Showing posts with label සමූහ කවි. Show all posts
Showing posts with label සමූහ කවි. Show all posts

Thursday, January 12, 2017

245. ළිං මැඩි



ළිඳ කියයි
මැඬියනී මෙහි ඉන්න
රස පාසි වළදින්න..!!

පත්ලෙ ඇති අදුරෙහිම
ගිලී සැගැවී ඉන්න..
ආකාසෙ බැබැලෙන්නෙ
ගිණි පිබින මකරෙක්‍ ය..
ගෑවුනෝතින් කිරණ
හුගක් පිච්චෙයි ඔන්න..

- අනුශ්ක ප්‍රනාන්දු -

එන්න ආසයි තමයි,
Annual leave ටිකත් එහෙමමයි
ලා රෝස බිකිනියක් ඇඟලන්න
සන්ස්ක්‍රීන තවරාන - සන්ග්ලාස පළඳින්න
ඇඟිලි ගැන ගැන ඉන්නෙ
ඇත්තමයි...

කොපුල් තෙතබත් කරන්
ඇහැට කළුවර අරන්
නෝක්කඩු කියනකොට
අපේ ළිඳ, පුංචි දරුවෙක් වගෙයි
දාල යන්නත් බැරුව
අරං එන්නත් බැරුව
දෙගිඩියාවෙන් නිතර හිත බරයි

තව වතාවක් දෙකක් කියන්නම්,
තරු කඩාදෙන පිළිණ තියන්නම්
අපේ ළිඳ, අපිව තේරුම් ගනියි.

පව් ඉතිං,
එයා දැන් පුංචි දරුවෙක් වගෙයි.

- බස්සි -


222. වෙන ගෙදරක - ඔයාමයි ඒ හිටියේ



වෙන ගෙදරක - වෙන කෙනෙක්
---------------------------------------
ඉතිං ඔයා දන්නවද
මං ඇත්තටම බය වුනා
මට ඇහැරුනා ඉබේටම
දාඩිය දාලා, ෆෑන් එක තිබ්බට.
ඩග් ඩග් ඩග් ගාල
පපුවත් ගැහුණා ,දිවත් වේලිලා.

ඔයාමයි ඒ හිටියේ
කෙල්ලෙක් එක්ක ,අතින් අල්ලං
මූණේ තිබ්බ හිනාව !
කාලෙකින් දැකල නෑ
ඒ හැටි සතුටක්
හරියට කොල්ල කාලෙ වගේ.

මාත් හිටියා තමයි එතන
හැඩ නැති ගවුමක් ඇඳලා
මහතට මහතෙ
නාකි වෙලා
මැරිච්චි ඇස් දෙකකුයි
ගෙවිච්චි හිතකුයි එක්ක.

ඔයා මා දිහා බැලුව තමයි
පරණ සෙරෙප්පු දෙකක්
ඉරිච්චි කමිසයක් දිහා වගේ
මට මාර දුකයි
දුකට වඩා තරහ
මට ඔයාගේ මූන සුරන්න හිතුණා.

මම ආවෙම එහෙම හිතාන
ඉස්සරහට,ඔයා ලඟට
එක්කෝ ඔයාගේ
එක්කෝ එයාගේ
හොඳ පාඩමක් උගන්නන්න
ආයෙ බලු වැඩ නොකරන්න.

ආයෙ මට ඉබේටම හිතුනා
මං මොකටද එහෙම කරන්නේ
එපා හින්දනේ යන්ට යන්නේ
මම පස්සට ගියා
ආපහු හැරුණා
ඉකි ගහ ගහ යන්ට ගියා.

එතකොට තමයි ඇහැරුනේ
දාඩිය දාලා ,බය වෙලා
ඔයා නිදි පැත්තක
සමහරවිට හීනෙන් දකිනවා ඇති
වෙන ගෙදරක වෙන කෙනෙක්ව
කවුද දන්නේ?



ඔයාමයි ඒ හිටියේ
-----------------------

මං හිටියෙ බැලේ නර්තනයක
ඇගේ සිහිනිඟේ හැඩ බලාගෙන
හුලං පෙත්තක් වගේ
වට හතක් කැරකිලා
බැලුම් සායේ කොනක් නළවලා
ඈ හිටියෙ නැටුමටම හිත අලෝගෙන


රිදී දල්ලක් වගේ පිපීගෙන
විරාමෙක හිනා පුපුරවාගෙන
නොදී ඉසිඹුවක් මට
උරමතින් අත රුවාගෙන
කුඩා කෙල්ලෙක් වගේ
කියඹු විසුරුවාගෙන

අපි හිටියෙ
බැලේ නර්තනයක


මහන්සිය සියොළඟම ලෙවකනව දැනෙනකොට
අපි උන්නෙ ආලෝක ලපය මැද්දෑවේ
හුස්ම පුම්බා ළමැද උස්පහත් වෙන නිසයි
ඇගේ වත මතකයට නාවේ
අන්න ඒ වෙලාවෙයි 
ඇස් දෙකට එබීගෙන
ඈ මගේ හදට ගිනිලෑවේ


ඔට්ටුවක් තියන්නද
අනුමාන කරන්නත් බෑ නේද රසිකා
ඔයාමයි ඒ හිටියේ!!!




Thursday, November 12, 2015

170. දැන් ඉතින් ආයෙම හිම!

සමූහ කවියකි.

ලිව්වේ :
අමා ජයසිංහ, හෙල්මලී ගුණතිලක, M.K.C.P. ශෂීන්, විසල් සේනාතිලක, දිනේෂ් සිල්වා, මානෙල් ප්‍රනාන්දු, යශෝධා සම්මානි





ගිනි රත් තැඹිලි පෑ සළු
උනා හැර නිරුවත් වේය තුරු
අවසන්ය සාද දැල්වුම
දැන් ඉතින් ආයෙම හිම!

රත් තැඹිලි කහ පෑ
නෙක පත් නිදයි අතර පොත් පිටු
සහස් පත් සරසාවි මගතොට
සුලංරැලි හා පියාසැරියක,
අහුලගන්නට නොමැත කිසිවෙකු !

හිම පියලි අස්සේ  
තණ පත් නිදයි සිත්සේ 
කහ පැහැති සඳ ඉරි 
තුරු පේලි අතරින් වෑස්සේ

සුදු පැහැ පසු බිමක
දිගටෝම කළු ගැහුණු තුරු
එන්නත් කළින් ගල් වුණු
හිම මිනිහෙකුගේ කඳුළු

සීනි කුඩු වැස්සේ
සිහින සැඟවේ තුහින බිස්සේ
උඳුන් ගිනි අස්සේ
දර පතුරු හෙමි හෙමින් ගැස්සේ

ඉතින් ප්‍රිය මහත්වරු
සෙමෙන් රැය පහන් වන තුරු
මදුවිතක් ඇවැසිමයි
මහත්මිය නිදි ගත් පසු

දර දැවී අළු ඉතිරිවී
හිම වැටී අළු  නිවිනිවී
යුෂ මිදී තොල් තෙමී
හිත මැරී සාදය නිමවී

අතැර යනු නොහැකිව 
තුරක නිරුවත් පපුතුර 
හිස හොවා වැලපෙන 
ගිනි රත් තැඹිලි පෑ
මේපල් පතක කඳුලක්  
මිදී ඇත තුරු අග

දැන් ඉතින් ආයෙම හිම!