Thursday, January 12, 2017

215. ඔබ නිදයි



හීතලේ නිදිගත්තු
කුඩා කුරුමිණි සත්තු
මීදුමෙන් වැසීගත් අධිවේග මාවතේ
පාද විදහා ඈනවිලි හරියි

මීන නෙත් යුග පියා
ආසනය මත ගුලිව
ඔබ නිදයි

ක්ෂීන වූ ස්නේහයක
බිඳුණු නටඹුන් කැබලි
ක්ෂීර සාගරය බඳු කොපුලතක
රැලි සරැලි අතල සසැලෙනු පෙනෙයි

කුඩා කුරුමිණි සත්තු
කිඳා බැස හදවතට
මා පෙළයි

වගේ වගකුත් නැතිව
ඔබ නිදයි

Wednesday, October 12, 2016

214. ඇත්තටම බොරුවට!



"එයා කියන දේ මං අහන්නෙත් නැති
මං කියන දේ එයාට වැඩකුත් නැති 
අපි කතා කර කර හිටියත් පාළුවට!!!"

- හෂාන්ගේ කවියක් -



බැරිද මටත් හදා දෙන්න උණු කිරි එකක්?
හොඳටෝම දැනගෙනත්
මුහුදු කිහිපයක් පහුකරගෙන
කිරි වීදුරුවකට එන්න බැරි බව

එන්නද ඊළඟ උපන්දිනේ දවසට
හාදු ඇරෙන්න මොනවද ඕනෙ ඔබට
මං අහන්නෙත්
ඔබ තොඳොල් වෙන්නෙත්
බොරුවට, 
ඇත්ත දකින්න බැරුවට

දශකයකටත් පස්සෙ
කටහඬම විතරක් නොවෙනස්ව
(වෙනස්කම් තේරුම්ගන්න අකමැතිව)
මේ ඇමතුම් සේරෝම පාළුවට
පාළුව උහුලන්න බැරුවට

ඇත්තටම බොරුම බොරුවට!


213. කුඩා තරුවට ඔබේ නම දෙමි



අවරගිර අහසෙහි
ඔබේ රතදර අලවමි
බිඳෙන සිඳු රල මත
සිනහ අහුරක් තවරමි

නොතිත් වැසිවට දවසක
ඉන්ද්‍රචාපය වෙනුවට
ඔබේ හැඩකල ඇහිබැම
පායා එන්න සලසමි

ඝනකම අඳුරු කැටියක
එතී රෑ මැදියමේ ඇහැරෙමි
ඉන්ඩිගෝ පැහැ ඇති
කුඩා තරුවට ඔබේ නම දෙමි

212. ගැහැණු ළමයි



ලෝදියේ අගාධයේ
දැවී කුසුම් 
ගැලැවෙයි එකින් එක පෙතී
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි 
බාලිකා මල් තව නැතී

මල් වරම් නම් නොලැබෙතී
වැසි වසිත් කැට කැබිලිතී

සිලිටි වතකට පැන් ඉහින්නට
කොයි කාට ඉස්පාසු ඇත්තේ ඔයහැටී
දැහැටි දඬු මෙන් ගැහැට විඳගෙන
කහට දත් පෙන්වන හිනාවක් වුව වටී

අන්න ඒකයි පද්මිනී
මං ආදරේ ඔබට මේ හැටී!


Friday, September 30, 2016

211. 'උතුම්-පැතුම්' රාක්කයේ ගොම-කොල පාට ටෙඩිවළහා




බදාගෙන මේ සීත වීදුරු බිත්තිය
දවස් එකසිය හැටක් ගතවිය, තිත්තය!
හප හපා ගෙල බැඳි රිබන් පටි
නරඹන්නෙ මෙගා ටෙලියක් වගේ 
තුම්මුල්ල හංදිය

ගුම් සරින් බමන රෝද තව තව රෝද
කන් අඩිත් පුපුරුවන හයිපිච් හෝන් නාද
කොයි රටෙත් ට්‍රැෆික් කණු මේ විදියද?
රත් කරන් තනි ඇහැ නිතර ඔරවනවද?

එක්ස්කියුස් මී, කැරළි කොණ්ඩා මෙනෙවිය,
එක්කරන් යන්න බැරිනම් – එක්වරක්වත් මා වඩා ගන්නවද?

ඩෙනිම් කලිසම්, පාට බාටා අඳින
කෙසඟ කළු උස කොල්ලන්ට මම කැමතිම
බෝඩ් උස්සං වටරවුම වටලනකොට
කියෝගමි එක හුස්මකට රතු අකුරු ඔක්කොම

දන්නවා මං මේ ටෙඩි-වළස්-දෛවය
ගොම-කොල පාට කියන්නෙ පූරුවේ කල කරුමය

එක්ස්කියුස් මී, කැරළි කොණ්ඩා මෙනෙවිය,
සැන් වැලන්ටයින් සමරන දවසට
මං දිහාටත් අත් දෙකක් දිගුවේවිද?

Thursday, September 8, 2016

210. රාජ්‍ය සාහිත්‍ය සම්මාන - 2016 - කාව්‍ය

අවසන් වටය සඳහා නිර්දේශිත කෘති පහත පරිදිය.

නැති වුණු දෙවිවරු - එරික් ඉලයප්ආරච්චි
නැණසිලුමිණ නම් උමන්දානන්දය - දර්ශන රත්නායක
නිහඩව ගලන මේ ගඟ - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
මම ද ප්‍රේමවන්තයෙක්මි - විරාජ් කරුණානන්ද
සුදු වත ඇදි කෙකිනිය - සුහර්ෂණී ධර්මරත්න
සිහින සක්මන - ධම්මික බණ්ඩාර
කාව්‍ය රූපාවාලිය - විපුලි නිරෝෂිණී
එලඹෙන අගෝස්තුව - අජිත් තිලකසේන
සඳගිර පාමුල - රත්නශ්‍රී විජේසිංහ
තීර්ථය අසබඩ - බුද්ධදාස ගලප්පත්ති
රැය විදිමි, නොවිදිමි - ධනුෂ්ක එදිරිවීර බණ්ඩාර
එහෙටත් වහිනවැති - සඳුන් ප්‍රියංකර විතානගේ

මේ අතරින්, "නැණ සිළුමිණ නම් උමන්දානන්දය" ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය උදෙසා වන රාජ‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගන්නා ලදී.


209. ගොඩගේ සාහිත්‍ය සම්මාන - 2016 - කවි


208. උපලබ්ධ



හාත්පස අළු අඳුර
පාත්වෙන කළු වළා කැටියකින් බට
හිරිපොදක් පය අද්ද අද්දා ඇදේ පහළට
පහළට

වාමුවා වීදුරුව සිපගත්
අධිවේග වැහිපොද දිවිල්ලේ
පහළ සිට ඉහළට
ඉහළට

තුංග ගිරි සිරසද
ටර්පන්ටයින් තුරු ද
කුඩා පැල්පත් පෙලද
කඩිමුඩි මිනිස් කැලත ද
එකම එක තනි ඉරක් වෙන මොහොතක,
පසක් වෙන්නෙය ;

සත්පාට කැලැත්තීමෙන් ඉපැදි
සුදෝසුදු ආලෝක පුංජයකි
විශ්වය

207. කක්කුටු ගම



කක්කුටු පොඩිත්තෝ
තනි කෙලින් ටියුශන් යන
සෘජු චලන - මුදු බැලේ නර්තන උගනින

නාඹර මෙනෙවියෝ
අවු කණ්නාඩි පළඳින -හිරු තපින
මූදු වැල්ලේ එරි එරී
කැට් වෝක් යන

වංසවත් කක්කුටු මහත්තුරු
වෙසෙස් ඇත් ගමනක
කුළු දෙකන්පෙති වෙනුවට
කුඩා අඬුබඬු පද්දන

කක්කුටු ගම
පාරවල් විතරක්ම ඇද
අවශේෂ වැඩ සේරම
රූලට තිතට සිදුවෙන

206. තවත් මට මග බලතැකී



තරුත් ඉඳහිට රහස් කිවුවත්
සවන්පෙති ගන්වා කිතී
සුරත් රතඹර පෙතිත් එක දෙක
හැලී හැකිලී නිදිගතී

සියක් පිණි කැට අහුල අහුලා
සඳවතිය මුව දොහොවතී 
නැතත් අත ලඟ තියන් හිත අග
තවත් මට මග බලතැකී


205. පාර වැරදුනෙද, නැත, රාහු ගිල්ලෙද?


මීරි නෙළුම් තුඩු පුබුදා දැහැන් බිඳ
සාර සියක් සිතුවම් හද බිතෙහි ඇඳ
නෑර දෙඅත් එමි-ඉමි පිළිණ දුන් සඳ
පාර වැරදුනෙද, නැත, රාහු ගිල්ලෙද


204. අපි අද ගැඹුරු නින්දක!



දිගු දහවලක අවසන
මාවුලාවක එරෙන මොහොතක 
මා විඩා වත මතින් මැවෙනා සිහින
රැය අගිස්සෙහි 
අහම්බෙන් හිත මතට කඩාවදිනා සිහින

අලස සැන්දෑවරුවක 
යාන්තම් නෙතු පියෙන ඇසිල්ලක
නිලාකූරක් වගේ මල් පුළිඟු ඉහිරවාලන සිහින
බඹරචක්කර කැරකි කැරකී
අවදිවීමෙන් පසුත් හිස බමනා සිහින
සැලෙන නෙතු පියගි'න් මකා සැඟැවූ සිහින

පියාපතකින් අහුලන
සිනා මිටකින් දොහොවන
කුඩා අතකින් පත්තිරු පුරා අතුරන
සිහින විදුදැරිය; මාලතිය

අද හෙට පියවි සිහියෙන් 
සිහින නරඹන අටියෙන්
අපි අද ගැඹුරු නින්දක!


- උණුසුම් සුභපැතුම් කිවිඳිය!!!


මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ බ්ලොග් අඩවියට මෙතැනින් පිවිසෙන්න.


Tuesday, August 16, 2016

203.ඔබ සුවෙන් වෙසෙන බැව් හඟවන්න!



සුළඟෙ සැලි සැලි රඟන
කුඩා මල් දළු පොඩිති
සතුටු බමනෙක නංවගෙන යන්න
වළා මිටියාවතට ඇරලන්න

තුංග තුරු සෙබළුනට
හරිත නිල හිස්වැසුම් අන්දන්න
සිඟිති කුසුමින් තැනූ පදක්කම්
ඒ අතර තැනින් තැන රන්දන්න

ඇබිති පපු පුම්බාන
උච්ච ස්වර අතගාන
සකුණ ගායන නඩය කැන්දන්න
හිරු කිරණ එකට බැඳ
සුරු බටිත්තෙකුගෙ හිස
විරු කිරුළු උපහාර පළඳන්න

වසන්තය වසන්තය
ඉතින් ඔය අත් නඟා
ඔබ සුවෙන් වෙසෙන බැව් හඟවන්න!

202.මගේ මූසික හදවත



අඳුරු සෙවණැලි සෙවන යට සැඟැවී
අතීතෙන් අත් හැරුණු දවසක කොනක ගුලිවී
ඉව කරන ඉමිහිරි මතක මධු විත
මගේ මූසික හදවත

රුදුරු නිය පහුරු දැක සසැලී
දිවගගා පැරණි කැළලක්, කරමි එලි පෙහෙළී
ගිඩි ගිඩියෙ උඩ පැනපැන ගැටෙන ඉලඇට මත
මගේ මූසික හදවත

සොඳුරු පෙම් හසුන් සුවඳක කිමිදී
සැමරුම් මතින් යලිත් යලි යලිත් ඉපදී
සෙනෙහෙ රස හොයා කකියවන දත
මගේ මූසික හදවත

Wednesday, May 4, 2016

201. එකම එක දිග හවසක



"සහෝදරයා මේ සිස්ටම් එකෙයි වැරැද්ද
අසාධාරණ ලෝකෙක - සාධාරණ ඩිසිශන් කොහෙන්ද?"
මිස්ටර් පෙරේරා බලන්නෙම ඔළුව ඇල කර
බ්‍රිස්ටල් එකට දබරැඟිල්ලෙන් හීනියට තට්ටුකර, අළු කඩකඩ

පුල්ස්කැප් පිටුවල තීරු වගු ඇඳ රූලට
දවස තිස්සෙම බැලන්ස් කරන්නෙ නූලට
ගැස්සුනොත් හෙම බොස් ඉන්නෙ අස්වීම අත උඩ තියාගෙන
කිස් කද්දි හිත ෆයිල් මැද දියවෙන සිහින අස්තීරය

කිරිකිරියෙ වෙවුල වෙවුලා විදුලි පංකාව
"සර සරස්" කියකියා දවසෙම හුස්ම බෙදුවට
කිහිලි දෙක ඉක්මනට දියවෙන්නෙ දාඩිය උස්නෙට
සැහැලි කවියක් නෙමෙයි තවලමක් ළමයෝ මේ ජීවිතය

හීනියට එකක් ගත්තම හවසට ඔයා ඉන්නෙම හොස්ස උස්සගෙන
අතින් අල්ලාගන්න හැදුවත් යන්නෙ උරහිස් ගස්සගෙන
තිස් හයක් ගෙවිලා දැන් - තව කීයක්ද කියල දන්නෙත් නෑ මං
ඉස්සර මනෝ මන්දිර පාමුලයි මම තාමත්

ලා රෝස ලිප්ස්ටික් හාදු රැඳුනේම නෑ කමිස කොලරෙක
මාත් ආසයි හීන අහුලන්න අතරමං වෙන්න දවසක
අත්තටු බැඳන් කිමිදෙන්න යන්නට විස්කි පාටැති අහසක
අපි එක්ක අපි අතරමං වෙමු එකම එක දිග හවසක