Wednesday, September 9, 2026

323. අප අතර ඇති ඇබිති විශ්වය

 


ඔබේ ඝන ඇහිබැමක 

මගෙ දෙතොල් සැරිසැරීමෙන් පසු ය

කුඩා තරු වළල්ලක් ඉපදුනේ ~

අන්න ඒ මොහොතෙදියි

අප අතර ඇති ඇබිති විශ්වය

මගෙ හදවතේ මැදක ඇමිණුනේ ~


යුනිකේත සංවාද කවුළුවක

සල්ලාප ග්‍රහලෝක ඉදිවෙයි

ඔබෙ ලෝකයේ මලක්, සිඟිති සමනලෙක්, ගී දෙපදයක්

මගේ ලෝකය වෙතට පැමිණෙයි - 

නිලා කූරක් වගේ සනහස ඉපිලෙයි


චොකලට්ටුවක - චායි මග් එකක

රෙසිපි වැරදිච්ච රසකැවිල්ලක

ගුරුත්වාකර්ෂණය, 

හිතන්නට බැරි තරම් දරුණුයි

ඔබව මට කොච්චරක් පුරුදු දැයි හිතෙනකොට

පපුව මැද කළුකුහර කකියයි


නෙබියුලාවක් වගේ නිහඬබව

හාත්පස වසා ගත් මැදියමක

උල්කාෂ්මයක් වන් අහඹු දුර ඇමතුමක් පැමිණෙයි

කල්පාවසානයට පෙරාතුව

කෙටි "සදාකාලයක්" බිහිවෙයි


ඉතින් කවදාක කොහොම දැයි මම නොම දනිමි

රහස් විශ්වයක් අප දෙදෙන'තර ඉපදුනේ ~

එයින් මතු ඔබ වගෙම මුරණ්ඩුව

මගෙ හදවතේ මැදක ඇමිණුනේ ~


2 comments:

  1. ලස්සනම වචන...✨

    ReplyDelete
  2. ඔබ කියන ඇබිති විශ්වය
    ඉපදුණේ කවදාදැයි නොදනිමි,
    දෙතොල් තැබූ ඇහිබැම මත
    තරු තවම නිවී නැති හැටි දනිමි.

    සංවාද කවුළුවෙන් රෑ පුරා
    වදන් එහා මෙහා සැරිසරයි,
    ඔබ එවූ මලක සුවඳ පවා
    මගේ අහසේ තරුවක් වෙයි.

    කවදා කොහොම ඉපදුණාද
    මේ රහස් විශ්වය නොදනිමි,
    ඔබ මුරණ්ඩුව මගෙ හදේ නම්
    මමත් ඔබේ හදේදැයි සිතමි.

    එක දෙයක් පමණක් දනිමි
    දුර ගියත් මේ බැඳුම නොබිඳෙයි,
    ඔබ මගේ ලොව ග්‍රහලොවක් නොව,
    මගේ හැම කක්ෂයක්ම
    හැරී එන සූර්යයා වෙයි.

    ReplyDelete