා අත්හල හී?


මුල් ද ලා දළු ද සිඳ
බොල් කඳට ආවඩන දේශයක
වප් අහස ගුගුරුවා ඇද හැලෙන
වැසිදියත් තිත්ත මලකඩ රසකී


පස් අතර හංගා තැබීමෙන්
වසං කල හැකිද වැගිරුණු සීරී
දම් සකක් අලවා උරිස්සේ
උණ්ඩයෙන් නගන වන්දනා ගාථා හඬද,
'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී'?




222. වෙන ගෙදරක - ඔයාමයි ඒ හිටියේ



වෙන ගෙදරක - වෙන කෙනෙක්
---------------------------------------
ඉතිං ඔයා දන්නවද
මං ඇත්තටම බය වුනා
මට ඇහැරුනා ඉබේටම
දාඩිය දාලා, ෆෑන් එක තිබ්බට.
ඩග් ඩග් ඩග් ගාල
පපුවත් ගැහුණා ,දිවත් වේලිලා.

ඔයාමයි ඒ හිටියේ
කෙල්ලෙක් එක්ක ,අතින් අල්ලං
මූණේ තිබ්බ හිනාව !
කාලෙකින් දැකල නෑ
ඒ හැටි සතුටක්
හරියට කොල්ල කාලෙ වගේ.

මාත් හිටියා තමයි එතන
හැඩ නැති ගවුමක් ඇඳලා
මහතට මහතෙ
නාකි වෙලා
මැරිච්චි ඇස් දෙකකුයි
ගෙවිච්චි හිතකුයි එක්ක.

ඔයා මා දිහා බැලුව තමයි
පරණ සෙරෙප්පු දෙකක්
ඉරිච්චි කමිසයක් දිහා වගේ
මට මාර දුකයි
දුකට වඩා තරහ
මට ඔයාගේ මූන සුරන්න හිතුණා.

මම ආවෙම එහෙම හිතාන
ඉස්සරහට,ඔයා ලඟට
එක්කෝ ඔයාගේ
එක්කෝ එයාගේ
හොඳ පාඩමක් උගන්නන්න
ආයෙ බලු වැඩ නොකරන්න.

ආයෙ මට ඉබේටම හිතුනා
මං මොකටද එහෙම කරන්නේ
එපා හින්දනේ යන්ට යන්නේ
මම පස්සට ගියා
ආපහු හැරුණා
ඉකි ගහ ගහ යන්ට ගියා.

එතකොට තමයි ඇහැරුනේ
දාඩිය දාලා ,බය වෙලා
ඔයා නිදි පැත්තක
සමහරවිට හීනෙන් දකිනවා ඇති
වෙන ගෙදරක වෙන කෙනෙක්ව
කවුද දන්නේ?



ඔයාමයි ඒ හිටියේ
-----------------------

මං හිටියෙ බැලේ නර්තනයක
ඇගේ සිහිනිඟේ හැඩ බලාගෙන
හුලං පෙත්තක් වගේ
වට හතක් කැරකිලා
බැලුම් සායේ කොනක් නළවලා
ඈ හිටියෙ නැටුමටම හිත අලෝගෙන


රිදී දල්ලක් වගේ පිපීගෙන
විරාමෙක හිනා පුපුරවාගෙන
නොදී ඉසිඹුවක් මට
උරමතින් අත රුවාගෙන
කුඩා කෙල්ලෙක් වගේ
කියඹු විසුරුවාගෙන

අපි හිටියෙ
බැලේ නර්තනයක


මහන්සිය සියොළඟම ලෙවකනව දැනෙනකොට
අපි උන්නෙ ආලෝක ලපය මැද්දෑවේ
හුස්ම පුම්බා ළමැද උස්පහත් වෙන නිසයි
ඇගේ වත මතකයට නාවේ
අන්න ඒ වෙලාවෙයි 
ඇස් දෙකට එබීගෙන
ඈ මගේ හදට ගිනිලෑවේ


ඔට්ටුවක් තියන්නද
අනුමාන කරන්නත් බෑ නේද රසිකා
ඔයාමයි ඒ හිටියේ!!!




221.


ණයක් අරගෙන ඉරෙන් රන් කෙඳි
එකින් එක බන්දා
සඳක් රැයකට තනි රකින්නෙත්
ආදරේ හින්දා

කවක් අමුණා පොතක සඟවා
පිළිණ දෙමි නන්දා
තවත් දෙදොහක් ඉන්න ඉවසන්
රැගෙන යමි කැන්දා


220.



ප්‍රස්තාරගත කල පසු රස්තියාදුව,
විස්ථාපනය ශූන්‍යව
විස්සෝපයෙනි මම

219. ධූලි ප්‍රතිමා


වස්සානයෙන් ඉක්බිති 
සේදී අතුරුදන් වෙන
ධූලියෙන් කල ප්‍රතිමා
තනා යන්නෙමි සඳවත

සදාකාලික ප්‍රේම ස්මෘති
ඔබට විඳගන්නට හැකි
ළයේ නිවුමෝනියාවෙන් මට
විඳවා මියෙන්නට හැකි


218. ඇදහැලෙයි රැස් ගඟුල, සඳවතේ



ඇස් මතට හිරු කඩා වැටුනත්
සිහින අවතැන් වී නොයේ
හිස් හිතක් පොඟවා හරින්නට
මධු බඳුන් දහසක් තියේ

සිපුම් පහරක් වැදුන
සියුම් මිහිදුම් ලකුණු
සටහන්වු කැඩපතක මුදු මුහුණතේ
ඔබේ දෙකොපුල් මැවී
ඇදහැලෙයි රැස් ගඟුල, සඳවතේ


අන්න ඒ තත්පරේ
ඉකි හඬද දැහැනකට සමවැදේ
හදේ ගැඹුරුම තැනක
ප්‍රේමයක කටුසටහනක් ඇඳේ

217. මලකටත් තියෙනවා අයිතියක් - තමන්ගෙම ආරකට සිපගන්න



ඉඳහිටෙක කටු තුඩක

කොපුල් පිරිමැදගන්න
රෝස කෙල්ලන් කැමති
සියුම් සීරුම් සහිත
සිපුම් කැළැලක් ඉතිරිකරගන්න


පිච්ච වතුසුද්ද නම්

ඉපදිලා ඉන්නේම සිල්ගන්න
ආත්මෙන් ආත්මෙට
එක හදවතක් දරාගෙන ඉන්න


ඉතිං තේරුම් ගන්න

මලකටත් තියෙනවා අයිතියක්
තමන්ගෙම ආරකට සිපගන්න


බැරිම වුනොතින් ගිහින්

සිල්ගන්න.

216. අත්වැසුම් ඇඳගෙන එන්න!



මැලියම්
වහා ඇලවෙන සුළුය
ඇඟිලි තුඩු පරිස්සම් කරගන්න

සැමරුම්
හදේ පැළවෙන සුළුය
නොදැක්කා වගේ නික්මීයන්න

මල් ලපෙති ඉතිරිකර
නටු කැබලි ගිනිලන්න
කටු ඇනෙන්නට හැකියි
ඝනැති අත්වැසුම් ඇඳගෙන එන්න!

215. ඔබ නිදයි



හීතලේ නිදිගත්තු
කුඩා කුරුමිණි සත්තු
මීදුමෙන් වැසීගත් අධිවේග මාවතේ
පාද විදහා ඈනවිලි හරියි

මීන නෙත් යුග පියා
ආසනය මත ගුලිව
ඔබ නිදයි

ක්ෂීන වූ ස්නේහයක
බිඳුණු නටඹුන් කැබලි
ක්ෂීර සාගරය බඳු කොපුලතක
රැලි සරැලි අතල සසැලෙනු පෙනෙයි

කුඩා කුරුමිණි සත්තු
කිඳා බැස හදවතට
මා පෙළයි

වගේ වගකුත් නැතිව
ඔබ නිදයි

Wednesday, October 12, 2016

214. ඇත්තටම බොරුවට!



"එයා කියන දේ මං අහන්නෙත් නැති
මං කියන දේ එයාට වැඩකුත් නැති 
අපි කතා කර කර හිටියත් පාළුවට!!!"

- හෂාන්ගේ කවියක් -



බැරිද මටත් හදා දෙන්න උණු කිරි එකක්?
හොඳටෝම දැනගෙනත්
මුහුදු කිහිපයක් පහුකරගෙන
කිරි වීදුරුවකට එන්න බැරි බව

එන්නද ඊළඟ උපන්දිනේ දවසට
හාදු ඇරෙන්න මොනවද ඕනෙ ඔබට
මං අහන්නෙත්
ඔබ තොඳොල් වෙන්නෙත්
බොරුවට, 
ඇත්ත දකින්න බැරුවට

දශකයකටත් පස්සෙ
කටහඬම විතරක් නොවෙනස්ව
(වෙනස්කම් තේරුම්ගන්න අකමැතිව)
මේ ඇමතුම් සේරෝම පාළුවට
පාළුව උහුලන්න බැරුවට

ඇත්තටම බොරුම බොරුවට!


213. කුඩා තරුවට ඔබේ නම දෙමි



අවරගිර අහසෙහි
ඔබේ රතදර අලවමි
බිඳෙන සිඳු රල මත
සිනහ අහුරක් තවරමි

නොතිත් වැසිවට දවසක
ඉන්ද්‍රචාපය වෙනුවට
ඔබේ හැඩකල ඇහිබැම
පායා එන්න සලසමි

ඝනකම අඳුරු කැටියක
එතී රෑ මැදියමේ ඇහැරෙමි
ඉන්ඩිගෝ පැහැ ඇති
කුඩා තරුවට ඔබේ නම දෙමි