Tuesday, August 16, 2022

272. "ඇයි දැන් නිතර කවි නොලියන්නේ?"



ටියාරාවක් හිස පැලැන්දූ

සින්ඩරෙල්ලාවකට

තහනම් ය මධු සාද

නෘත්‍ය ආලිංගනත්


කපා දැමුනාට පසු

ආයෙමත් කිසිදාක

වැවුනේම නැත ප්‍රියය

රපුන්සල්මය කෙසක්.


කුඩා දිය කින්නරිය

කඩා ඉවත ලා දිව

ගැයුම නවතා දැමී

වැයුනාද ඉනික්බිති වෙණ තතක්?


කැත ඉලක්කම් ගහණ

පරිඝණක සටහනක

සැඟවෙමිය.

ලදොත් මද ඉසිඹුවක්,

නෙත් අඳුන් තවරාන

බැබලෙමිය.

නැතොත් රෙදි බේසමක

දුම් දමන සූපයක 

දිය වෙමිය.

කිරි සිනහවක් අසා

දිනෙන් දින - පැයෙන් පැය

සැනසෙමිය.


Friday, January 13, 2017

271. මල් තුහිනවල නුගුණ


බිඳුණු පිළිණ ද
මිදුනු සිහින ද
අත්බෑගයේ සඟවමි
මතක ගලගා
රිදෙන තැන්වල ගල්වමි

දෙඅත්ලෙන් මුවා කර
වැහි කරාමය නවතමි
ඉහල ඇදඇද නැහැය
මල් තුහිනවල නුගුණ යලි යලි මුමුණමි

270. වතුර මල් සමය යලි ඇරඹෙන



වතුර බිල් ගෙවා අහවර හෙයින
වතුර මල් එක්වරම පැන නඟින
සිහින් දුම් රොටු පා කර
පාරවල් තාර ගොඩවල් නිවෙන

ඉන්පස්සෙ
තුරු ඇස් අගිසිවලින් වැහි හැලෙන
වික්ටෝරියා උයන මැද පිලිම
වහවහා ෂවර ජෙල් තවරන
කපුටුවන් කබා යට සඟවන

කැළැල් වේයැයි වත්සුණු
බළල් නෝනාවරු නොරිස්සුම් වෙන
කලල් මඬ තැවරුණු 
පුළුන් කොට්ටා පා දැක රැවුල හකුලන

පොල්කා ඩොට් සළුව ඇඳ
බේරේ උකුල නලවන
වල්ගා මිරික මිරිකා
ලෙහෙනුන්ය ගිනිඋඳුන වට රැස්කන

වතුර බිල් ගෙවා අහවර හෙයින
වතුර මල් සමය යලි ඇරඹෙන
අතුරෙ යන්නා වගේ
කළු වලාකුළු අග රිදී එළි දිස්වෙන


269. ස්වාධීන පොහොසතුන්


එස්කිමෝවරු කැලත
ඩිස්කවුන්ටඩ් මිලට
ඉස්තරම් අයිස් තොග රැස්කරන
ස්වාධීන පොහොසතුන්
රිදී පැහැ ණයපතින් බිල් ගෙවන

විස්කිරිඥ්ඥා රසකාරක
විස්ම කිලිකුණු-ධූලි-වාරක
ගැස්ම නොදැනෙන බ්ලෙන්ඩර්
රස්නෙ නැති සස්පෙන්ඩර්
හුස්ම නොහෙලා ගනු ගනු නොව සරෙන්ඩර්!

සීතකල වෙළඳසැල් සිසාරා
ස්වාධීන තීරණම විචාරා
සිඳී ගිය අත්පසුම්බිය අස නොසැලෙන
ස්වාධීන පොහොසතුන්
රිදී පැහැ ණයපතින් බිල් ගෙවන

268. ගමිකයන් තව හතිලති



මහ බරැති දුකඳුළු පොදි
ඔලොගුවක පුරවාගෙන
සතුට - සැනසුම විමසන
ගමිකයන් වෙත් තැන තැන

"සතුට තුඟු ගිරි ශිඛරෙකි
වෙර ගෙන තරණයට යුතු"
හිතට ගෙන එඩි හඬගා
දොඩයි උන් සතුටෙහි තතු

කලබල ඇසෙහි නොගැටෙන
රොන් සුණු බිඳක් තරමැති
බිඟු පියපතකටත් වැඩි
සැහැල්ලුවකින් අරුමැසි
නැහැ තුඩු කවකවා කිති
සතුට උන් අස රඟදේය නිති

"ආන් අර ගිරි හිස මත
රනින් කල මැදුරක පියස්සක
සතුට ඇති බැව්" හගිස්සවමින් 
ගමිකයන් තව හතිලති

267. වළාකුළු ගිම් නිවන නිම්නය



සිලිටි අතැඟිලි විහිද විහිදා
කඩනකොට කඩුපුලක් නිදිගැට 
තව අලුත් 'දහවලක්' ඇරඹෙයි
වළාකුළු ගිම් නිවන නිම්නෙට

උදුල මිණියෙන් බැබලි බැබලී
තරු ගැටව් එළියට බහිනකොට 
ගැටිස්සියො සාදෙට අඳින්නේ
නිවෙන දිලිහෙන මිනි-ගවොම් කොට

කාර් බස් පාරවල් නැතියෙන් 
ඕනෙ කෙනෙකුට - ගමන බිමනට
පොරකකා නැගගන්න වෙනවා
'රෑ බදුලු' යන රේල්ලුවකට

වීදි පහනකටත් තමන්ගෙම
නිදහසක් ඕනෑම හන්දා
කුඩා අත්තටු දෙකක් අලවා
'කදෝකිමි' යැයි නමක් බැන්දා

දවස් විසි අටකට වතාවක්
මෙගා මේලා සතුටු සාදෙට
මහා පැණි පුඩිමකි ඉදෙන්නේ
'හඳ' කියන්නේ අන්න ඒකට

එහෙම දවසක - එන්න මිදුලට
සැර විදුලි එලි නිවා විගහට
'හඳෙන්' පොලවට - පෙරෙන පැණි බිඳු
දිව ගගා අම රස විඳින්නට

266. අමතක වුනා වෙන්න නම් බැහැ!



අමතක වුනා වෙන්න බැහැ
අමතන එක ඔබට

ගමන දුර වැඩි නිසා සමහරවිට,
ගිමන් අරිනවා ඇති
රළු කොරොස් කටහඬ,
කපුටුවෙක් වගේ ඇන තියාගෙන
දුරකතන රැහැනක් උඩ

එහෙම නැතිනම් හිර උනාවද
පිම්බුණු හාදු පොදියක්
කේඬෑරි කම්බිය මැද?

අති පණ්ඩිත කතාවක්
බකල ගමනින් පෙරළි පෙරලී එනකොට
චරස් ගා රැහැන් බිඳුනාවද?
බිමට පෙරලුනාවද – කොන්ද ඇවිලුනාවද?

ඉතිං මට දුස්-ස්වප්න එමට
අමතක වුනා වෙන්න නම් බැහැ
අමතන එක ඔබට


265. එකොළොස් වසක් එපිට



එකොළොස් වසක් එපිට
එකොළහ පන්තියේ කුඩා කෙල්ලක්
ඇද අකුරු පොදියක් ඉරාගෙන හිස පොවයි

විමපත් සුස්ම පරහක් වැදී
කෙහෙ අගිස්සෙහි රතු රිබන් පටි සැලෙයි
“හිනාවක් මූණෙ නැති
මහා නපුරෙක් තමයි”
සිඟිති තොල් ලිහී දත් කැට පෙනෙයි
පිණි ජම්බු කම්මුලක්
විහිලුවට කොනිත්තන්නම හිතෙයි

එකොළොස් වසක් මෙපිට
අඳුරු ශීතල රටක
අහඹු වැලි කැටක් වැද
ඇහැ කෙවෙයි

264. අදිසි ලෝගුව



නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

උණුහුමයි තමයි වැඩියෙන් වෙනදට
හීන අල්ලාගන්න ලේසියි 
අපිට අපි නොපෙනෙනකොට
මදුරුවෙක්වත් විදින්නෑ 
හුළඟක් වගේ හමාගෙන, හඹාගෙන යනකොට

ඒ වුනත් ළඟකදි හිට
අයිස් අත්ලක් එතී ගෙල වට
‘තනිකමක’ මිටි ගුලි පහර පිට – පහර දෙයි ඉහ මුදුනට

අන්න ඒකයි මං කියන්නේ
නො රිංගා ඉන්නයි තිබුනෙ අපිට
අදිසි ලෝගුව ඇතුලට

263. ඉතින් සුහදිනිය මං කටුව ඇතුලත ගුලිගැහෙනවා



දොළොස්වෙනි වතාවට
ස්ලයිඩ් පෙල ආයෙමත් බලනවා
පරණ එක්සෙල් ෆයිල්
එකින් එක අරිනවා වහනවා
වහපු ඊ ලියුම් උඩ
කොඩි ලකුණු අඳිනවා - මකනවා

අවිවේකයේ පතුල අතගගා
කුරුටු ගීයක අකුරු මකමකා
ඉතින් සුහදිනිය මං
කටුව ඇතුලතට ගුලිගැහෙනවා

හිස්ගෙඩිය ඉස්සුනොත්
හිස්වෙච්ච හිස් අසුන
ඇස් දෙකට තියුණු කටු අනිනවා
අන්න ඒ වෙලාවට
ගුගුඩු ගුඩු ගුඩු කියා
වතුර බෝතලෙන් පලි ගන්නවා


262. එන්න මේ බීන් බෑගය උඩට



බීන් බෑගයක ඈඳිගෙන
දෙපා හිස ඉහළින් තියාගෙන
ඔහේ නරඹමි
මියුසික් වීඩියෝ අවෝඩ් සෙරමනිය
සෝප් ඔපෙරා අලුත් එපිසෝඩය
මෑෂ්අප් ගී කිහිපය

ඔබ
බදු ඉහළ ගිය ප්‍රතිශත
වගු ඇඳ, ප්‍රස්තාරගත කර
අයවැය ගෙනෙන අණවින
මුණුමුණු නදින් මතුරන

එන්න මේ බීන් බෑගය උඩට
එපා වෙන්නට කලින් ඔබ, මට

තීරු කර බැද අයවැය 
හීනියට ලුණු ගම්මිරිස් ඉස
ඩිජිටල් පුළුල් තිර අස
අපුල්ලමු පෙම්බරෝ අපි දිවි සරතැස

261. බළලෙකුට බැරිද සමනළයෙක්ට පෙම් කරන්න?



දිගැටි උල් රදනක දත් ද
තියුණු මුවහත්කල නිය ද
දඩයම් ඇස් ද ගෙරවුම් ද
අතර සැඟවෙන්නට බැරිද
බොළඳ ආදර හදවතක්

අළුවන් දෘෂ්ටියක් ඇතැයි කිවුවට
ඇස් පියාගෙන බලනවත් ඇති
දේදුනු පාට හීනයක්

ඉඟිමරන්නේවත් නැතුවම
ආදරේ සීරුවට තවරා
හුළඟෙ පා කරනවත් ඇති
උණුසුම් බළල් හාදුවක්

සීරුවෙන් නිය පහුරු හකුළා
ඉතා හෙමිහින් - මද තිගැස්මෙන්
පිරිමදිනවත් ඇති
මුදු පියාපත් කෙලවරක්

පොරවගෙන දම් පාට ගොම්මන
සේද අත්තටු නොරිද්දෙන ලෙස
තුරුල්කරගෙන ඉන්නවත් ඇති
සේදවන් සමනළයෙක්

"අදත් මූ ගිහිල්ලා
අමන දඩයම් ගමනක්!"
බළල් හද ගැන නිනව්වක් නැති
අයිතිකාරිය බනිනවත් ඇති
නැතිව කිසි ඉස්පාසුවක්


260. ආසනික් ලොසින්ජරයක් මෙන්න



ප්‍රංස හාදුවක් ඇතුලෙදි,
ඇස් පියා ගැනීමයි පහසුම.
හැකිලිච්ච ඇහිබැමක විඩාබර නොදැනෙන්න,
පල් වතුර ගලා යන කුණු කාණු නොපෙනෙන්න,
තවත් ලෙහෙසියි නේද හුස්මවත් නාල්ලා හිටියාම?

බත් අවුළු අවුස්සන වීදි දරුවෙකුගෙ ටකරං සද්ද,
වටරවුමෙ වටරවුම් කැරකෙන ලේ පිරුණ උගුරුවල ගොර සද්ද,
ප්‍රංස හාදුත් එකම අපබ්‍රංසයක් කරවන.
කොමාවක් තියා ආලිංගනයට,දෑතින්ම සවන්පත් වහගන්න...

දුම් වැදුනු සුලං රැලි විඩාවෙනි,
වැහැරිච්ච තුරු අත් ගෙනෙන්නේ සිහිනි කෙඳිරිලි,
රත් අදර මත තැබූ,
ආසනික් ලොසින්ජරයක් මෙන්න,
ප්‍රංස හාදුවක ශිඛරෙකින් පහලට වැටී,
ඉඩදෙන්න මටත්,
දිවිනහගන්න!

259. විවේකය සදාකාලික වූ දා සිට



එලාමය නිහඬකල රෑ සිට
දිවා රැය ඔහේ ගෙවි ගෙවි යනකොට
ඩිවානෙක දිගාවී
මෙගා ටෙලි විතරක්ම නරඹන
විවේකය සදාකාලික වූ දා සිට

හිතවතිය
ජීවිතේ වෙහෙසයි මට
මීවිතේ ගිලී දිවිනහගන්න තරමට
ජීවිතේ පිපාසාවයි මට


258. ඒ අදිසි හිම වළසා



ඒ අදිසි හිම වළසා
නොවැම්බර හෙම්බිරිස්සාවෙන් පෙලෙන
නිතරෝම පත නැහැය කිවිස්සා
වළාකුළු තෙතබරිත කරවන
වැසි පතිත කරවන

දඩ බඩස් හඬ දිදී
පස්පංගු බැරල එහෙ මෙහෙ පෙරලන
තඹ මුට්ටි පුරවා කසායක් උණුකර
අහඹු ගිනිදළු තැනින් තැන මවන

පාන්දර ඉහ බරට දැනෙනකොට
පාත්තරයක් පුරා - නටන උණුදිය දරා
පාත්කර බොත්තං හැඩේ නැහැය
හුමාලය පෙණහැල්ල වෙත අදින
හාත්පස උදා මිහිදුම පිරෙන

ඒ අදිසි හිම වළසා
රිසි නොරිසි හැමට එක විලසා
නොවැම්බර හෙම්බිරිස්සා බෙදන