Friday, January 13, 2017

257. හුස්ම ගන්නා හඬ පවා මට ඇහෙනවා



කොට්ට උරයක
තෙත කඳුළු ලප
සද්ද නැතුවම මකනවා

තට්ට තනියම
ඉන්න මොහොතක
නෑහෙන්න කවි කියනවා
ඔබට ඉඳහිට ඇහෙනවා

වෙට්ටු දාගෙන
වැටෙනකොට ඉර
මදනලක් වී හමනවා

හුස්ම ගන්නා හඬ පවා මට ඇහෙනවා
ස්නේහයෙන් ඔබ වෙලාගෙන ලඟ ඉන්නවා

256. ස්වප්න විමනේ සරන සොඳුරී




ලොම් බ්ලැන්කෙට්ටු පොරවා
අත් පා වකුටු කරවා
කොම්බුවක් මෙන් ඔහේ වැතිරී
ස්වප්න විමනේ සරයි සොඳුරී


"එහෙත් මේ දවස්වල නත්තලද?
හිම කැටිති වැටෙනවද, හීතලද?
නිම නොවෙන වසත් උද්‍යානයක
වොල්ට්ස් සංගීතයක් අහනවද?

දම්පාට මල් වැටුණු ගැහැණු කුඩ
මග දිගට රවුම් කරකැවෙනවද?
කසකසා ඇට දාපු පැණි බීම
බිලිං අච්චාරු රහ බලනවද?

පර්සියන් බළල් නෝනාවරුන්
සිනිඳු පායුග වටේ සරනවද?
ලා රෝස හිස්වැසුම්, පාවැසුම්
කඩවීදි පුරවලා තියෙනවද?

ඔබ සරන මාවතක
බිම්මලක් - මල් ගහක්
කුඩා සමනළෙක් වී
මමත් යන්තමට හරි ඉන්නවද?"

 දන්නවද ඔබ ඔහොම නිදනකොට,
මං සිහින දකින්නේ,
ඇස් දෙකම ඇරලයි!

255. සදා සවුදිය පුරන්නට හැකිය



හීන් ඇස්වල කඳුළු පුරෝගෙන
හීතලට ගුලි ගැහී මා දිහා බලනකොට
කීතුකර පෙම් හසුන්
උඳුන අවුළුවාලන්නට හැකිය.

පීරිගා සඳවතෙන් කොටහක්
සීනි වෙනුවට අත්ල පුරෝගෙන
කෝපි ඔඩමක් මැදින්
සදා සවුදිය පුරන්නට හැකිය.

කවි පොතක් - වෙණ තතක්
තාරකාවක් වුනත්
ගින්දරට විසිකරන්නට හැකිය.

254. යලිදු රහසින් සසැලෙමි



පහන් සිළු නිවි නිවී යනු දැක
දස දහස් වර සසැලෙමි
අවකැපෙන දුස්ස්වප්නයක් මැද
රෑ මැදියමේ ඇහැරෙමි

ආදරිය මේ විසල් ප්‍රේමය
මා හදේ කෙදිනක උපන්නෙද
ධූලි වැකෙමින් සැඟව උන්නෙද
නිරතුරු විපලිසර වෙමි
එනතුරු දෙනෙත දල්වමි
යලිදු රහසින් සසැලෙමි

253. අත් බැඳුම් අත් හරිනු පිණිසය



ප්‍රේමයෙහි පැවතීම
අත් බැඳුම් අත් හරිනු පිණිසය

සරා ගව් සියක් දුර
දරා හද අගුළු බර
විරාගික මදහසක
කිමිදෙමින් සැනහීම පිණිසය

ප්‍රේමයයි කියන්නෙම
ඉමක් නැති නිල් අහසය
නිල් දියෙන් ඉතිරිච්ච
නමක් නැති දුල් දෙනෙතය

252. හදවතේ කටු ඇනුණී



බිංදු වැහි සළුවක් පොරෝගෙන
හැන්දෑව කුරගගා පැමිණී
සින්දුවක අන්තරා කොටසක
රෝස පෙති කිහිපයක් මිමිණී
හදවතේ කටු ඇනුණී

"කරදාසි ඔරු තියෙන්නේ දියබත්වෙන්නමයි මායා
සරදාකාශයක වුවත් අව අටවක නොඒවිද පායා?
පවතින්න පුළුවනිය අපේ ඇස නොගැටී, පිලිස්සී හළුවී - නැතොත් වැළලී
පෙරවදනකින් පසුව අවසැඟව ගිය නවකතාවක සේයා"

කන්ද කෙන්දක් බවට හරවා සඟවමි
ඇහිපියන් ඇතුලත කාටවත් නොපෙනී
අන්ධ අඳුරේ සින්දුවක අන්තරා කොටසක්
දෙතොල් මතුයේ පිපුනී
මන්ද නොදැනම
කොපුල් මත හිම මිදුණී


Thursday, January 12, 2017

251. දම් පැහැති ස්වප්න සුණු



දම් පැහැති ස්වප්න සුණු අහුරක්
සීරුවට අහුලා - ඕතම සුළං මැද වියළා - පෙමින් අසුරා
පෙම් සිතැති කුඩා මව්වත් අඟනක්
ම අත පත් කර ඇතියෙන්

තර්ටි ෆස්ට් සැමරුම් මිටින් ගෙන 
කවුළුවෙන් එපිටහට අතහරිමි
ගිල්ටි නොදැනෙනු පිණිස
හෙට්ටු කල නොහැකි මාකැට්ටුවෙන් 
දම් ස්වප්න සුවඳ කැටියක් ගෙනෙමි
කුඩා එලි තිතක එසුවඳ දකිමි

මදි පාඩු නොවෙන්නට
ඉන්ද්‍රජාලමය සේයා සොයමි
ලැවැන්දර පැහැ විසුල අහස යට
ස්වප්න සුණු අතර මුසපත්වෙමි!

250. කුහුඹු මිනිසුන්‍ ය අපි



කුහුල දනවන කුහුඹු මිනිසුන්‍ ය අපි
රෝස මල් හිස පතිතවන තුරු කල් බලන
තුමුල මල් උද්‍යාන - තුරු ගොමු නොදකින

තටු ඉරීගිය සමනළෙක් ගැන
පිටු ගණන් වාද - අවලාද - සංවාද අවසන
මධු සාද මැදින් හිස බමමින් නික්ම යන

කුහුල දනවන කුහුඹු මිනිසුන් ය අපි
කටු ඇනී ලේ ගලන දෙපතුල් නොපෙනෙන
රෝස මල් හිස පතිත වනතුරු 
දින ගණින.


249.


'මුජ්කෝ පතා හේ'
එබැවින්
ඔතන ඔහොමම නිහඬවම ඉන්න
'කුච් නා කහෝ' වැයෙන එ'හැමවර
අත්ල සීතල මන්ද නොඅසන්න!

248. දිනුම නොමදෙන්නමද අදහස?



අතැඟිලි පහස පතමින්
මවාගත් අමනාපෙන්
කවුන්ට් ඩවුනයක මම

සයනයේ කෙලවර හිඳ
මුවා කර සඳ රැස් කඳ
කල්පනාවක කල්මරන්නේ 
ඔබ

දිනුම නොමදෙන්නමද අදහස?

උහුලන්නට අමාරුම
ඕඩිකොලෝන සුවඳ ඉහිරෙන මුහුලස
පිරිමි හිත ගල්වා තෙත
කෝ ඉතින් සොලවන්න මගෙ වම් උරහිස


247. තුරුණු හිතුවක්කාර පිනි බිඳක්



හිරු නැගෙන්නට පලමු
මලින් මල නොදැක්කා සේ ඇදෙති
පෙලින් පෙල ඉක්මන් දෙපා අදිති
පලින් පල සෙවණක් හොයාගනිති - වහා සැඟවෙති
හුදී පිනි-ජනසන්නිපාතයක්

දහසකුත් එකක් පිනි බිඳු වෙසෙන
හුදී පිනි-ජනසන්නිපාතයක්

එහෙව් ජනපදවලත්
ඉන්නවා කලාතුරකින් වුනත්
ලය ඇනී හිරු කිණිසි
මියෙන බැව් දැන දැනම
මල් දෙපෙති හැකි වැරෙන් සිපගන්න
තුරුණු හිතුවක්කාර පිනි බිඳක්

"පිනි බිංදු කියන්නේ
හිරුට ලය පා මියෙන උදාරම් උදවියැ'යි"
කඩින් කඩ පෙනී නොපෙනී ගියත්
තුඩින් තුඩ රැව් නගන්නට සමත්

මියෙන බැව් දැන දැනම
මල් දෙපෙති සිපගත්ත
තුරුණු හිතුවක්කාර පිනි බිඳක්


246. මතක බරණිය පෙරළුනා



ඔබේ සුළැඟිල්ලක් වැදී
මතක බරණිය පෙරළුනා
සිහින් නිය පහරක් ඇඳී
වැසූ දොරගුළු සීරුනා

ඔබත් දන්නැති
මමත් දන්නැති
අකීකරු තනුවක් ගෙනා
රහස් අකුරැති
කේත බසකින්
අමුතු කවියක් ලියැවුනා

245. ළිං මැඩි



ළිඳ කියයි
මැඬියනී මෙහි ඉන්න
රස පාසි වළදින්න..!!

පත්ලෙ ඇති අදුරෙහිම
ගිලී සැගැවී ඉන්න..
ආකාසෙ බැබැලෙන්නෙ
ගිණි පිබින මකරෙක්‍ ය..
ගෑවුනෝතින් කිරණ
හුගක් පිච්චෙයි ඔන්න..

- අනුශ්ක ප්‍රනාන්දු -

එන්න ආසයි තමයි,
Annual leave ටිකත් එහෙමමයි
ලා රෝස බිකිනියක් ඇඟලන්න
සන්ස්ක්‍රීන තවරාන - සන්ග්ලාස පළඳින්න
ඇඟිලි ගැන ගැන ඉන්නෙ
ඇත්තමයි...

කොපුල් තෙතබත් කරන්
ඇහැට කළුවර අරන්
නෝක්කඩු කියනකොට
අපේ ළිඳ, පුංචි දරුවෙක් වගෙයි
දාල යන්නත් බැරුව
අරං එන්නත් බැරුව
දෙගිඩියාවෙන් නිතර හිත බරයි

තව වතාවක් දෙකක් කියන්නම්,
තරු කඩාදෙන පිළිණ තියන්නම්
අපේ ළිඳ, අපිව තේරුම් ගනියි.

පව් ඉතිං,
එයා දැන් පුංචි දරුවෙක් වගෙයි.

- බස්සි -


244. බොම්බයිමොටයි කෙන්දක්



බොම්බයිමොටයි කෙන්දක්,
පලින් පල ඉරී ගිය,
මැජික් අත්තටු අණ්ඩ ලා ගන්න,
මට දෙන්න තද ෆලූඩා පාට,
බොම්බයිමොටයි කෙන්දක්.

කිරමයි ජෙලියි හැන්දක්,
රනින් රන් එළි කිරණ විහිදන්න,
මැණික් කුඩු අලවන්න,
මට දෙන්න හොඳට උකු,
කිරමයි ජෙලියි හැන්දක්.

රස්තියාදුවෙ යන අතරමග,
දෙස් තියා ඇස් වපරකර බලන,
හිස්ම හිස්ගෙඩියකට,
ටොක් ගා අතහරින්නට,
මට දෙන්න බැදපු රටකජු අහුරක්.

කස ඇට දාපු සරුවත්,
අහම්බෙන්වත් දුටොත් ගොළුවෙච්ච හදවතක්,
බෙදාගෙන සව්දිය පුරන්නට,
මට දෙන්න සීනි වැඩි,
කස ඇට දාපු සරුවත්.

හැම එහෙකටම කලියෙන්,
මෙන්න මේ ඉරුණු අත්තටු අණ්ඩ ලා ගන්න,
මට දෙන්න - මට දෙන්න,
බොම්බයිමොටයි කෙන්දක්!

243. මම දන්නවා පාවෙල්



මම දන්නවා පාවෙල්
ඔබ ඔතැන ඉන්න බව
දුම් වළලු උඩ යව යව
“ඔබ ගාව” සිවුරුහන් කරන බව

මම මෙහෙම කියනකොට
කට කොණින් මදහසක් නගන බව
මට දැනෙනවා පාවෙල්
තරු මල් කඩා ගෙනත්
‘රෑ සීත’ මටත් දැනෙනා තුරා
ඔබ ඔතැන මග බලා ඉන්න බව