Thursday, January 12, 2017

242. තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන



මුදා හැර කෙස්ස මුදු මද පවනට
විදා ගමි දෙ’අත් ඉහලට ඉහලට
පිපී එන්නෙය නැවුම් බිම්මල්
ලා තණ පලස මත්තේ

ඉගිල්ලෙන්නයි උවමනා මට
තෙතක් තැවරුන වලා පෙති මැද
සරනවිට ඔබමොබ
තිතක් තරමට කුඩාවට දැකගන්න ඔබ

යදම් නැත – තහනම් නැත
කුඩා කවුළුවකින් ගලන සඳරැස් දැක
හඬ වැලපෙන්නත් නැත
කිදී කිමිදී විඳින්නට නිදහසේ මී විත
රිදී තිරපටකිනුදු අවහිරයක් නැත

පියාපතකින් සැහැල්ලුව ගෙන
වියා සකසුරුවමට ස්නේහයක් 
මකුළු හුයකින් වගේ වෙලා ඇත

හිතක් මත තව හිතක් තැබූ තැන
සිඳුත් සුදු සඳුත් ඉපිදවෙන තැන
විලංගුත් නැතිව හිර කෙරුන තැන
තිතක් මෙන් ඔබ දැකිය නොහැකි තැන


241. තණකොල පෙත්තෝ vs කුහුඹු අත් පා ඇත්තෝ



සිසිරයෙත් දහදියෙන් තෙමී තෙතබරිත වෙන
රතු ඉරට උඩින් පැන – සැනසුම් සුසුම් හෙලන - කූඹියෝ
පා පුවරු, දුම්‍රිය වේදිකාවේ
පා පැදි පාගපාගා පාරේම රෑ වේ
තුන් රෝද – සිව් රෝද ඇතුලෙත් හිරු රැසින් නෑවේ
කන්න දේ රැස් කරන - කූඹියෝ

ගී රාව ප්‍රතිරාව අවසන
සීක්වීන දිලෙන පිට කබා අත්මිටින් ගෙන
‘කෝ මල්ලි දෙන්න අත්පුඩි – මදි මදි දෙන්න සද්දේ’
කැරකි කැරකී පැද්දේ - ආලෝක ලප අතරමැද්දේ 
කුඩා තණකොල පෙත්තෝ

අනෝරා වැසි වටත් නොතෙමේ
කුඩා තණකොල පෙත්තෝ
තෙමී කිමිදී ගිලී මියැදේ
කුහුඹු අත් පා ඇත්තෝ

240. සොඳුරු සැමරුම් ඇහැරේ



අඳුරු අළු පැහැ දිනවල
කිඳුරු ගීයක ස්වර ගෙන
සොඳුරු සැමරුම් ඇහැරේ
උණු හිරු කිණිති දහරක

පෙත්තෙන් පෙත්ත ගිලිහෙන
දුස්කරම හෝරාවක
රිදුනු තැන් සිප සනසන
කවි අකුරු ඉපදිය හැක

239. ශෝකභරිතයි හිතෙන තැන්



මිහිදුමෙන් සැඟවීගත්
ගිරිශිඛරයක හිසක
පබළු මුතු අමුණනවැති
සිඟිති වනදෙව්ලියක

ශෝකභරිතයි හිතෙන තැන්වල
ශෝකයම නොම විය හැක
සැඟව ඇත්තේ මිතුර!

238.


පොතක අන්තිම පිටුවෙ
කටු ගගා කුරුටු කවි ලියැවුනි
මැද දෙපිටු සමනළුන්,
සුමට කල එ' පෙම් කවි
රැගෙන ඔබ වෙත වහා
නික්මුනි

මමමදැයි සැක හිතෙන
හැඩ අකුරු හැඳ පැළැඳ
උඩඟු මුල් පිටු දෙබැම ගස්සති
එසඳ අන්තිම පිටුව
කුරුටු කටු බඳ පපා
කැළැල් වැකි ම'හද බිත පෙන්වති

237. අන්ධව?



රාත්‍රිය අවසන
බැස සැඟව යන බව දැන
හඳකට වාරුවෙන්නට
උරහිස පුදයි අඹ ගස

කවුළු වීදුරු තදකර
දොර අගුළු ලූ පසුවද
විරාමයකුදු නොමගෙන
හමා යන්නෙය මදනල

කතාකරුවන් නිදිගත්
මැදියම් නිහඬ හඬටද
සවන් හැරගත් බස්සෙක්
හූමිටි තියයි ඉඳහිට

දේවල් සිද්දවෙන්නේ
හේතු නැතිවම, අන්ධව?
ඉතින් සොඳුරිය තවමත්
ඔබ කියන්නේ එහෙමද?

236. බාලිකා මල් තව නැතී



ලෝදියේ අගාධයේ
දැවී කුසුම් 
ගැලැවෙයි එකින් එක පෙතී
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි 
බාලිකා මල් තව නැතී

මල් වරම් නම් නොලැබෙතී
වැසි වසිත් කැට කැබිලිතී

සිලිටි වතකට පැන් ඉහින්නට
කොයි කාට ඉස්පාසු ඇත්තේ ඔයහැටී
දැහැටි දඬු මෙන් ගැහැට විඳගෙන
කහට දත් පෙන්වන හිනාවක් වුව වටී

අන්න ඒකයි පද්මිනී
මං ආදරේ ඔබට මේ හැටී!

235. තත් පැහැති කවි කඩා හැලෙන්නෙය



හිම තුහින
මත් මතක පෙලන්නෙය
රත් දෙනෙතු තෙත් කරන්නෙය

අත්වැසුම් පැළඳි මුත්
අත්ල හිරිවැටෙන්නෙය
තත් පැහැති කවි 
කඩා හැලෙන්නෙය

හිම තුහින කියන්නෙම සීතලට
අවසාන තුරු පතත් වෙව්ලුවා බිම හෙලන
ශීත කඩුතුඩු අනින
හුස්ම වුව සුදු මිහිදුමක් කරන
සීතලට

234.



නියොන් හිස්වැසුම් හැඳ
කඩවීදි කළුවරට සැරසෙයි
කදෝකිමි කැලතක්ව හෙඩ්ලයිට් ඉගිලෙයි
නලා හඬ දෙසවනට අපුලයි

බස් සිංදු බිම වැටුන තැන්වලත්
දැන් ඉතින් රෝස පැල දළුලයි!

233. නගරයක හදවත



සායම් බඳුන් මහමග මැදට හැලෙන
සන්නාමගත පිළි එන්න එන්නැයි කොඳුරන
කාකි අසරුවෙක් තනි පයෙන් වන්නම් නටන
මේ නගරයක හදවත
ගිඩිගිඩියෙ පණ ගැහෙන

බෝපත් සැලෙන හඬ නිහඬය
පිච්ච වැල්වල මුව ඔබාගෙන මස්ජිදය 
මහල් නිවහන් කවුළු තැන තැන දැල්වේ
බ්‍රේක් අකුණක් හද සෙලෙව්වේ

පෙට්ටි වාහන තුරුල්ලට ගෙන
කිටිකිටියෙ පපු මැදට තදකරන
මේ නගරයක හදවත
වැඩ ඇරෙන කණිසමට
උද්දාමයෙන් පිබිදෙන

232. "ඕනෑම වෙනවා ජීවිතේ මට"



පාවහන් පා පහරකින් පලවාහැර
තිත්ත කළුවර ආලින්දයේ අතහැර
"මහ ජරා දවසක් අද"
මුව ඇඹුල් කර
සෝෆාව මතට ඇදහැලෙමි මම

"එපා වෙනවා මේ ජීවිතේ මට"

බෝල ඇස් තව ටිකක් විසල් වෙන
ඉන් මොහොතකට පස්සෙ
රූප පෙට්ටිය ගොළුවෙන

ඩා දියෙන් පෙඟුන කෙහෙරැලි අතර
සිහින් දිගු හැඩ ඇඟිලි
හෙමින් එහෙමෙහෙ ඇවිදින 
ගවොම් සායේ පිච්ච මල්වලින් 
බේබි පවුඩර් පුසුඹ හමන

උණුම උණුහුම් කැරලි
ඈ අතින් මා අතට පනින්නේ
තේ කොලත් ඉඟුරුත් ඔතාගෙන

හිරු කිණිති අත්මිටින් හැලෙද්දී 
හුරතලෙන් කොපුල් සුළි නැඟෙද්දී
හිනා කැටි උකුලතට අතහැර
ළදරුවෙකු තරමටම නිදහසේ
ළමැද මත හිස ඔබා ගනිමි මම

අන්න ඒ තත්පරේ 
"ඕනෑම වෙනවා ජීවිතේ මට"


231. දාස්පෙති ස්වප්නයක කිමිදෙමිනි මම


කඳුළු බිඳුවක හැඩැති දූපතක 
බිඳුණු වීදුරු කැබැලි නොතියාම
මහළු මේපල් තුරක්, කොල වරන සෘතුවට
ඔබ නික්ම ගිය ඉක්මන!

කැලිඩොස්කෝපයක බහා
ඉරුණු මල් පෙති එක දෙක
දාස්පෙති ස්වප්නයක කිමිදෙමිනි මම

වීදුරු සුණුත් නැතිව
ළපැත්තේ සීරුමක්වත් නැතිව!!

230. වැරදි මම විතරමද?



නන් පැහැති පත් ඇදහැලෙන
සමකාසන්න වැසි සිහිව
ස්වප්නය අතින් අතහැරෙන

මට කියන්න මාලතී
වැරදි මම විතරමද?

මල් තියෙන්නේ පරවෙන්න
පෙත්තෙන් පෙත්ත ගිලිහෙන්න
මල් වතක කවියක් ලියන්නේ පස් වෙන්න
නිදොස් කොට නිදහස්වෙන්න!

ඉනික්බිත්තේ සිසිරය
සීරුම්වලට වැඩි දරුණුය
හිම පියල්ලක් ගානේ
විමසන්නෙ නිදහසට කරුණුය

දැන්වත් කියන්න මාලතී
ඉරී ගිය මල්පෙති මත
කවි ලිව්වෙ මම විතරද?

229. උත්තරධ්‍රැවයේ ශීත කන්තෝරුව


උත්තර නැති ප්‍රශ්න පත්තර උඩ
තත්පර කටුත් කම්මැලිකමේ ගාටන
උත්තරධ්‍රැවයේ ශීත කන්තෝරුව
උස්සලා පොළවේ ගහන්නම හිතී ඇත

වත්සුණුද නෙත් අංජනද 
ඝනීභවනය වී ඇත
මැස්සෙකුගෙ ගුරු ගුරුවටත් වාරණ බැඳ
පැඟිරි කුයිලක් බලෙන් තවරයි බිතු මත
ඉතින් නිතරම නිදිමත

ඇත්තමයි අළු අහසවත් නොපෙනෙනකොට
පොරවගෙන ගොරව ගොරවා නිදන්නත් බැරිකොට
උත්තරධ්‍රැවයේ ශීත කන්තෝරුව
උස්සලා පොළවේ ගහන්නම හිතී ඇත

228. කොට්ට උර භීෂණ



සඳ පතුරු එක දෙක
කවුළුවෙන් ගෙට පැන
යවුළු මෙන් ඇන ඇන
මරණීය රිදවුම් දෙවන සැණ,

'Sweet Dreams' දම්වැල්
කොට්ටා උරය මත්තේ
දත් විලිස්සා හිනැහෙන

සිඟිති රෝසය,
දල පෙති නූල් අඹරා
සැර සුවඳ බිඳු වගුරන
ක්ලෝරෆෝමය,
ස්මරණ කළුකුහර ඇතුලේ
සිහිවිකල් කරවන

රේන්දා ලොවිච්චිය 
පීරි ගා ගෙල කෙලවර
රෑ මැදියමේ ඇහැරන

'තියාගන්නම ගන්න'
කියා ඔබ කී හැටිත්
'නොයා ඉන්නම බැරිද?'
අහන්නට අමතකව ගිය හැටිත්
කඩ ඉරිවලින් ඇඳගෙන
'Sweet Dreams' නරඹමි
නිදි නොඑන ඇස් ඇරගෙන